යුද්ධයෙන් පසු කුණුවලින් බැටකන කාත්තන්කුඩිය

යුද්ධයෙන් පසු කුණුවලින් බැටකන කාත්තන්කුඩිය

වසර තිහකට අධික කාලයක් යුද්ධයෙන් පීඩාවට පත්ව සිටි මඩකලපුව කාත්තන්කුඩි ප්‍රදේශයේ ජනතාව අද ඉවතලන කුණු නිසා බරපතළ පීඩාවකට පත් ව සිටිති.

කාත්තන්කුඩි කලපුවේ ගොඩ ගැසූ කුණුකසළ මේවනවිට කලපුවේ අක්කර ගණනක් වසා පැතිර ඇති බව ප්‍රාදේශීය මාධ්‍යවේදී රාහුල් සමන්ත හෙට්ටිආරච්චි බීබීසී සංදේශයට ඉදිරිපත් කරන වාර්තාවක් මගින් පෙන්වා දෙයි.

යුද්ධය නිමවීමෙන් පසු ගම්මාන අතහැර ගිය ජනතාව ඔවුන්ගේ ගම්බිම් කරා යළි පදිංචියට පැමිණියත් දැන් ඔවුන්ට පරිසර ගැටළුවකට මුහුණ දීමට සිදුව ඇති බව ප්‍රදේශවාසීහු පවසති.

ඉවත ලන කුණු ගොඩ ගසමින් ඇති කලපුව අසළ කාත්තන්කුඩි 'අල්හිරා' කනිෂ්ට විද්‍යාලය ඇති අතර කුණුකසළ ප්‍රශ්නය ළමුන්ගේ ශරීර සෞඛ්‍යයට හානිකර වී ඇති බව විදුහල්පති ඒ.එල්.එම් ෆාරුක් කියා සිටියි.

විනාශ කෙරෙන කලපුව

යුද්ධයෙන් පසු කුණුවලින් බැටකන කාත්තන්කුඩිය
ඡායාරූප ශීර්ෂ වැකිය, කුණු ගොඩ ගසමින් ඇති කලපුව අසළ ඉදි කොට ඇති 'අල්හිරා' කනිෂ්ට විද්‍යාලයේ ක්‍රීඩා පිටිය

කලපුවේ ගොඩ ගසන ලද ඉවත ලන කුණු කලාපය මත ළමුන් සඳහා ක්‍රීඩා පිටියක් ඉදිකර ඇතත් එය ඒ සඳහා නුසුදුසු බව විදුහල්පතිවරයාගේ අදහසයි.

කාත්තන්කුඩි නගර සභාව පවසන්නේ කුණුකසල දැමීම සඳහා ප්‍රමාණවත් භූමියක් නොමැති හෙයින් කලපුව ආශ්‍රිතව අපද්‍රව්‍ය මුදා හරින බවය.

'යුද සමයේ ප්‍රදේශය අතහැර ගිය පවුල් 542ක් දැන් නැවත කාත්තන්කුඩි නගරය සහ ඒ අවට පදිංචියට පැමිණ සිටිනවා. ජන ගහනය වැඩිවීමත් සමග බැහැර කෙරෙන කුණු ප්‍රමාණය වැඩි වී තිබෙනවා. දවසකට කුණු කිලෝ ග්‍රෑම් තිස්දහසක් පමණ එකතු වෙනවා. ඉන් 25%ක් පමණ කොම්පෝස්ට් ව්‍යාපෘතියට යොදා ගන්නව' නගර සභා ලේකම්වරයා පවසයි.

'කුණු දමන්න ඉඩමක් නැති එකයි අපට තිබෙන ප්‍රධාන ගැටළුව. 2018 වසරේ දී මේ ගැටළුවට ස්ථිර විසඳුමක් ගේන්න දැන් වැඩපිළිවෙළක් සකස් කෙරෙමින් පවතිනවා' ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

දුර්වල ප්‍රතිචක්‍රීයකරණය

යුද්ධයෙන් පසු කුණුවලින් බැටකන කාත්තන්කුඩිය

ඉවතලන කුණු ප්‍රතිචක්‍රීයකරණය කරමින් කොම්පෝස් පොහොර සෑදීම සඳහා යොදාගනු ලබන්නේ 26% ක් පමණ වන අතරවාරයේ, අනෙක් 74% ක් තරම් අපද්‍රව්‍ය කාත්තන්කුඩි කලපුවට දැමීම නිසා දිනෙන් දින කලපුව ගොඩවීම තවත් ප්‍රශ්නයක් වී ඇති බව ප්‍රාදේශීය මාධ්‍යවේදී රාහුල් සමන්ත හෙට්ටිආරච්චි පෙන්වා දෙයි.

ඒ සමඟ ජලය අපවිත්‍ර වීමෙන් ගැටළුව උග්‍ර අතට හැරෙමින් පවතින බව ප්‍රදේශයේ පරිසර සංවිධාන පෙන්වා දෙති .

මේ අතර කුණු දැමීමෙන් මුහුද අපවිත්‍ර කරන ප්‍රධාන රටවල් අතරට ශ්‍රී ලංකාවත් එක්වෙන බව පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ප්‍රධානී ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් පවසයි.

මුහුදත් අපවිත්‍ර කිරීමක්

යුද්ධයෙන් පසු කුණුවලින් බැටකන කාත්තන්කුඩිය
යුද්ධයෙන් පසු කුණුවලින් බැටකන කාත්තන්කුඩිය

ශ්‍රී ලංකාවේ කාත්තන්කුඩි, මුතුරාජවෙල, හබරණ, හම්බන්තොට, මීතොටමුල්ල සහ බදුල්ල වැනි ප්‍රදේශ රැසක කුණු කසළ එළිමහනේ ගොඩගැසීම නිසා බරපතළ ගැටළු මත්වී ඇති බව පසුගිය දිනවල මාධ්‍ය වාර්තා මගින් වාර්තා කෙරිණ.