ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
මිග් යානා ගණුදෙනුව: ලිපි ලේඛන අස්ථානගතයි
පසුගිය රජය සමයේ මත භේදයට තුඩු දුන් මිග් ගුවන් යානා මිලදී ගැනීමට අදාළ ප්‍රධාන ලේඛන අස්ථාන ගත වීම පිළිබඳව පරීක්ෂණ පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන මෙන් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (09) පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසයට නියම කළේය.
ශ්‍රී ලංකා ගුවන් හමුදාව සඳහා මිග් යානා මිලදී ගැනීමේ දී අක්‍රමිකතා සිදුව ඇති බවට ඉදිරිපත් වී ඇති චෝදනා සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණයකට අදාළ පැමිණිල්ල අද කැදවූ අවස්ථාවේදී පොලිසිය කළ දැනුම් දීමකින් පසුවයි අධිකරණය මෙම නියෝගය නිකුත් කළේ.
පොලිසිය අධිකරණයට දන්වා සිටියේ මතභේදයට තුඩු දුන් මිග් යානා මිලදී ගැනීමට අදාළ ගිවිසුමේ මුල් පිටපත ඇතුළු වැදගත් ලේඛන අස්ථානගත වී ඇති බවයි.
අදාළ ලේඛන හිතාමතාම කිසිවෙකු විසින් අස්ථාන ගත කර තිබේ නම් ඊට වගකිව යුතු පුද්ගලයන් හඳුනාගෙන ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසද අධිකරණය පොලිසියට කළ නියෝගයේ සඳහන්.
අනතුරුව පැමිණිල්ල ලබන මස 26 වෙනිදා කැඳවීමට නියම කළ අධිකරණය එදිනට පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාව ඉදිරිපත් කරන ලෙසයි පොලිසියට නියම කළේ.