මෛත්‍රී යටතේ වැඩ කරන්න 'ගෝඨාභය සුදානම්'

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ කටයුතු කිරීමට හිටපු ආරක්ෂක ලේකම් ගොඨාභය රාජපක්ෂ සූදානම් බව කම්කරු අමාත්‍ය ඩබ්ලිව් ඩී ජේ සෙනවිරත්න පවසයි.
මහින්ද රාජපක්ෂ පාලන සමයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ වත්මන් ජනාධිපතිවරයාට අසාධාරණයක් වූ බව හිටපු ආරක්ෂක ලේකම්වරයා පිළිගන්නා බවත් අමාත්‍ය ඩබ්ලිව් ඩී ජේ සෙනවිරත්න සඳහන් කළේය.
ඔහු ඒ බව කියා සිටියේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙවන පෙළ නායකත්වය සඳහා පත් කිරීමට යන බවට පළ වන වාර්තා පිළිබඳ සංදේශය කළ විමසීමකදී.
තමා මේ කාරණය පිලිබඳව හිටපු ආරක්ෂක ලේකම්වරයා සමඟ පැය දෙකක පමණ කාලයක් සාකච්ඡා කළ බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති කම්කරු අමාත්‍ය ඩබ්ලිව් ඩී ජේ සෙනවිරත්න පවසයි.
ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්වරයා වශයෙන් කටයුතු කළ සමයේ ගන්නා ලද ඇතැම් ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙන වටපිටාවක ඔහු ගේ නම පක්ෂයේ ඉහළ තනතුරක් සඳහා යෝජනා කිරීම කොතරම් දේශපාලන වශයෙන් කොතරම් උචිතදැයි සංදේශය අමාත්‍යවරයාගෙන් විමසූ විට ඔහු කියා සිටියේ චෝදනා එල්ල වූ පමණින් කිසිවකු අත්හැර දැමිය නොහැකි බවයි.
මහින්දගේ මනාපය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
'චෝදනා තිබුණා කියලා මිනිස්සු කපා හරින්න බැහැ. එසේ නම් පවතින රජයේ ඉන්න චෝදනා තිබෙන මිනිස්සු ගැනත් පරීක්ෂණ පවත්වන්න ඕන. ගෝඨාභයට විරුද්ධව කිසිම දූෂණ චෝදනාවක් කිසිම තැනක ඔප්පු වෙලා නැහැ' අමාත්‍යවරයා පැවසීය.
කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ ජාතික ආණ්ඩුවේ ඉලක්ක සපුරා ගැනීමට කටයුතු කරන අතරම අනාගතය සඳහා ශ්‍රීලනිපයට නව නායකත්වයක් තෝරා ගත යුතු බවත් අමාත්‍යවරයා කියා සිටියේය.
'ඔහුට විරුද්ධ වෙන්න මහින්ද රාජපක්ෂ මහත්මයට හේතුවක් නැහැ. මොකද ඒ ඔහුගේම සහෝදරයෙක්. ඒ වගේම ජනතාව ඔහුව බාර නොගන්න හේතුවක් නැහැ මොකද ඔහු මහින්ද රාජපක්ෂ මහත්මයාගේ සහෝදරයෙක්' අමාත්‍යවරයා සඳහන් කළේය.
ඉහත කී කරුණු දෙස අවධානය යොමු කොට පක්ෂය ගොඩ නැගීමේ අරමුණින් ගෝඨාභය රාජපක්ෂට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරක් සහ වගකීම් ලබා දිය යුතු බව තමා යෝජනා කරන බවයි කම්කරු අමාත්‍ය ඩබ්ලිව් ඩී ජේ සෙනවිරත්න වැඩිදුරටත් කියා සිටියේ.








