මහින්ද සහභාගි වෙයි ඇමෙරිකාව නැගිට යයි

උගන්ඩාවේ ජනාධිපති යෝවේරි මුසවේනි පස් වෙනි වරටත් පදවියේ දිව්රුම් දීම සඳහා පැවැත්වුන උත්සවයට සහභාගී වෙමින් සිටි ඇමෙරිකානු දූත මණ්ඩලය විරෝධය පළ කිරීමක් වශයෙන් එම උත්සවයෙන් නැගිට ගිය බව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

උගන්ඩා ජනාධිපති මුසවේනි ජාත්‍යන්තර අපරාධ අධිකරණය හෙළා දකිමින් අදහස් දැක්වීමට පටන් ගනිත්ම ඇමෙරිකා එක්සත් ජනපදයේ පමණක් නොව කැනඩාවේ තානාපති නිලධාරීන් සහ යුරෝපා හවුලට අයත් රටවල නියෝජිතයන් උත්සව ශාලාවෙන් හිටිඅඩියේ ම නැගිට ගිය බවයි වාර්තා වන්නේ.

ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශිකා එලිසබත් ට්රූඩෝ අදහස් දක්වමින්, සුඩාන් ජනාධිපති ඕමාර් අල් බෂීර් ජනාධිපති මුසවේනි ගේ පදවිප්‍රාප්ත උළෙලට සහභාගී කර ගැනීම සම්බන්ධයෙන් උගන්ඩාවේ සිටින එක්සත් ජනපද තානාපතිවරයා විරෝධය පළ කළ බවයි කියා සිටියේ.

සුඩාන් ජනාධිපතිවරයා ජාත්‍යන්තර අපරාධ අධිකරණයට අවශ්‍ය තැනැත්තෙකි.

මානව වර්ගයාට එරෙහිව අපරාධ සිදු කළ එසේම යුද අපරාධ සහ ජන සංහාරයකට ගොදුරු වූවන් වෙනුවෙන් යුක්තිය ඉටු කිරීමට ගනු ලබන ප්‍රයත්නය අවඥාවට ලක් කරන රාජ්‍ය නායකයකුට එරෙහිව විරෝධය පළ කිරීම් වස් එවැනි නැගිට යාමක් අතිශයින් උචිත පියවරක් වන බවයි ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසන්නේ.

1986 දී බලයට පැමිණි යෝවේරි මුසවේනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කර ගනිමින් අද වන විට අවුරුදු තිහක කාලයක් උගන්දාව පාලනය කරයි.

හිටපු ඇමති ගාමිණී ලොකුගේ සහ දෙහිවල-ගල්කිස්ස නගරාධිපති ධනසිරි අමරතුංග ඇතුළු තවත් කීප දෙනකු සමඟ ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ උගන්ඩා ජනාධිපතිවරයාගේ පදවිප්‍රාප්ත උළෙලට සහභාගී විය.