ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
තවත් එල්ටීටීඊ හිටපු නායකයෙක් මඩකලපුවේදී අත්අඩංගුවට
එල්ටීටීඊ සංවිධානය නැවත ප්‍රතිසංවිධානය කිරීමට උත්සාහ කිරීමේ චෝදනාව මත තවත් හිටපු එල්ටීටීඊ ප්‍රාදේශීය නායකයකු මඩකලපුවේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
ඉහත කී චෝදනාව යටතේ මඩකලපුව දිස්ත්‍රික්කයේ හිටපු රහස් ඔත්තු සේවා නායකයා වන ප්‍රභා හෙවත් ක්‍රිෂ්ණ පුල්ලේ කලෙයිනේසන් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ පොලිස් ත්‍රස්ත විමර්ශන ඒකකයේ කල්මුනේ ඒකකය විසින්.
කල්මුනේ ඒකකයේ උප පොලිස් පරීක්ෂක චන්ද්‍රවංශ විසින් සැකකාර ක්‍රිෂ්ණ පුල්ලේ කලෙයිනේසන් අත්අඩංගුවට ගන්නා බව දැනුම් දෙමින් සඳුදා නිකුත් කරන ලද ලිපියේ ස්ථානාධිපතිවරයාගේ අත්සන පවතින නමුත් එහි දිනයක් හෝ වේලාවක් සඳහන් නොවේ.
2009 දී යුද ගැටුම් හමාරයේ ආරක්ෂක හමුදා විසින් අත්අඩංගුවට ගන්නා ලද ඔහු, පුනරුත්තාපන කඳවුරෙන් නිදහස් කර තිබෙන්නේ 2013 දී.
පසුගිය සති කිහිපය ඇතුලත හිටපු එල්ටීටීඊ ප්‍රාදේශීය නායකයන් තිදෙනකු ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගන්නා ලද බව පොලිස් ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මීට ඉහතදී බීබීසී සංදේශයට පැවසීය.
ඒ අතරින් එක් සැකකරුවකු අත්අඩංගුවට ගනු ලැබුවේ සිවිල් ඇඳුමින් සැරසී, නිල නොවන වෑන් රථයකින් පැමිණි පිරිසක් විසින් බව සැකකරුගේ බිරිඳ පැමිණිලි කර තිබුණි.
එවැන්නක් තමන්ටද සැල වූ බව සංදේශය කළ විමසීමකදී සඳහන් කළ ආරක්ෂක ලේකම් ආචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි, සිවිල් ඇඳුමින් සැරසී අත්අඩංගුවට ගැනීම කිසිසේත්ම පිළිගත් නොහැකි බව අවධාරණය කළේය.