තාජුදීන් ඝාතනය: සැකපිට හිටපු පොලිස් ස්ථානාධිපතිවරයකු අත්අඩංගුවට

රග්බි ක්‍රීඩක වසීම් තාජුදීන්ගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට නාරාහේන්පිට පොලිසියේ අපරාධ විමර්ශන කොට්ඨාශයේ හිටපු ස්ථානාධිපති සුමිත් චම්පික පෙරේරා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.
වසීම් තාජුදින්ගේ මරණය ඝාතනයක් යැයි තීන්දු කළ අධිකරණය ඊට සම්බන්ධ සැකකරුවන් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස පසුගිය මාසයේදී පොලිසියට නියම කොට තිබිණ.
2012 මැයි 17 වනදා නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගණය අසල පාර්ක් පාරේ ගින්නට දැවී ගිය මෝටර් රථයක් තුළ තිබී වසීම් තාජුදීන්ගේ මෘත ශරීරය සොයා ගැනිණි.
ඒ පිළිබඳ එවකට සිදු කරන ලද පරීක්ෂණ හා සම්බන්ධ තොරතුරු වසන් කොට ඇති බවට එල්ල වන චෝදනා මතයි ඉහත කී හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ.
තාජුදීන් ඝාතනය හා සම්බන්ධ ඉදිරි පරීක්ෂණ සඳහා හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු ද අත්අඩංගුවට ගැනීමට නියමිත බවයි පැවසෙන්නේ.




