ලෝක කුසලාන ශ්‍රී ලංකා සංචිතයේ වෙනසක් නැහැ - මාලිංග

ඡායාරූප මූලාශ්‍රය, SLC
ක්‍රීඩකයන් ආබාධිත තත්වයකට පත් වුවහොත් මිස එසේ නොවේනම් එළැඹෙන ලෝක කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකා සංචිතයේ වෙනසක් සිදු නොවන බව 'විස්සයි විස්ස' ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය නායක ලසිත් මාලිංග පවසයි.
විස්සයි විස්ස ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගී වෙන පළමු තරඟය පැවැත්වෙන මාර්තු 17 වනදා වන විට තමන්ට උපරිම ශාරීරික යෝග්‍යතාවයක් ඇති කර ගත හැකි බවයි ආබාධිත තත්වයක් හේතුවෙන් ආසියානු කුසලානයේ පළමු තරඟයේදී පමණක් ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා පවසන්නේ.
ආසියානු කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ පළමු තරගයේ වීරයා බවටද පත් වූ ලසිත් මාලිංගට ඉන් පසු පැවති තරඟ තුනම අහිමි වුනේ ඔහුගේ පෙර තිබුණු ආබාධිත තත්වයක් නැවතත් මතු වීම හේතුවෙනි.

ඡායාරූප මූලාශ්‍රය, SLC
ඒ සමඟ ඇතැම් මාධ්‍ය වාර්තා කළේ මාලිංග ආසියානු කුසලානයට පැමිණියේ ආබාධය සම්පුර්ණයෙන්ම සුව වීමට පෙර බවයි.ආසියානු කුසලානය සඳහා ක්‍රීඩා කිරීමට උත්සුක වීම හේතුවෙන් ලසිත් මාලිංග ලෝක කුසලානයට ක්‍රීඩා කිරීම අතින් අවිනිශ්චිත තත්වයක් උද්ගත විය හැකි බවයි එම වාර්තාවන්හි සඳහන් වූයේ.
හොඳම කණ්ඩායමක්
කෙසේවෙතත්, බංගලාදේශයේදී මාධ්‍යවේදීන් අමතමින් ලසිත් මාලිංග පැවසුවේ 'විස්සයි විස්ස' තරඟාවලියේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන පළමු තරඟය වන විට උපරිම ශාරීරික යෝග්‍යත්වයක් ඇති කර ගත හැකි බව තමාට විශ්වාස බවයි.
තමන් ලෝක කුසලාන පුහුණු තරඟ සඳහා ක්‍රීඩා නොකිරීම ඇතැමුන්ට ගැටළුවක් විය හැකි වුනත් කණ්ඩායමට එය ගැටළුවක් නොවන බවයි මාලිංග පවසන්නේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
තමන්ට ලැබී තිබෙන්නේ ශ්‍රී ලංකාවේ දැනට සිටින හොඳම ක්‍රීඩකයන්ගෙන් සැදුම් ලත් කණ්ඩායමක් බව මාලිංග සඳහන් කළේ 'ලෝක කුසලානයට තෝරා ගෙන ඇති කණ්ඩායම ගැන සැහීමකට පත් වෙනවාදැයි' මාධ්‍යවේදියෙක් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.
හෙට (05)බංගලදේශයයේ සිට ශ්‍රී ලංකාවට ලඟා වීමට නියමිත ශ්‍රී ලංකා කණ්ඩායම තවත් දින කීපයකින් 'විස්සයි විස්ස' ලෝක කුසලාන තරඟාවලිය සඳහා ඉන්දියාව බලා පිටත් වෙයි.








