ක්‍රිකට් ක්‍රීඩා ඉරියව් පිළිබඳ පුර්ණ විමර්ශනයක්

ඡායාරූප මූලාශ්‍රය, AFP
සැකයට ලක් වී ඇති පන්දු යවන්නන් ගේ ඉරියව් වාර්තා කිරීමට සහ ඒ පිළිබඳ පරීක්ෂා කර බැලීම වෙනුවෙන් දැනට පවතින ක්‍රියාමාර්ග ඒ පිළිබඳ පූර්ණ විමර්ශනයක් වෙනුවෙන් ප්‍රමාණවත් නොවන බව අන්තර් ජාතික ක්‍රිකට් පාලක මණ්ඩලයේ ක්‍රිකට් අනු කමිටුව පවසයි.
ඒ අනුව තරඟ විනිශ්චයකරුවන්ට පන්දු යවන්නන්ගේ සැක සහිත ඉරියව් වඩා විශ්වාසනීය ලෙස හඳුනා ගැනීමට හැකි අයුරින් වෙනස් කම් හඳුන්වා දීමට, ඉරියව් සම්බන්ධයෙන් පරීක්ෂා කරන ජෛවතාක්ෂණික ශිල්පීන්ගේ සහාය ලබා ගැනීමට සහ අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩා මණ්ඩලය වෙත වාර්තා කරනු ලබන පන්දු යවන්නන් සම්බන්ධයෙන් සුපරික්ෂාකාරීව සිටීමට පියවර ගත යුතු බව අනිල් කුම්බ්ලේ සභාපතිත්වයෙන් යුත් අනු කමිටුව ජගත් පාලක මණ්ඩලයට නිර්දේශ කරයි.
අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩා මණ්ඩලයේ ක්‍රිකට් අනු කමිටුව මෙම කරුණු පිළිබඳ සාකච්ඡා කර තිබුණේ ඉන්දියාවේ බැංගලුරු නගරයේ පැවති දෙ දින සමුළුවේදියි.
ක්‍රීඩකයන්ගේ නීති විරෝධී ඉරියව් පිළිබඳ විමසා බැලීම සඳහා ගෙන ඇති පියවර සම්බන්ධයෙන් සමුළුව දැනුවත් කළ බව ද අනු කමිටුව කියා සිටියි.
කමිටුවේ ශ්‍රී ලංකා නියෝජිතයන් වන කුමාර් සංගක්කාර සහ රංජන් මඩුගල්ලේ මෙම සමුළුවට සහභාගී නොවූ බවයි වාර්තා වන්නේ.

ඡායාරූප මූලාශ්‍රය, AFP
එමෙන්ම නීති විරෝධී තරඟ ඉරියව් පිළිබඳ පරීක්ෂා කරන මධ්‍යස්ථානයක් ලෙස කාඩිෆ් මෙට්‍රොපොලිටන් සරසවිය පිළිගෙන ඇති අතර ඉදිරියේ දී මෙවැනි මධ්‍යස්ථාන ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, එංගලන්තය සහ දකුණු අප්‍රිකාව යන රටවල ද පිහිටුවන බවයි සමුළුව අවසානයේ නිකුත් කෙරුණ පුවත් පත් නිවේදනයෙන් පැවසෙන්නේ.
පසුගියදා ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු යවන්නකු වන සචිත්‍ර සේනානායක ගේ පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳව සැකයක් මතු වී ඇති බව ද අන්තර්ජාතික ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කළේය.
පසුගිය සෙනසුරාදා එංගලන්තය සමඟ පැවති එක් දින තරඟය විනිශ්චය කළ විනිසුරුවන් දෙදෙනා සහ තරඟ තීරක සචිත්‍රගේ පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳව පැමිණිලි කර ඇති බව වාර්තා විය








