කණ්ඩායමට හදවතින්ම සුභ පතනවා - චන්දිමාල්

'ලෝකයේ ඉන්න දක්ෂතම පන්දු යවන්නා වන ලසිත් මාලිංග කොයි තරම් ශ්‍රේෂ්ඨ නායකයෙක්ද යන්න සනාථ කළා'
ඡායාරූප ශීර්ෂ වැකිය, 'ලෝකයේ ඉන්න දක්ෂතම පන්දු යවන්නා වන ලසිත් මාලිංග කොයි තරම් ශ්‍රේෂ්ඨ නායකයෙක්ද යන්න සනාථ කළා'

දක්ෂතා අතර සිටි ලහිරු තිරිමාන්නට අවස්ථාව ලබාදී නිහතමානීව නායකත්වයෙන් ඉවත් වූ බව පවසන දිනේෂ් චන්දිමාල් ලෝක ශූරතාවය දිනාගත් කණ්ඩායමට හදවතින්ම සුභ පතන බව පවසයි.

බංග්ලාදේශයේ පැවැත්වුණු විස්සයි විස්ස ලෝක කුසලානය බලා ශ්‍රී ලංකාවෙන් පිටත් වූ කණ්ඩායමේ නායකයා වූ චන්දිමාල් ඒ බව කියා සිටියේ, ජයග්‍රාහී කණ්ඩායම කටුනායක ගුවන් තොටුපොළට ළඟාවීමෙන් අනතුරුව ගුවන් තොටුපොලේදී මාධ්‍යවේදීන් අමතමින්.

"මොකද එයා (තිරිමාන්න) හුඟක් හොඳ දක්ෂතා අතර සිටින ක්‍රීඩකයෙක්. ඒක හංගන්න බෑ. ඉතින් මම නිහතමානීව ඒ වෙලාවේ හිතුවා ඉතිරි තරඟ සෙල්ලම් කරන්නේ නෑ මොකද මම හිතුවා කුසලානය මට වැදගත් වෙන්නේ," යනුවෙන් ඔහු කියා සිටියේය.

'කුසලානය වඩා වැදගත්'

සියලු ශ්‍රී ලංකාවාසීන්ටද වඩා වැදගත් කුසලානය දිනා ගැනීම බැවින් එය දිනා ගැනීම පිළිබඳව තමා ඉතා සතුටු වන බවත් දිනේෂ් චන්දිමාල් පැවසීය.

'මම නිහතමානීව ඒ වෙලාවේ හිතුවා ඉතිරි තරඟ සෙල්ලම් කරන්නේ නෑ'

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, 'මම නිහතමානීව ඒ වෙලාවේ හිතුවා ඉතිරි තරඟ සෙල්ලම් කරන්නේ නෑ'

"ඉතින් මම මුළු හදවතින්ම සතුටුයි," යනුවෙන්ද ඔහු පැවසීය.

'ලෝකයේ සිටින දක්ෂතම පන්දු යවන්නා වන ලසිත් මාලිංග කෙතරම් 'ශ්‍රේෂ්ඨ නායකයෙක්ද' යන්න අවසාන තරඟ තුනට පමණක් නායකත්වය දී ජයග්‍රහණය කිරීම මගින් ප්‍රදර්ශනය වන බවයි, විස්සයි විස්ස කණ්ඩායමේ හිටපු නායකයා පවසන්නේ.

ලසිත් මාලිංග සඳහන් කළ පරිදිම පන්දු යවන්නන්ට නායකත්වය දැරිය නොහැකි බවට පවතින මතය සත්‍ය නොවන්නේ යයි ඔහු සනාථ කළ බවද චන්දිමාල් පැවසීය.

විස්සයි විස්ස කුසලානය ජයග්‍රහණය කිරීම වෙනුවෙන් මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර, ඇන්ජලෝ මැතිවුස් ඇතුළු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් ලබා දුන් සහාය හිටපු නායකයාගේ අගය කිරීමට ලක් විය.

අයිපීඑල් ඉන්දීය ප්‍රීමියර් ලීගයට තරඟ කිරීම මගින් ඉන්දීය ක්‍රීඩකයන් පිළිබඳව තමා ලබා සිටි පළපුරුද්ද ජයග්‍රහණයට මහෝපකාරී වූ බව මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ ලසිත් මාලිංග කියා සිටියේය.

"මම ගොඩක් වාසනාවන්තයි නායකයෙක් විදියට ඉන්දියානු කණ්ඩායම අවසාන තරඟයට තේරීම ගැන," යනුවෙන් ඔහු සඳහන් කළේය.