චන්ද්‍රපෝල් 'හය වෙනි දක්ෂතම ටෙස්ට් පිතිකරු'

හැමිල්ටන්හිදී නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරඟයේදී නොදැවී ලකුණු 122 ක් රැස් කිරීමත් සමඟම බටහිර ඉන්දීය කොදෙවු පිලේ ශිව්නරීන් චන්ද්‍රපෝල් ටෙස්ට් ක්‍රිකට් පිටියේ වැඩිම ලකුණු රැස් කළ හය වෙනි පිතිකරු බවට පත් විය.
ටෙස්ට් තරඟ 153 කට මුහුණ දී, ලකුණු 11,199 ක් රැස් කළ චන්ද්‍රපෝල්, හය වැනි ස්ථානයට පත් වෙන්නේ ලකුණු 11,174ක් රැස් කොට සිටින ඕස්ට්‍රේලියාවේ ඇලන් බෝඩර් අභිබවා යමින්.
පස් වෙනි ස්ථානයේ සිටින බටහිර ඉන්දීය කොදෙවු කණ්ඩායමේ හිටපු නායක බ්‍රයන් ලාරා අභිබවා යාමට ඔහු ලබා ගත යුත්තේ තවත් ලකුණු 754 ක් පමණයි.
ලකුණු 15,921 ක් රැස් කොට ටෙස්ට් ලකුණු ලයිස්තුවේ ඉදිරියෙන්ම සිටින්නේ පසුගියදා ක්‍රිකට් පිටියෙන් සමුගත් ඉන්දීය කණ්ඩායමේ සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර්.
දෙවැනි ස්ථානය ඕස්ට්‍රේලියාවේ හිටපු නායක රිකී පොන්ටිංට හිමි වන අතර, ඉන්දියාවේ හිටපු නායක රහුල් ද්‍රාවිඩ්ට තෙවැනි ස්ථානය හිමිවේ.




