විනිසුරු නිල ඇඳුම් ඉල්ලූ ප්‍රමාණය ලබා දුන්නා - අයිසීසීය

ඡායාරූප මූලාශ්‍රය, icc
- Author, සරෝජ් පතිරණ
- Role, බීබීසී සිංහල සේවය
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දැන් පැවැත්වෙන එක්දින සහ විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා බලධාරීන් ඉල්ලූ නිල ඇඳුම් ප්‍රමාණය ලබාදුන් බව අයිසීසී ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලය කියයි.
අයිසීසීය මේ බව හෙළි කළේ, තරඟාවලියෙන් අනතුරුව ඔවුන්ගේ නිල ඇඳුම් යලි භාරදෙන මෙන් කරන ලද එම තරඟාවලියේ සිවු වැනි විනිසුරන් වශයෙන් සේවය කරන හය දෙනාගෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් කරන ලද ඉල්ලීම පිළිබඳව විමසූ අවස්ථාවේදී.
අගෝස්තු 12 වැනිදාට පෙර එම නිල ඇඳුම යලි භාරදීමට අපොහොසත් වුවහොත් ඔවුන්ට රුපියල් පන් දහසක දඩයකට යටත් වීමට සිදුවනු ඇති බවට අනතුරු අඟවමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විනිසුරුවන් සම්බන්ධ කළමනාකරු කාල්ටන් බර්නඩස් විනිසුරුවන්ට ඊමේල් පණිවුඩයක් යවා තිබේ. ඒ ගැන බීබීසී සංදේශයට කරුණු පැහැදිලි කිරීම බර්නඩස් ප්‍රතික්ෂේප කළේය.
මේ පිළිබඳව ඩේලි මිරර් පුවත්පතේ ක්‍රීඩා කර්තෘ චන්නක ද සිල්වා විමසූ අවස්ථාවේ ඔහු පවසා තිබෙන්නේ විනිසුරු නිල ඇඳුම් නිර්මාණය කිරීමට අයිසීසීය තමන්ට අවසර නොදෙන අතර, ජාත්‍යන්තර අත් දැකීම් ලබා ගැනීම සඳහා විනිසුරන් විශාල ප්‍රමාණයකට අවස්ථාව ලබාදීම හේතුවෙන් මෙම තීරණය ගැනීමට සිදුවූ බවයි.
නමුත් අයිසීසීයේ මාධ්‍ය කළමනාකරු කොලින් ගිබ්සන් බීබීසී සංදේශයට කියා සිටියේ සෑම තරඟාවලියක් සඳහාම අදාළ රට විසින් ඉල්ලා සිටිනු ලබන නිල ඇඳුම් ප්‍රමාණය අයිසීසීය විසින් ලබාදෙන බවයි.
"විනිසුරුවන් සඳහා බෙදා හැරෙන උපකරණ ප්‍රමාණය පිළිබඳව සියලුම සාමාජික රටවල අවශ්‍යතාවය පරිදි සෑම වසරකදීම අයිසීසීය විසින් එකඟත්වයකට එනු ලැබේ," බවයි සංදේශයේ විමසීමට ඊමේල් පණිවුඩයකින් පිළිතුරු දුන් ගිබ්සන් පවසන්නේ.
"එම ප්‍රමාණය සියලුම සාමාජික රටවල පාලක මණ්ඩලයට යැවෙන අතර, ඒවා බෙදා හැරීම කළමනාකරණය කරනු ලබන්නේ අදාළ පාලක මණ්ඩලය විසිනි," බවද කොලින් ගිබ්සන් සඳහන් කරයි.




