පාකිස්තානයේදී ඩිල්ෂාන්ගේ අමිහිරි වාර්තාව සම කළ උමර්ට වසර තුනක ක්‍රිකට් තහනමක්

උමර් අක්මාල්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

පාකිස්තානු ක්‍රිකට් ක්‍රීඩක උමර් අක්මාල් ට වසර තුනක ක්‍රීඩා තහනමක් පනවා තිබේ.

මෙම තහනම සියලු ම වර්ගයේ ක්‍රිකට් තරග සඳහා බල පැවැත්වෙනු ඇත.

වංචා සහ දුෂණ කටයුතුවලට පොළඹවා ගැනීම සඳහා තමන් වෙත ළඟා වූ පුද්ගලයන් පිළිබඳව බලධාරීන්ට දැනුම් දීමට අපොහසත් වීමේ චෝදනා මත ඔහුට මෙම ක්‍රිකට් තහනම පනවා ඇත.

පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා කරන විසි නව හැවිරිදි අක්මාල්ට එරෙහිව එකී තහනම් නියෝගය ලබා දී ඇත්තේ ඔහු පිළිබඳව පැවති විනය පරීක්ෂණයකින් අනතුරුවය.

පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් එම තහනම් නියෝගය නිකුත් කරන ලද්දේ සඳුදා ය.

වංචාවකට පොළඹවා ගැනීම සඳහා තමන් වෙත පුද්ගලයෙකු ළඟා වූ අවස්ථා දෙකක් බලධාරීන්ට දැනුම් දී නොමැති බවට අනාවරණය වී තිබේ.

ඒ අනුව ක්‍රිකට් ක්‍රීඩක උමර් අක්මාල් විසින් දූෂණ විරෝධී නීති සංග්‍රහය උල්ලංඝනය කරනු ලැබ ඇති බවට පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් පත් කරනු ලැබූ විනය කමිටුවේ නිගමනය වී තිබේ.

ඉහත කී අවස්ථා දෙක එකිනෙකට සම්බන්ධ අවස්ථා දෙකක් නොවන බව පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලය සඳහන් කරයි.

දූෂණ විරෝධී විනිශ්චය සභාවක් ඉදිරියේ පෙනී සිටීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් උමර් අක්මාල්ට එරෙහිව පසුගිය පෙබරවාරියේදී ද තාවකාලික ක්‍රිකට් තහනමක් නිකුත් කර තිබුණි.

"අනාගත බලාපොරොත්තු තැබිය හැකි දක්ෂ ක්‍රීඩකයෙකුට වසර තුනක් ක්‍රීඩා කළ නොහැකි වන ආකාරයට ක්‍රීඩා තහනමක් නිවේදනය වනු දැකීමෙන් පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලය කිසිදු සතුටක් ලබන්නේ නැහැ." පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ දූෂණ විරෝධී සහ ආරක්ෂණ අංශයේ අධ්‍යක්ෂ අසීෆ් මහ්මූඩ් ප්‍රකාශ කළේය.

"නමුත් ඒ වගේ ම, දූෂණ විරෝධී නීති සංග්‍රහය උල්ලංඝණය කිරීමෙන් අනතුරුව ඉන් ගැලවී යා හැකියැයි සිතන පුද්ගලයන්ට මෙය නැවත වතාවක් සිදු කරන ලද කාලෝචිත මතක් කර දීමක්."

"දූෂණයක් හෝ වංචාවක් සිදුවිය හැකි සෑම අවස්ථාවකින් ම ඉවත් වී සිටින ලෙස සියලු ම වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් මම ඉල්ලා සිටින අතරම, එවැනි දෙයක් සඳහා යම් කෙනෙකු තමන් කරා පැමිණියේ නම් ඒ බව වහා ම අදාළ අධිකාරිය වෙත දැනුම් දෙන ලෙස ද මම ඉල්ලා සිටිනවා" ඔහු තවදුරටත් ප්‍රකාශ කළේය.

"මෙය පවතින්නේ තමන්ගේ ම යහපත සඳහා මෙන් ම තමන්ගේ කණ්ඩායම් සහ තම රටේ යහපත වෙනුවෙන්."

උමර් අක්මාල්ගේ වැඩිමහල් සොයුරන් දෙදෙනා ද පාකිස්තානය වෙනුවෙන් ජාත්‍යන්තර තරග සඳහා සහභාගී වූ ක්‍රිකට් ක්‍රීඩකයෝ වෙති.

2009 දී උමර් සිය මංගල ටෙස්ට් තරගයේදී ම ශතකයක් වාර්තා කළේය. එවකට ඔහු 19 හැවිරිදි විය.

මේ වන විට ඔහු ජාත්‍යන්තර එක් දින තරග 121ක් සඳහා ක්‍රීඩා කර තිබේ. ඔහු සහභාගී වී ඇති ටෙස්ට් තරග සංඛ්‍යාව 16කි.

එමෙන් ම, T20 ජාත්‍යන්තර තරග 84ක් සඳහා උමර් අක්මාල් මේ දක්වා ක්‍රීඩා කර තිබේ.

නමුත් මෑත වසර කිහිපය තුළ ඔහු ජාතික කණ්ඩායමෙන් කිහිප වතාවක් ඉවත් කර තිබුණි. ඒ විනය පිළිබඳ කාරනා හේතු කොට ගෙනය.

2017 දී ඔහුට තරග තුනක් සඳහා තහනමක් පැනවූයේ එවකට පුහුණුකරු වූ මිකී ආතර් විවේචනය කිරීමේ වරදට ය. ශාරීරික යෝග්‍යතා පරීක්ෂණ කිහිපයකින් ද අසමත් වී තිබුණි.

වසර දෙකක නිහැඬියාවකින් අනතුරුව 2019 දී පාකිස්තානු ජාතික කණ්ඩායම සඳහා උමර් අක්මාල් යළි කැඳවන ලදී.

ඔහු අවසන් වරට පාකිස්තානය නියෝජනය කරමින් ජාත්‍යන්තර තරගයකට සහභාගී වූයේ පසුගිය ඔක්තෝම්බර් මාසයේදීය.

එය ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පැවති T20 ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා තරගාවලියකි.

එහිදී උමර් අක්මාල් තරග දෙකක් සඳහා සහභාගී වූ අතර එම අවස්ථා දෙකේදී ම ලකුණු නොලබා පළමු පන්දුවෙන් ම දැවී ගියේය.

පාකිස්තානයට එරෙහිව ප්‍රථම වරට විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියක් ජයගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබුණේ එම අවස්ථාවේදී ය.

පාකිස්තානයේ ආරක්ෂක තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රවීණ ක්‍රීඩකයන් ගණනාවක් එක් නොවූ මෙම තරගාවලිය ශ්‍රී ලංකාව ජයගත්තේ නවක ක්‍රීඩකයන් රැසකගේ සහභාගීත්වයෙනි.

එවකට ජාත්‍යන්තර විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වල අංක 1 ස්ථානයේ සිටි පාකිස්තානය, ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල අංක 8 සිටින නවක ක්‍රීඩකයන්ගෙන් සැදුම්ලත් ශ්‍රී ලංකා කණ්ඩායම අතින් එලෙස පරාජයට පත්වීම ජාත්‍යන්තර ක්‍රීඩාලෝලීන්ගේ දැඩි කතාබහට ලක්විය.

මෙම තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම පැමිණියේ 2015 වසරේ සිට නොකඩවා සීමිත ඕවර තරග 14ක් පාකිස්තානයට පරාජය වීමෙන් අනතුරුවය.

තරග දෙකේදීම පාකිස්තාන කණ්ඩායමේ උමර් අක්මාල් ඔහු මුහුණදුන් පළමු පන්දුවෙන් ලකුණු නොලබා දවාගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත්වූ අතර එමගින්, ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් නායකයකු වන තිලකරත්න ඩිල්ෂාන්ගේ නම ඉදිරියෙන් සටහන්වූ අමිහිරි වාර්තාවක් සම කිරීමට උමර් අක්මාල්ට සිදුවිය.

විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් තරගවල අවස්ථා 10 කදී තිලකරත්න ඩිල්ෂාන් ලකුණු නොලබා දැවී ගොස් එලෙස වැඩිම වාරයක් දැවීගිය ක්‍රීඩකයා බවට පත්ව තිබු අතර උමර් අක්මාල් එම වාර්තාව සම කළේය.

ඩිල්ෂාන් පළමු පන්දුවෙන් ලකුණු නොලබා දැවීගිය අවස්ථා 5ක් තිබු අතර මෙම තරගාවලියේ ලබාගත් පළමු පන්දු දැවීයාම් දෙකත් සමග උමර් අක්මාල් අවස්ථා 6කදි එසේ දැවී ගොස් තිබේ.

කියවන්න: