ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රයට "තරග පාවාදීමේ මහා භයානක චෝදනා"

ඡායාරූප මූලාශ්‍රය, Sri_Lanka_Cricket/Facebook
ශ්‍රී ලංකා ක්රිකට් ක්ෂේත්‍රයේ තරග පාවාදීමේ "ඉතා භයානක" වාතාවරණයක් පවතින්නේ යයි අයිසීසී ජගත් පාලක මණ්ඩලය තමන්ට දැනුම් දුන් බව ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා පවසයි.
අදාළ තරග පාවාදීමේ චෝදනා පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලයේ විමර්ශකයන් මේ දිනවල ශ්‍රී ලංකාවට පැමිණ පරීක්ෂණ පවත්වමින් සිටින බව ද අමාත්‍යවරයා බීබීසී සිංහල සේවයට පැවසීය.
අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේ, ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රයට එරෙහිව එල්ල වී තිබෙන "බරපතල දූෂණ චෝදනා" සම්බන්ධ පරීක්ෂණයක් සඳහා මේ දිනවල ශ්‍රී ලංකාවට පැමිණ සිටින බවට ICC දූෂණ විරෝධී ඒකකයේ කළමනාකරු ඇලෙක්ස් මාෂල් (Alex Marshall) විසින් කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.
තවදුරටත් පරීක්ෂණ පැවැත්වෙමින් තිබෙන බැවින් ඒ සම්බන්ධයෙන් වැඩිදුර කරුණු හෙළි කිරීම යෝග්‍ය නොවන බව පවසන ඇලෙක්ස් මාෂල්, කෙසේ වුවත් සිය පරීක්ෂණය සම්බන්ධ සවිස්තර වාර්තාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ සහ ක්‍රීඩා අමාත්‍යවරයා වෙත, ඔවුන්ගේ ඉල්ලීම පරිදි, භාරදුන් බව සිය නිවේදනයේ සඳහන් කර තිබිණ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බලධාරියා ඒ සඳහා තමන්ට පූර්ණ සහාය දක්වන බව ද එහි දැක්විණ.

ඡායාරූප මූලාශ්‍රය, faizer mustapha/Facebook
ඇලෙක්ස් මාෂල් ලබාදුන් වාර්තාවේ අන්තර්ගතය හෙළි කළ නොහැකි වුවත්, එහි කිසිදු පුද්ගලයෙකුට එරෙහි චෝදනා එල්ලකර නොමැති බව ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා බීබීසී සිංහල සේවය සමග කියා සිටියේය.
"කිසිම කෙනෙකුට ඇඟිල්ල දිගු කරලා නැහැ," ඔහු පැවසීය.
"ඉතා භයානක තරග පාවාදීමේ චෝදනා" එල්ලවීම හමුවේ තරග පාවාදීමට එරෙහිව නව නීති සම්පාදනය කිරීමට තමන් කටයුතු කරන බව කියා සිටි අමාත්‍යවරයා, ඒ සඳහා අයිසීසී ආයතනයෙන් තාක්ෂණික සහාය ලබාගන්නා බව ද වැඩිදුරටත් පැවසීය.
අල් ජසීරා චෝදනා
මේ අතර නිවේදනයක් නිකුත් කරන ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය (TISL) පවසන්නේ, ශ‍්‍රී ලංකා ක්රිකට් ක්ෂේත්‍රයේ දූෂණ සම්බන්ධ බරපතල චෝදනා විමර්ශනය කිරීමේ ක‍්‍රියාවළිය තුළ "විනිවිදභාවය හා මහජන දැනුවත්භාවය සහතික කිරීමේ අවශ්‍යතාවය" තමන් අවධාරණය කරන බවය.
"දැනට පවතින පරීක්ෂණ වලට හානිකර ලෙස පෙනෙන තොරතුරු ආරක්ෂා කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව දැනුවත්ව සිටින නමුත්, අන්තර්ජාතික ක‍්‍රිකට් කවුන්සිලයේ සොයා ගැනීම් පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම වැදගත්ය. මේ තුලින් මෙරට ක‍්‍රිකට් ක‍්‍රීඩාලෝලීන් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් හි අඛණ්ඩ සුපිලිපන්නභාවයේ ප‍්‍රධාන නියමුවන් බව තහවුරු වනු ඇත," යනුවෙන් එහි විධායක අධ්‍යක්ෂ අසෝක ඔබේසේකර සඳහන් කර තිබුණි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
"අන්තර්ජාතික විකාශන අයිතිය ලබා දීම තුලින් ඉපැයූ මුදල් අයුතු පරිහරණයට දැරූ ප‍්‍රයත්නය සහ අල් ජසීරා වාර්තාමය චිත‍්‍රපටය මගින් සිදුකරනලද ආන්දෝලනාත්මක හෙළිදරව් ආදිය ඇතුලත්ව ශී‍්‍ර ලංකා ක‍්‍රිකට් ආයතනය වෙත එල්ල වී ඇති චෝදනාවන් රාශියකි. එබැවින් දැනට සිදුවෙමින් පවතින විමර්ශණ කටයුතු වඩාත් ශක්තිමත් කිරීමට සහ වගවීමේ ක‍්‍රියාවළිය සහතික කිරීම උදෙසා අන්තර්ජාතික ක‍්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්ධන ඒකකය ශ‍්‍රී ලංකාව තුළ අදාළ නීති ක‍්‍රියාත්මක කිරීමේ ආයතන සමග සමීපව කටයුතු කළ යුතුය," යනුවෙන් ද ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය නිකුත්කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
තවත් කියවන්න:
ඒ පිළිබඳව බීබීසී සිංහල සේවය ජගත් පාලක මණ්ඩලයේ සන්නිවේදන අංශයේ ප්‍රධානී සාමි උල් හසන්ගෙන් විමසීමක් කළ විට ඔහු කියා සිටියේ, අදාළ චෝදනා සම්බධයෙන් පරීක්ෂණයක් පැවැත්වෙන බැවින් ඇලෙක්ස් මාෂල් ප්‍රකාශ කළ කරුණු හරුවිට වෙනත් කිසිවක් සඳහන් කළ නොහැකි බවය.
'නීතියක් නෑ'
තරග පාවා දී ඇති බවට වරදකරු වන ක්‍රීඩකයෙකු හෝ ක්‍රීඩාංගනය භාරව කටයුතු කරන පුද්ගලයෙකුට එරෙහිව ආයතනික මට්ටමින් තරග තහනම් පැනවීමට හෝ ගිවිසුම අත්හිටුවීමට හැකියාව ඇතත් "බුකීකරුවන්ට" එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකාව තුළ නීතිමය පසුබිමක් නොමැති බව නීතිඥ පණ්ඩුක කීර්තිනන්ද මිට ඉහතදී බීබීසී සිංහල සේවය සමග කියා සිටියේය.
"කොහොම පරීක්ෂණ පැවැත්වුවත් බුකීකාරයෝ බේරෙනවා. මොකද ඒ අයට එරෙහිව කිසිම නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්න බැහැ. ශ්‍රී ලංකා නීතිය යටතේ ඔවුන් අත්අඩංගුවට ගැනීමට, ප්‍රශ්න කිරීමට හෝ අඩුම තරමේ පාස්පෝට් තහනම් කිරීම හෝ නඩු පැවරීමට බලයක් නැහැ."
මුදලට තරග පාවාදීම වැළක්වීමේ පනතක් සම්පාදනය කිරීම සඳහා පැවති පාලන සමයේ පත් කරන ලද කමිටුවේ ලේකම්වරයා වශයෙන් කටයුතු කරන ලද්දේ නීතිඥ පණ්ඩුක කීර්තිනන්දය.
තරග පාවාදීම් සම්බන්ධයෙන් සිය කමිටුව විසින් සකසන ලද එකී යෝජනා මාලාව ක්‍රීඩා අමාත්‍යංශයට භාර දීමට කටයුතු කළත් 2015 ආණ්ඩු පෙරළියත් සමග එය "ක්‍රියාත්මක නොවී යටගසා ඇති බව" ඔහු චෝදනා කළේය.








