ක්‍රිකට් ලෝක කුසලානය: "මැතිව්ස් පෙන්වලා දුන්නා අමාරු තණතිල්ලක පිතිකරණයේ යෙදෙන්නේ කොහොමද කියලා"

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම
ඡායාරූප ශීර්ෂ වැකිය, ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම
    • Author, නිලන්ත කන්කානන්ගේ
    • Role, බීබීසී සිංහල සේවය

එංගලන්තයේ මේ දිනවල පැවැත්වෙන ජගත් ක්‍රිකට් කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම සත්කාරක එංගලන්තය පරාජය කිරීමට සමත්වීම ලාංකික ක්‍රීඩාලෝලීන්ගේ ප්‍රමෝදයට හේතු වී තිබේ.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ද ඒ අතර වේ.

"අපේ කණ්ඩායම දැන් හොඳ තත්ත්වයකට ඇවිල්ලා තියෙනවා. ඒක අපිට ලොකු අභිමානයක්, සතුටක්. අපි ඒ හැම දෙනාටම සුබ පතනවා අවසාන පුර්ව තරගයට සහ අවසාන තරගයට එන්න හැකි වෙන්න කියලා," මෙසේ පැවසුවේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ඉනෝකා රණවීරයි.

Skip Facebook post

මෙහි අන්තර්ගතය නැත

වැඩිදුරටත් Facebook බලන්නබාහිර වෙබ් අඩවිවල අන්තර්ගතයට බීබීසී වගකියනු නොලැබේ.

End of Facebook post

පසුගිය ජුනි 21 වෙනිදා ශ්‍රී ලංකා කණ්ඩායම, ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වලට අනුව ඉහළින්ම සිටින එක්දින කණ්ඩායම වන එංගලන්තය පරාජය කිරීමත් සමගම මෙවර ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ තියුණු බව සහ තරගකාරීත්වය ඉහළ ගොස් තිබෙන බවද ඇය පැවසීය.

ඉනෝකා රණවීර
ඡායාරූප ශීර්ෂ වැකිය, ඉනෝකා රණවීර

ඉනෝකා බීබීසී සිංහල සේවයට මෙම අදහස් ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ එළඹෙන ඔස්ට්‍රේලියා තරගාවලිය සඳහා කොළඹ NCC ක්‍රීඩාංගනයේ පුහුණුවීම් කරමින් සිටින අතරතුරය.

තවත් ක්‍රීඩිකාවන් කිහිප දෙනෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සුබ පතමින් බීබීසී සිංහල සේවයට අදහස් දැක්වීය.

ශ්‍රීපාලි වීරක්කොඩි:

ශ්‍රීපාලි වීරක්කොඩි
ඡායාරූප ශීර්ෂ වැකිය, "එංගලන්තය සමග තරග කරන කොට තිබ්බ ආකල්පමය වෙනස අපි දැක්කා."

"මම හිතන්නේ කණ්ඩායමේ ආකල්පය. ඒක තමයි ලොකුම දේ තරග ජයග්‍රහණය කිරීමට. එංගලන්තය සමග තරග කරන කොට තිබ්බ ආකල්පමය වෙනස අපි දැක්කා. ඒ විදියටම ඊළඟ තරග තුනත් ක්‍රීඩා කළොත්, අංශ තුනෙන්ම හොඳට කළොත් අපිට පහසුවෙන් අවසාන පුර්ව තරගයට යන්න පුළුවන්."

ඉරෝෂි ප්‍රනාන්දු:

ඉරෝෂි ප්‍රනාන්දු
ඡායාරූප ශීර්ෂ වැකිය, ඉරෝෂි ප්‍රනාන්දු

"එංගලන්ත තරගයේදී ඒ ගොල්ලෝ ගොඩක් දක්ෂතා පෙන්නුවා. ඉතින් මම හිතනවා ඉදිරි තරගවලදීත් එයාලගේ උපරීමය දීලා රටට ජයග්‍රහණය ගෙනත් දෙයි කියලා. ඒ ජයග්‍රහණය ගෙන්න ශක්තිය ධෛර්ය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා."

ශෂිකලා සිරිවර්ධන

ශෂිකලා සිරිවර්ධන
ඡායාරූප ශීර්ෂ වැකිය, ශෂිකලා සිරිවර්ධන

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ සිටින පළපුරුදුම ක්‍රීඩිකාව වන හිටපු නායිකා ශෂිකලා සිරිවර්ධන, එංගලන්ත තරගය ජය ගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායමේ බලාපොරොත්තු ඉහළ ගොස් තිබීම පිළිබඳව දැක්වුයේ මෙවන් අදහසක්.

"මම හිතන්නේ හොඳ ජයග්‍රහණයක අවශ්‍යතාවයක් තිබ්බේ. එසේම පිතිකරුවන්ට විශ්වාසය පිළිබඳව අවශ්‍යතාවයක් තිබුණා. මම විශ්වාස කරන්නේ එංගලන්තය සමග තිබුණ තරගයේ ජයග්‍රහණයත් සමග මැතිව්ස් පෙන්වලා දුන්නා ඕනෑම අමාරු තණතිල්ලක පිතිකරණයේ යෙදෙන්නේ කොහොමද කියලා. මම හිතන්නේ ඒ විශ්වාසය අනෙක් ක්‍රීඩකයන්ටත් ගිහිල්ලා කොහොම හරි ඒ ගොල්ලොත් මැදපෙළ ශක්තිමත් කර ගත්තොත් ඕනෑම කණ්ඩායමක් එක්ක ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා."

ලකුණු සටහන:

ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට තරග හයකට සහභාගි වී ප්‍රසාද ලකුණු හයක් ලබා සිටී. ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු සටහනේ හයවන ස්ථානයේ පසුවන අතර සඳුදා (ජුනි 24) ඇෆ්ගනිස්තානය ලකුණු 62කින් පරාජය කළ බංග්ලාදේශ කණ්ඩායම ප්‍රසාද ලකුණු හතක් සහිතව ලකුණු සටහනෙහි පස්වන ස්ථානයේ පසුවෙයි.

තරග හයකදී ලකුණු 11ක් ලබා සිටින නවසීලන්තය ප්‍රසාද ලකුණු සටහනෙහි පළමු ස්ථානයේ පසුවන අතර ඔස්ට්‍රේලියාව දෙවන ස්ථානයේ පසුවන්නේ ලකුණු 10ක් ලබා ගනිමිනි.

තරග පහකදී ලකුණු නවයක් ලබා සිටින ලෝක කුසලානය ගැන සිහින මවන ඉන්දීය කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනෙහි තෙවන ස්ථානයේ පසුවේ.