"ක්‍රිකට් ආයතනයේ නිලධාරියෙක්" ක්‍රීඩා ඇමතිට වට්ස් ඇප් පණිවුඩයකින් අල්ලස් දීමට උත්සහ කරලා

Facebook/Sri Lanka Cricket

ඡායාරූප මූලාශ්‍රය, Facebook/Sri Lanka Cricket

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩකයකු ඇතුළත් කර ගැනීම පිණිස ක්‍රීඩා අමාත්‍යවරයාට අල්ලස් ලබාදීමට උත්සහ කළ බවට වන චෝදනා මත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරියෙකු අනිවාර්ය නිවාඩු යවා තිබේ.

ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩකයන් ඇතුළත් කිරීම සඳහා තමන්ට අල්ලස් දීමට තැත් කළ අය පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට පැමිණිලි කළ බව, පසුගිය බ්‍රහස්පතින්දා (ජනවාරි 17) බීබීසි සිංහල සේවය සමග ෆේස්බුක් සජීව සංවාදයකට එක්වෙමින් ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු පැවසුවේය.

"මටත් අල්ලස් දෙන්න කතා කරලා තියෙනවා ක්‍රීඩකයෝ කණ්ඩායම්වලට ඇතුළත් කරන්න කියලා, මම මේක මේ වෙනකොටත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට කියලා තියෙනවා," අමාත්‍යවරයා කියා සිටියේය.

ශ්‍රී ලංකාවේ ක්‍රීඩා අමාත්‍යවරයාටම අල්ලස් දීමට පුද්ගලයන් උත්සහ කිරීම, ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව පත්ව ඇති දූෂිත තත්ත්වයේ බරපතළකම පෙන්නුම් කරන බව අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.

BBC

"මේක මම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන ඒකකයේ ප්‍රධානියාට ලබා දුන්නා, එතුමා ඔළුවේ අත තියා ගත්තා," අමාත්‍යවරයා බීබීසි සිංහල සේවය සමග පැවති ෆේස්බුක් සංවාදයේදී කියා සිටියේය.

"මමත් ඔළුවේ අත තියාගත්තා මේක මට ආපු වෙලාවේ, මම හිතුවා මේක මට ආපු ලණුවක් ද කියලා මාව අල්ලගන්න. මම හිතන්නේ නැහැ මේවා ලංකා ඉතිහාසයේ කවදාවත් වුණ දේවල් කියලා."

මෙම පැමිණිල්ල ගැන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන ඒකකය මේවන විට පරීක්ෂණ ආරම්භ කර ඇති අතර, ඒ අනුව අමාත්‍යවරයාට අල්ලස් ලබාදීමට තැත්කළ බවට චෝදනා එල්ල වී ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිගණක දත්ත විශ්ලේෂකයෙකු පරීක්ෂණය අවසන් වන තුරු, අනිවාර්ය නිවාඩු යවා තිබේ.

මේ ගැනත් දැනගන්න:

මෙම චෝදනා ලද පුද්ගලයා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පරිගණක දත්ත විශ්ලේෂකයකවරයා ලෙස වසර ගණනාවක් කටයුතු කර තිබේ.

කෙසේ නමුත් ඔහු මෙම චෝදනාව ප්‍රතික්ෂේප කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරියෙක් බීබීසි සිංහල සේවයට පැවසුවේය.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන ඒකකය වෙත තමන් සඳුදා (ජනවාරි 21) දින මෙම පැමිණිල්ල ගැන ප්‍රකාශයක් ලබා දුන් බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු බීබීසි සිංහල සේවයට තහවුරු කළේය.

බීබීසි සිංහල සේවයට වාර්තාවන ආකාරයට මේ දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන අයර්ලන්ත-A කණ්ඩායමට එරෙහි තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩකයෙකු ඇතුළත් කරන ලෙස මෙම පුද්ගලයා ක්‍රීඩා ඇමතිවරයාට වට්ස්-ඇප් පණිවුඩයක් මගින් යෝජනා කර ඇති අතර ඒ සඳහා ඊට පසු දිනයේම රුපියල් මිලියනයක් ලබාදිය හැකි බව පවසා තිබේ.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මේවන විට දූෂණ වාර්තා කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට 'පොදු සමා කාලයක්' ලබාදී තිබෙන අතර එම කාලසීමාවේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ දූෂණ ගැන ලැබුණු නව තොරතුරු සහ තොරතුරු හෙළිකිරීමට ඉදිරිපත් වූ පිරිස සතුටුදායක බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කර තිබුණි.

එම පොදු සමා කාලය ජනවාරි 31 වන දා අවසන් වන අතර ඉතිරිව තිබෙන සතියක පමණ කාලය ප්‍රයෝජනයට ගෙන තොරතුරු තිබේ නම් හෙළි කරන ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සිය නිවේදනයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.