ශ්‍රී ලංකා ක්‍රිකට්: "බිරිඳව ගෙදර තියලා පිට්ටනියේ ක්‍රිකට් ගහන්න" ක්‍රීඩා ඇමති හරින් ප්‍රනාන්දු

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ දූෂණ හා වංචා පිළිබඳව වාර්තා කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ශ්‍රී ලංකාව වෙත සති දෙකක සහන කාලයක් ලබා දී තිබේ.
මෙම හේතුව නිසා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ දූෂණ විරෝධී ඒකකයේ නියෝජිතයෙකු වන ස්ටීව් රිචර්ඩ්සන් මේ දිනවල ශ්‍රී ලංකාවට පැමිණ සිටී.
කියවන්න:

බදාදා උදෑසන ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ නියැළෙන ක්‍රීඩකයින් හා ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධව වැඩ කටයුතු කරන පාර්ශව කැඳවා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ මෙම නියෝජිතයාගේ පැමිණීම පිළිබඳවත්, ඔහුට ක්‍රිකට් ක්‍රීඩාවේ දූෂණ ගැන යම් තොරතුරු ඇත්නම් හෙළි කරන ලෙසත් ඉල්ලා සිටියේය.
"දැන් අපිට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් විශාල චෝදනාවක් එල්ල වෙලා තිබෙනවා. මම අමාත්‍යාංශය භාර අරගෙන මුලින් ම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නිලධාරීන් හමුවූ අවස්ථාවේදී මට කිව්වේ ක්‍රිකට්වලින් දූෂිත ම රට විදියට ශ්‍රී ලංකාව දකිනවා කියලා. ක්‍රිකට්වලට ආදරේ කරන මට ඒක අහපුවාම හදවතට ලොකු දුකක් දැනුණා."
"මේ සති දෙකක කාලයක් තුළ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ කාර්යාලයක් අපේ රටේ පවත්වාගෙන යනවා. ඔබතුමාලා ක්‍රිකට් සම්බන්ධව යම්කිසි වංචාවක්, දූෂණයක් පිළිබඳව දන්නවා නම් ඒ කාර්යාලය වෙත ගොස් තොරතුරු ලබා දෙන්න පුළුවන්," ක්‍රීඩා අමාත්‍යවරයා ක්‍රිකට් ක්‍රීඩකයන් හා ක්‍රීඩා පුහුණුකරුවන් අමතමින් කියා සිටියේය.
"මගේ වගකීම යුතුකම තමා ඒ තොරතුරු ලබා දෙන ඔබතුමාලාව රැක ගන්න එක. මම ආරක්ෂාව ලබා දෙනවා ඔබතුමාලාට."
තරග පාවා දෙන ලෙස ක්‍රීඩකයන්ට සිදු වූ පෙළඹවීම් වාර්තා නොකිරීම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නීති අනුව වරදක් වන අතර, මෙම සති දෙකක කාලය තුළ එම සිදුවීම් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට වාර්තා කරන ක්‍රීඩකයන්ට 'සහනයක්' ලබා දීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය එකඟ වී තිබේ.
ක්‍රිකට් ක්‍රීඩාවේ තරග පාවා දෙන හෝ දූෂණයේ යෙදෙන පුද්ගලයන් සිරගත කළ හැකි පරිදි නීති හඳුන්වාදීමක් සිදුකරන බව ද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.
මේ ගැනත් දැනගන්න:

"මාර්තුවල දී පාර්ලිමේන්තුවට යොමු කළාට පස්සේ නීතියක් සම්මත වෙනවා, ලංකාවේ යම්කිසි දූෂණ වරදකට කෙනෙක් අහුවුණොත් වසර 5 දක්වා සිර දඩුවමක් වගේ ම විශාල මුදලක් දඩ වශයෙන් ද ගෙවන්න සිදු වෙනවා," හඳුන්වා දීමට යන නව නීති ගැන අදහස් දක්වමින් හරින් ප්‍රනාන්දු අමාත්‍යවරයා පැවසීය.
ක්‍රිකට් තරග පාවා දීම වැනි චෝදනාවකට වැරදිකරුවන් වන පුද්ගලයින්ට දඬුවම් දීමට ශ්‍රී ලංකාවේ නිසි නීති නොමැති වීම ගැන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පසුගිය කාලයේ කණස්සල්ල පළ කර තිබිණි.
"ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නිලධාරීන් මට අවසාන වශයෙන් පෙන්වලා දුන්නේ, ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව සූදුවට එහා ගිය පාතාලය එක්ක සම්බන්ධ දෙයක් කියලා. මේක හරි දරුණු චෝදනාවක්." අමාත්‍ය හරින් ප්‍රනාන්දු පැවසීය.
"මම පැහැදිලිව එක පොරොන්දුවක් වෙනවා. මමත් අපේ ලේකම්තුමාලාත් මෙම තත්ත්වයෙන් ක්‍රිකට් මුදවා ගන්න අවශ්‍ය පරිසරය සකස් කරනවා. පැරණි, ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෝ කිහිප දෙනෙක් මේ සඳහා අවශ්‍ය සහයෝගය ලබා දෙන්න ඉදිරිපත් වෙලා තියෙනවා."
"ක්‍රිකට් ක්‍රීඩාව පිරිසිදු කරන්න අපි එකතු වෙමු. නිලවරණය ගැන, අතුරු පාලක කමිටු ගැන අපි වද වෙන්න අවශ්‍ය නැහැ. එන කෙනෙක් එයි. යන කෙනෙක් යයි. අපි සියලු දෙනා එකතු වෙලා ක්‍රිකට් ක්‍රීඩාව පිරිසිදු කරමු," ක්‍රීඩා අමාත්‍යවරයා පැමිණ සිටි ක්‍රිකට් ක්‍රීඩකයන් හා ක්‍රීඩා බලධාරීන් අමතමින් කියා සිටියේය.

"ක්‍රිකට් පිරිසිදු කරනවා නම් ඒ හැකියාව තිබෙන්නේ ඔබ සැමට. ක්‍රිකට්වල අයිතිකාරයෝ ඔබතුමාලා. ඔබතුමාලට වෙන අසාධාරණකම් සම්බන්ධයෙන් මම විශාල සැලකිල්ලක් දක්වනවා. ක්‍රීඩකයෙක්ට හම්බෙන මුදල කීය ද, ඩිවිෂන් 2 ගහන ක්‍රීඩකයෙක්ට ලැබෙන්නේ කීය ද, කොන්ත්‍රාත් සම්බන්ධයෙන් මොක ද වෙන්නේ කියලා මම අවධානයෙන් ඉන්නේ," තරුණ ක්‍රීඩකයන්ට ඇති ගැටලු කණ්ඩායම් ලෙස පැමිණ තමන්ට ඉදිරිපත් කරන ලෙස ඉල්ලමින් අමාත්‍යවරයා කියා සිටියේය.
පසුගිය දා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන් දෙදෙනෙකුගේ බිරින්දෑවරුන් අතර සමාජ මාධ්‍ය තුළ සිදුවූ බව පැවසන මත ගැටුම පිළිබඳව ද මෙහිදී ක්‍රීඩා අමාත්‍යවරයා අදහස් පළ කළේය.
"ඔබ සියලු දෙනාට දකින්න පුලුවන් වුණා, පහුගිය දින කීපයේ මම දැක්කා ක්‍රීඩකයින්ගේ භාර්යාවන් ගැටලුවක් ඇති කරගෙන. මම සැමගෙන් ඉල්ලන්නේ බිරිඳව ගෙදර තියලා පිට්ටනියේ ක්‍රිකට් ගහන්න එන්න කියලා. ඒ තත්ත්වෙට අපි වැටිය යුතු නැහැ. ඒක හරි ශෝචනීයයි. අපිට ලැජ්ජයි ඒ දේවල් දකිද්දි. මේක හංගන්න දෙයක් නෑ. එහෙම වෙනකොට ලංකාව ගැන ලෝකය දකින්නේ මහ පිස්සු රටක් විදියට. ප්‍රශ්න ඇති. ඒවා ගෙදර තියලා එන්න. හැබැයි ක්‍රීඩා පිට්ටනියේ කණ්ඩායමක් විදියට සෙල්ලම් කරන්න. තනියම සෙල්ලම් කරලා නම් අපිට කවදාවත් ජයග්‍රහණය කරන්න ලැබෙන්නේ නැහැ."
"විශ්වාසෙන් ඉන්න, අපි නැවත වතාවක් ශ්‍රී ලංකාව ක්‍රිකට්වලින් අංක එක බවට පත් කරනවා," නව ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු සිය කතාබහ අවසන් කරමින් කියා සිටියේය.
ඉදිරි දින කිහිපයේදී ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ දූෂණ සෙවීම සඳහා මහජන සහය පැතීමට ද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සූදානම් වන අතර එහි ප්‍රකාශකයෙකු බීබීසි සිංහල සේවයට පැවසුවේ, පැමිණිලි කළ හැකි ආකාරය මාධ්‍ය නිවේදනයක් මගින් ඉදිරියේදී දැනුම් දෙන බවය.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ හිටපු ක්‍රීඩකයන් වන සනත් ජයසූරිය, නුවන් සොයිසා සහ දිල්හාර ලොකුහෙට්ටිගේට පසුගිය වසරේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන ඒකකය මගින් චෝදනා එල්ල කර තිබිණි.








