ක්‍රිකට් දූෂණ: ICC චෝදනා ගැන සනත් ජයසූරියගෙන් නිවේදනයක්

Getty Images

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

දූෂණ විරෝධී නීති දෙකක් උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය යැවූ ලිපිය පිළිබඳව සනත් ජයසූරිය නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනයේ සිංහල පරිවර්තනය පහත දැක්වේ,

"අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය මාධ්‍ය වෙත නිකුත් කළ නිවේදනයේ සඳහන් කරුණු පිළිබඳව දේශීය සහ ජාත්‍යන්තර ක්‍රිකට් ලෝලීන්ගේ අවධානයට ලක්ව තිබේ.

ඒ පිළිබඳව මාගේ ප්‍රතිචාරය දින 14ක් ඇතුළත ඉදිරිපත් කිරීමට ඇති හෙයින් ඒ පිළිබඳව කිසිදු අදහස් දැක්වීමක් කළ හැකි තත්ත්වයක් නොමැති වීම පිළිබඳව කනගාටු වෙමි. ඉහත චෝදනා සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් නොකරන ලෙසට මාහට දැඩි නීතිමය උපදෙස් ලැබී තිබේ.

මේ වන විට මාගේ නීතිඥ කණ්ඩායම මාගේ ප්‍රතිචාරය සකස් කරමින් සිටින අතර එය ඉදිරිපත් කිරීම පිළිබඳව ඉදිරියේදී දැනුවත් කරමි.

මාහට එල්ල වී ඇති චෝදනා තරග පාවා දීම්, තණතිලි වෙනස් කිරීම් හෝ වෙනත් දූෂණ ක්‍රියාවක් සම්බන්ධ ඒවා නොවන බව ප්‍රකාශ කරමි. චෝදනා එල්ල වී ඇත්තේ, ඔවුන්ගේ පරීක්ෂණවලට සහයෝගය ලබා නොදීම සම්බන්ධයෙනි.

ක්‍රීඩාව සම්බන්ධයෙන් මා හැම විට ම අවංකාභාවයෙන් සහ විනිවිදභාවයෙන් යුතුව ක්‍රියා කළ අතර ඉදිරියේදී ද එය එසේ ම කරමි"

ICC චෝදනා

දූෂණ විරෝධී නීති දෙකක් උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් පිළිතුරු සැපයීම පිණිස සනත් ජයසූරියට සඳුදා (ඔක්තෝබර් 15) සිට දින 14 ක කාලයක් ලබාදෙන බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළේය.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරන අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය "දැන් නිකුත් වූ පුවතක්" මැයෙන් ට්විටර් පණිවුඩයක් ද නිකුත් කර තිබේ.

ඒ අනුව, ශ්‍රී ලංකා කණ්ඩායමේ තේරීම් කමිටුවේ හිටපු සභාපතිවරයෙකු වන සනත් ජයසූරියට එරෙහිව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය මතු සඳහන් චෝදනා දෙක ඉදිරිපත් කර තිබේ.

Skip X post
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post

  • නීති සංග්‍රහයේ 2.4.6 වගන්තියට අනුව - අසමත් වීම හෝ ප්‍රතික්‍ෂේප කිරීම: පිළිගත හැකි හේතුවක් නොමැතිව දූෂණ විරෝධී ඒකකය මෙහෙය වූ කිසිදු පරීක්ෂණයකට සහයෝගය නොදැක්වීම සහ පරීක්ෂණයට අදාළ තොරතුරු සහ/හෝ ලේඛන නිවැරදි ලෙස සහ සම්පූර්ණ ලෙස ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම.
  • නීති සංග්‍රහයේ 2.4.7 වගන්තියට අනුව - දූෂණ විරෝධී නීතිය යටතට ගැනෙන දූෂණයක් හෙළි කර ගැනීම සඳහා අවශ්‍ය පරීක්ෂණයට අදාළ හෝ පරීක්ෂණයේ සාක්ෂි විය හැකි වාර්තාවක් හෝ වෙනත් තොරතුරක් ආවරණය කිරීම, වෙනසකට භාජනය කිරීම හෝ විනාශ කිරීම, දූෂණ විරෝධී ඒකකය මගින් ක්‍රියාත්මක කළ පරීක්ෂණයට බාධා කිරීම හෝ ප්‍රමාද කිරීම.

මේ සඳහා පිළිතුරු ලබා දීමට සනත් ජයසූරියට 2018 ඔක්තෝබර් 15 දින සිට දින 14 ක කාල සීමාවක් ලබා දී ඇති බව පවසන ජගත් ක්‍රිකට් පාලක මණ්ඩලය දැනට මෙම කාරණය සම්බන්ධයෙන් වැඩිදුර ප්‍රකාශ නිකුත් නොකරන බව ද සඳහන් කර තිබිණි.

AFP

ඡායාරූප මූලාශ්‍රය, AFP

මේ ගැනත් කියවන්න:

සිම්බාබ්වේ පිළේ ශ්‍රී ලංකා සංචාරය ගැන ලැබුණු පැමිණිලි මත ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පරීක්ෂණ ආරම්භ කළ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් කිහිප දෙනෙක් සහ එවකට තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය අවස්ථා කිහිපයකදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රශ්න කිරීමකට ලක් වූහ.

වසරකට අධික කාලයක් මෙම පරීක්ෂණ පැවැත්වෙමින් තිබෙන අතර පසුගිය සතියේ ද කොළඹදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අනුබද්ධ පුහුණුකරුවන් දෙදෙනෙක් ඔවුන්ගේ ප්‍රශ්න කිරීම්වලට ලක්වූහ. ශ්‍රී ලංකාව නියෝජනය කළ හිටපු වේගපන්දු යවන්නෙකු ද ඒ අතර සිටියි.

සනත් ජයසුරිය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඔක්තෝබර් මස මුල් සතියේදී ශ්‍රී ලංකාවට පැමිණි ICC දූෂණ විරෝධී ඒකකයේ කළමනාකරු ඇලෙක්ස් මාෂල් සිය පරීක්ෂණය සම්බන්ධ සවිස්තර වාර්තාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ සහ ක්‍රීඩා අමාත්‍යවරයා වෙත භාර දීමට කටයුතු කළේය.

එම හමුවීම් ගැන බීබීසි සිංහල සේවය කළ විමසුමකට පිළිතුරු දුන් ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා පැවසුවේ, ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රයේ තරග පාවාදීමේ "ඉතා භයානක" වාතාවරණයක් පවතින්නේ යයි ජගත් ක්‍රිකට් පාලක මණ්ඩලය තමන්ට දැනුම් දුන් බවය.

'පරීක්ෂණවලට සහය නොදීම' සම්බන්ධයෙන් සනත් ජයසූරියට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය චෝදනා ගොනු කරන්නේ, මෙවන් පසුබිමකදී ය.

මින් පෙර බීබීසි සිංහල සේවයට අදහස් දක්වමින් සනත් ජයසූරිය තමන්ට එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ.

පරීක්ෂණවලට සහය නොදුන් බවට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් සනත් ජයසූරිය ඇමතීමට බීබීසි සිංහල සිංහල සේවය ගත් උත්සහය අසාර්ථක විය.

කෙසේ නමුත්, සනත් ජයසූරියගේ ජංගම දුරකතනයක් පරීක්ෂණ සඳහා භාර දෙන ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය කළ ඉල්ලීම නිසි ලෙස ඉටු නොකිරීම මෙලෙස චෝදනා එල්ල වීමට හේතු වී ඇති බව බීබීසි සිංහල සේවයට වාර්තා වේ.

තමන්ගේ පෞද්ගලික හේතුවක් මත ජංගම දුරකතනය භාර දීම කල්ගත වූ බව සනත් ජයසූරිය ඊට හේතු ලෙස දක්වා තිබුණු බව ද බීබීසි සිංහල සේවයට දැන ගන්නට ලැබී තිබේ.

තවත් පුවත්: