ආසියානු කුසලානය: ශ්‍රී ලංකාවේ පරාජය ගැන "සමාව" යැදීම හා "කණගාටු" වීම

ශ්‍රී ලංකා - ඇෆ්ඝනිස්තාන තරගය - ආසියා කුසලාන

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ලක්ෂ සංඛ්‍යාත ශ්‍රී ලාංකික ක්‍රීඩා ලෝලීන් අපේක්ෂාභංගත්වයට පත්කරමින් සහ ලෝක ක්‍රිකට් ලෝලීන් විමතියට පත් කරමින්, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ (17) ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ඉවතට විසිව ගියේ ය.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එම අවාසනාවන්ත ඉරණමට ලක්වූයේ, ක්‍රිකට් ලෝකය කළඹමින් ඉදිරියට එමින් සිටින කෝඩුකාර කණ්ඩායමක් වන ඇෆ්ගනිස්ථානය සමග ඊයේ අබුඩාබිහිදී පැවති තීරණාත්මක තරගයෙන් ලකුණු 91 න් පරාජය වීම හේතුවෙනි.

බංගලාදේශය සමග පැවති පළමු තරගය ද ලකුණු 137කින් පරාජය වූ ශ්‍රී ලංකා කණ්ඩායම, ප්‍රබල ඉන්දීය කණ්ඩයාම තරගාවලියේ සිය පළමු තරගය ක්‍රීඩා කිරීමට ද මත්තෙන් තරගාවලියෙන් ඉවත්වීම සුවිශේෂී සිදුවීමකි.

දැඩි විවේචන

ශ්‍රී ලංකා කණ්ඩායම දැක්වූ දුර්වල ක්‍රීඩා විලාසය, විශේෂයෙන් ම උඩ පන්දු අත හැරීම දෙස් විදෙස් ක්‍රිකට් විචාරකයන්ගේ මෙන් ම ශ්‍රී ලංකික ක්‍රිකට් ලෝලීන්ගේ ද දැඩි විවේචනයට ලක්වී තිබේ.

මීට අමතරව, ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ කඩුලු අතර දිවීම ද දැඩි ගැටලු සහගත එකක් වූ අතර ආසියානු කුසලාන තරගාවලියේ තරග දෙකේදී ම දුවද්දී දැවී යාම් කිහිපයක් සිදුවිය.

ශ්‍රී ලංකා කණ්ඩායමක් ඇෆ්ගනිස්ථානයට පරාජය වූ පළමු අවස්ථාව මෙය ලෙස සනිටුහන් වන අතර ආසියානු කුසලාන ඉතිහාසයේ ශ්‍රී ලංකා - පකිස්ථාන හා ශ්‍රී ලංකා - ඉන්දියා තරග නොපැවැත්වුණු ප්‍රථම අවස්ථාව ලෙස ද මෙය වාර්තා වේ.

පස් වරක් ආසියානු කුසලානය දිනා ඇති කණ්ඩායමක් ලෙස තරගාවලියට අවතීර්ණ වූ ශ්‍රී ලංකා කණ්ඩායම මෙවැනි පසුබෑමකට ලක්ව ඉවත්ව යාම විශේෂත්වයකි.

සංගක්කාරගේ අදහස

ශ්‍රී ලංකා කණ්ඩායම කිසිදු සැලැස්මක් නොමැතිව ක්‍රීඩා කරන බවට ක්‍රිකට් විචාරකයන් චෝදනා කළ අතර තරග විස්තර විචාරයේ යෙදී සිටි හිටපු ශ්‍රී ලංකා නායක කුමාර් සංගක්කාර ද ශ්‍රී ලංකා පිතිකරු ස්ථානගත කිරීම්වල නිතර සිදුවන වෙනස්වීම් පිළිබඳව ප්‍රශ්න කළේ ය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරු ස්ථානගත කිරීම් නිරන්තරයෙන් වෙනස් කිරීම යහපත් නොවන බව පෙන්වා දුන් කුමාර් සංගක්කාර, දිගින් දිගට ම අසාර්ථක වූ කුසල් මෙන්ඩිස් ආරම්භක පිතිකරු ස්ථානයට සුදුසු නොවන බව ද අවධාරණය කළේ ය.

ආසියානු කුසලානය වෙනුවෙන් ශ්‍රී ලංකාව මුහුණ දුන් තරග දෙකේදී ම කුසල් මෙන්ඩිස් ලකුණු නොලබා දැවී ගියේ ය.

මැතිව්ස්ගේ නායකත්වය

පසුගිය දකුණු අප්‍රිකානු සංචාරයේ එක්දින තරගාවලියේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩි ම ලකුණු ලාභියා වූ ඇන්ජලෝ මැතිව්ස්ට, පිතිකරුවෙකු ලෙස මෙම තරගාවලියේදී සාර්ථක වීමට අවස්ථාවක් හිමි නොවී ය.

මේ අතර, මෙම පරාජය ත් සමග සමාජ මාධ්‍යවල ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් ඉලක්ක කර දැඩි විවේචන එල්ල වෙමින් තිබේ. ඔහු නායකත්වයෙන් ඉවත් කළ යුතු බව බොහෝ දෙනා පවසද්දී ඇතැමුන් තර්ක කරන්නේ, නායකත්වයට සුදුසු වෙනත් ක්‍රීඩකයෙකු කණ්ඩායමේ නොමැති බව ය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් වන උපුල් තරංග, කුසල් ජනිත් පෙරේරා හා ඇන්ජලෝ මැතිව්ස් දැවී ගිය ආකාරය ද තරග විචාරකයන්ගේ විවේචනයට ලක්විය.

මේ තොරතුරු ද දැනගන්න:

සමාව යැදීම

මේ අතර, ශ්‍රී ලංකා කණ්ඩායමේ පරාජය ගැන ප්‍රකාශයක් කරමින් කණ්ඩායමේ කළමනාකරු චරිත් සේනානායක ක්‍රීඩා ලෝලීන්ගෙන් කණ්ඩායම වෙනුවෙන් සමාව ඉල්ලා සිටියේ ය.

තරගයෙන් අනතුරව ක්‍රීඩාංගණයේ සිට කණ්ඩායම නවාතැන් ගෙන සිටි හෝටලය දක්වා ගමන ඉතා අසීරු එකක් වූ බව පවසන ඔහු පරාජය නිසා ශ්‍රී ලංකා කණ්ඩායම දැඩි සිත් වේදනාවෙන් පසුවන බව ද පවසා තිබේ.

තරග ප්‍රතිඵලය පිළිබඳ අදහස් පළකළ ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා "මේ පරාජය ගැන මම කණගාටු වෙනවා." යැයි පැවසීය.

මේ ගැන කණ්ඩායමේ පුහුණුකරු, තේරීම් භාර කමිටුව සහ ක්‍රීඩකයන් එක්ක කතාකරලා කරුණු දැනගන්න මම බලාපොරොත්තු වෙනවා. හේතුව අපි ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ යම් තැනකට ඇවිල්ල තියෙනව. අනිත් ක්‍රීඩාවලට සාපේක්ෂව අපේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට අපි අවශ්‍ය කරන සියලු සම්පත් දීල තියෙන්නේ. ඒ නිසා මෙවැනි පසුබෑමක් ගැන පුළුල් සාකච්ඡාවක් කළ යුතුයි." යනුවෙන් ද මාධ්‍ය අමතමින් අමාත්‍යවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම නායකයන් කිහිප දෙනෙකු යටතේ 2017 වසරේ සිට තරග 40ක් ක්‍රීඩා කර ඇති අතර ඉන් ජය ගැනීමට හැකිව ඇත්තේ, තරග 10ක් පමණි.

දිගින් දිගට ම ලබන පරාජයන් හමුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රතිව්‍යුහගත කිරීමට හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයන් වන අරවින්ද ද සිල්වා, මහේල ජයවර්ධන හා කුමාර් සංගක්කාර එක්ව සකස් කළ සැලැස්මක් ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ට භාර දුන්න ද, එය ක්‍රියාත්මක කිරීම ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීහු ප්‍රතික්ෂේප කළහ.

දින තුනකට පෙර ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මහේල ජයවර්ධන පවසා ඇත්තේ, I am sure the stakeholders have a better plan (පාර්ශ්වකරුවන් සතුව වඩා හොඳ සැලසුමක් ඇති බව මට විශ්වාසයි) යනුවෙනි.

ආසියානු කුසලානයෙන් ඉවත්වුණු ශ්‍රී ලංකා කණ්ඩායම ලබන ඔක්තෝබර් මාසයේ ශ්‍රී ලංකාවේදී එංගලන්තය සමග එක්දින, විස්සයි විස්ස හා ටෙස්ට් තරගාවලි තුනක් ක්‍රීඩා කිරීමට නියමිත ය.

එම ටෙස්ට් තරගාවලිය, මුත්තයියා මුරලිදරන්ගෙන් පසුව ශ්‍රී ලංකාව ටෙස්ට් තරග ජයග්‍රහණ රැසක් සඳහා රැගෙන ගිය විශිෂ්ට දඟ පන්දු යවන්නෙකු වන රංගන හේරත්ගේ අවසාන ටෙස්ට් තරගාවලිය ද වේ.