ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙනුත් ඉවත් කරයි
ආසියානු කුසලාන තරගාවලියේදී ලැබූ පරාජයෙන් අනතුරුව එක්දින සහ විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායම්වල නායකත්වයෙන් ඉවත්කරන ලද ඇන්ජලෝ මැතිව්ස්, එළැඹෙන එංගලන්ත-ශ්‍රී ලංකා එක්දින තරගාවලියෙන් ද ඉවත්කිරීමට ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර ඇති බව බීබීසි සිංහල සේවයට වාර්තා වේ.
ආසියානු කුසලානයේ ශ්‍රී ලංකා කණ්ඩායම ලත් පරාජය සම්පූර්ණයෙන්ම තමන් පිට පටවමින් නායකත්වයෙන් ඉවත් වන ලෙස කළ ඉල්ලීම් ගැන දැඩි කනස්සල්ල පළ කරමින් ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ආන්දෝලනාත්මක ලිපියක් ද යොමුකර තිබිණි.
පසුගිය අගෝස්තු මාසයේ දකුණු අප්‍රිකාව සමග පැවති තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා තමන් බව සිහි කරමින්, ක්‍රීඩකයකු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීමට තවමත් සුදුසු තත්වයක සිටින බව ඔහු එම ලිපියෙහි සඳහන් කර තිබිණි.
එක්දින සහ විස්සයි විස්ස තරගාවලි සඳහා තමන් සුදුසු නැති බව තේරීම් කමිටුව සහ පුහුණුකරු සිතන්නේ නම් කණ්ඩායමට බරක් නොවී එක්දින සහ විස්සයි විස්ස තරගවලින් සමුගැනීම ගැන සලකා බලන බවද හිටපු නායකයා යොමු කළ ලිපියේ තවදුරටත් සඳහන් විය.
බීබීසි සිංහල සේවයට වාර්තා වී ඇති පරිදි, ශාරීරික යෝග්‍යතාවය මුල් කරගනිමින් එක්දින සහ විස්සයි විස්ස කණ්ඩායමෙන් ඉවත්කරන බව සඳුදා (සැප්තැම්බර් 24) ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව ඔහුට දැනුම්දී තිබේ.
කෙසේ නමුත්, පරීක්ෂණයක් පැවැත්වීමෙන් තොරව සිය ශාරීරික යෝග්‍යතාව මත කණ්ඩායමෙන් ඉවත්කිරීම ගැන විරෝධය පළකරන ඇන්ජලෝ මැතිව්ස්, තමන්ට ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයක් ලබා දෙන ලෙස තේරීම් කමිටුවෙන් ඉල්ලීමක් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධානියෙකු බීබීසියට පැවසීය.
පසුගිය වසර දෙකක කාලය තුළ ඇන්ජලෝ මැතිව්ස් එක්දින තරග 23ක් ක්‍රීඩා කර ලකුණු 888ක් රැස් කළේ ලකුණු 59ක සාමාන්‍යයක් රඳවා ගනිමිනි.
මේ තොරතුරුද කියවන්න:
ඔහු නායකත්වයෙන් ඉවත්කිරීම ගැන බහුතරයක් ක්‍රීඩා ලෝලීන්ගේ එතරම් විරෝධයක් දක්නට නොලැබුණත්, කණ්ඩායමෙන් ද ඉවත්කිරීම පිළිබඳ විවේචනාත්මක අදහස් සමාජ මාධ්‍ය ජාලවල දක්නට ලැබිණි.
"මුලින්ම ලසිත් මාලිංග ඉවත් කළා, දැන් ඇන්ජලෝ මැතිව්ස්. ක්‍රිකට් ආයතනය විවේචනය කරන ක්‍රීඩකයන්ට මේ දේ වෙනවා," යැයි ගිහාන් ටෙර්න්සි සිය ෆේස්බුක් ගිණුමේ පළ කර තිබිණි.
කිර්ති පෙරේරා සඳහන් කර ඇත්තේ, "ඔහු නායකත්වයෙන් ඉවත් කළාට කමක් නැහැ, නමුත් ඔහු අපේ හොඳම පිතිකරු, මේක යවපු ලිපියට කළ පළිගැනීමක්," ලෙසය.
ඇතැමුන් එම තීරණයට විරෝධය පළකර තිබුණත්, ඇන්ජලෝ මැතිව්ස්ට විවේකයක් ලබාදීම සුදුසු බව තවත් සමහරුන් පවසා තිබුණි.
"මට හිතෙනවා ඔහු විවේකයක් ගත යුතුයි කියලා. මේ සියළු ප්‍රශ්න මැද අලුත් ක්‍රීඩකයකුට අවස්ථාව දෙන එක හොඳයි," යැයි සමීර පෙරේරා සිය ෆේස්බුක් ගිණුමේ සඳහන් කර තිබිණි.
ගයාන් රත්නසිංහ සිය ෆේස්බුක් ගිණුමේ පළ කර ඇත්තේ, "ඔහුව ඉවත්කිරීම සාධාරණයි, ඔහු කැපවීමකින් ක්‍රීඩා කරන්නේ නැහැ. තනි ලකුණු ලබාගැනීම කණ්ඩායමේ ස්ථානයක් ලබාදීමේ නිර්ණායකයක් නෙවෙයි" යනුවෙනි.
කණ්ඩායමේ අත්දැකීම් බහුල දක්ෂතම පිතිකරුවා වන ඇන්ජලෝ මැතිව්ස්ගේ සේවය ශ්‍රී ලංකා කණ්ඩායමට අත්‍යවශ්‍ය බව ප්‍රවීණ ක්‍රිකට් විචාරක රොෂාන් අබේසිංහ බීබීසි සිංහල සේවයට පැවසීය.
එංගලන්තය සමග පැවැත්වෙන තරගාවලිය සඳහා දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම මේවන විටත් ක්‍රීඩා ඇමති ෆයිසර් මුස්තෆා වෙත යොමු කර ඇති බව ක්‍රීඩා වෙබ් අඩවියක් වන 'ක්‍රික් ඉන්ෆෝ' වාර්තා කර තිබුණි.
කෙසේ වුවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය කළමනාකරු ප්‍රසන්න රොඩ්රිගෝ බීබීසි සිංහල සේවයට පැවසුවේ එංගලන්තය සමග තරග වදින ශ්‍රී ලංකා කණ්ඩායම තවමත් ප්‍රකාශයට පත් කර නොමැති බවය.
තවත් තොරතුරු:
මේ අතර හිටපු ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන රණතුංග වර්තමාන ක්‍රිකට් අර්බුදය ගැන මාධ්‍ය වෙත අදහස් දක්වමින්, ශ්‍රී ලංකා කණ්ඩායමේ පරාජයට නායක ඇන්ජලෝ මැතිව්ස්ට පමණක් දොස් පැවරීම සාධාරණ නොවන බව පවසා තිබුණි.
"මම මීට කලින් කිව්වා අපි බංගලාදේශයට පරදිනවා කියලා. ඒක සිද්ධ වුණා. මම මාස 6 - 8කට ඉස්සෙල්ලා කිවුවා ඇෆ්ගනිස්ථානයට පරදිනවා කියලා. ඒකත් සිද්ධ වුණා. මම තව ටික කාලයකින් කියන්නම් මෙහෙම ගියොත් කාටද පරදින්නේ කියලා. ඒ තරමට අපේ ක්‍රිකට් විනාශ වෙලා," යැයි ඔහු පැවසුවේය.
"මේ පරාජයන්ට නායකයාට විතරක් දොස් කියලා බැහැ. තේරුම් කමිටුවත් එහි වගකීම ගන්න ඕනේ. ක්‍රිකට් පරිපාලනයත් වගකියන්න ඕනේ. බලන්න ආසියානු තරගාවලියට යන්න ඉස්සල්ලා 20 යි 20 තරගාවලියක් පැවැත්වුණා. නමුත් අපි ගියේ පන්දුවාර පනහේ තරගාවලියකට. කෝ අපිට දැක්මක්."
"නමුත් තාම අපේ ක්‍රිකට් බිම ඇනිලා නැහැ. මේ ක්‍රීඩකයෝ හදන්න පුළුවන්. අපි තාමත් කියන්නේ ව්‍යවස්ථාව වෙනස් කරලා ඉන්පසුව නිලවරණයක් තියන්න. එතකන් අතුරු කමිටුවක් පත් කරන්න. අතුරු කමිටුවක් පත් කරන්න බැරිනම් සිදත් වෙත්තමුනිලා, මහේලලා, සංගක්කාරලා, මුරලිලා වැනි ක්‍රීඩකයෝ ටිකක් හරි දාලා මේක දුවන්න. ඉන්න ඇමතිතුමාටත් ඒ ගැන වගකීම ගන්න වෙනවා. මම නම් හිතන්නේ අපේ යහපාලන ආණ්ඩුවේ අයහපත්ම දේ වුණේ මේ ක්‍රිකට් ක්‍රීඩාවට. ලෝක කුසලාන තරගාවලිය අපිට ලේසි වෙයි කියලා මම නම් හිතන්නේ නැහැ," අමාත්‍ය අර්ජුන රණතුංග වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේය.