සනත්, ඇන්ජලෝ, චන්දිමාල්: යොවුන් කුසලානයෙන් නායකත්වයට පියවර තැබූ ශ්‍රී ලාංකික ක්‍රිකට් තරු

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රහාරාත්මක ආරම්භක පිතිකරු සනත් ජයසූරිය, බ්‍රයන් ලාරා සහ ඉන්සමාම් උල් හක් යන හිටපු ක්‍රිකට් නායකයන් තිදෙනාම 1988 පැවති සමාරම්භක යොවුන් ජගත් කුසලානයට ක්‍රීඩා කළ බව ඔබ දැන සිටියාද?

සිය ක්‍රීඩා දිවිය තුළ සියලුම අංශවලින් ලකුණු 10,000 කට වඩා රැස් කිරීමට සමත් වූ ඔවුන් තිදෙනාම ක්‍රිකට් ක්‍රීඩාවේ සිය නම රැන්දුවේ දක්ෂ නායකයන්ට වඩා අති දක්ෂ ක්‍රීඩකයන් ලෙසිනි.

තිලිණ කණ්ඩම්බි, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, උපුල් තරංග, තිසර පෙරේරා සහ ලහිරු තිරිමාන්න 19 න් පහළ ජගත් කුසලානයේදී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමෙන් අනතුරුව සිය ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට පත් වූ අනෙක් ක්‍රීඩකයෝය.

යොවුන් ජගත් ශූරතාවලියේ දස්කම් පා ක්‍රීඩකයන් පසුගියදා ටෙස්ට් වරම් ලැබූ අයර්ලන්තය ද ඇතුළුව ටෙස්ට් රටවල් 11 ක නායකත්වයට පත් වී සිටිති.

කෙසේ වුවත් ඇෆ්ඝනිස්තානය ජාත්‍යන්තර ක්‍රිකට් ක්ෂේත්‍රයට අවතීර්ණ වූයේ මෑත දී බැවින් ඇෆ්ඝනිස්තාන ක්‍රීඩකයන් මේ අතරට ඇතුළත් නොවේ.

12 වෙනි ක්‍රිකට් යොවුන් ලෝක කුසලාන ශූරතාවලිය ලබන වසරේ ජනවාරි 13 වෙනි දින නවසීලන්තයේදී ආරම්භ වීමට නියමිතය.

අයිසීසී ජගත් ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිවේදනයක සඳහන් වන පරිදි යොවුන් කුසලානයේ දක්ෂතා දක්වා සිය රටේ නායකත්වයට පත් වූ ක්‍රීඩකයන් අතරින් මේ වන විට ප්‍රබල අවධානය යොමු වී තිබෙන්නේ විරාත් කෝලි, ස්ටීව් ස්මිත් සහ කේන් විලියම්සන් කෙරෙහිය.

ඔවුන් තිදෙනාම 2008 යොවුන් ජගත් ශූරතාවලියේ පෙළහර පෑවෝ වෙති.

2010 යොවුන් ජගත් ශූරතාවලියේ ක්‍රීඩා කළ එංගලන්ත පිලේ ජෝ රූට් මෙන්ම පකිස්තානයේ සෆ්රාස් අහ්මඩ්, දිනේෂ් චන්දිමාල්, බටහිර ඉන්දීය කොදෙවු පිලේ ජේසන් හෝල්ඩර් සහ සිම්බාබ්වේ කණ්ඩායමේ ග්‍රේම් ක්රෙමර් තවමත් සිය කණ්ඩායම්වල නායකත්වය හොබවන ක්‍රීඩකයෝය.

තිසර පෙරේරා ද පසුගියදා ශ්‍රී ලංකා එක් දින කණ්ඩායමේ නායකත්වයට පත් කෙරිණ.

ජනවාරි මාසයේ පැවැත්වෙන වයස 19 න් පහළ ජගත් ක්‍රිකට් ශූරතාවලියේදී පාකිස්තානය, ඇෆ්ඝනිස්තානය සහ අයර්ලන්තය ද ඇතුළත් ඩී කාණ්ඩයේ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම තරග වැදීමට නියමිතය.

තවත් යොමු: