ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඇන්ජලෝ මැතිව්ස් 2019 ලෝක කුසලාන අභියෝගය භාර ගනියි
මෙවැනි අත්‍යවශ්‍ය මොහොතක ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය යළිත් භාර ගන්නා මෙන් ඉදිරිපත් කෙරුණ ඉල්ලීමට පිටුපස හැරවිය නොහැකි බවත් එසේ කළහොත් එය අනාගතයේ තමා පසුතැවිල්ලට පත් වීමට හේතු විය හැකි බවත් නව නායක ඇන්ජලෝ මැතිව්ස් පවසයි.
එක්දින කණ්ඩායමේ නායකත්වය යළි භාර ගැනීමේ තීරණය ගැන බීබීසී සිංහල සේවයට අදහස් දැක්වූ ඇන්ජලෝ මැතිව්ස්, ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සහ නව පුහුණුකරු චන්දික හතුරුසිංහගේ ඉල්ලීම අනුව තමා නැවත එක්දින හා 'විස්සයි විස්ස' කණ්ඩායමේ නායකත්වය භාරගත් බව සඳහන් කළේය.
ක්‍රිකට් ක්‍රීඩාව තමාට බොහෝ දේවල් දී ඇතැයි සඳහන් කළ එක්දින කණ්ඩායමේ නව නායකයා, කිසිවෙකුට තමා කෙරෙහි බලපෑම් කළ නොහැකි බවත් අවධාරණයෙන් කියා සිටියේය.
2013 වසරේ පටන් ශ්‍රී ලංකාවේ ටෙස්ට්, එක්දින හා විස්සයි විස්ස කණ්ඩායම්හි නායකයා ලෙස කටයුතු කළ නායක ඇන්ජෙලෝ මැතිව්ස්, පසුගිය වසරේ ජුනි මාසයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත්වූයේ සිම්බාබ්වේ සමග පැවති එක්දින තරගාවලිය පරාජය වීමෙන් අනතුරුවය.
ඉන් පසු ටෙස්ට් නායකත්වට දිනේෂ් චන්දිමාල්ට පැවරුණු අතර එක්දින හා 'විස්සයි විස්ස' නායකත්වය උපුල් තරංග වෙත පැවරුණි.
උපුල් තරංග යටතේ එක්දින හා 'විස්සයි විස්ස' තරඟාවලීන්හි දී ශ්‍රී ලංකාව දිගින් දිගට තරග පරාජය වූ අතර ඉන් පසුව ඔහු වෙනුවට පත් කරන ලද තිසර පෙරේරා යටතේද සාර්ථක ප්‍රතිඵල අත්කර ගැනීමට නොහැකි විය.
නව පුහුණුකරුගේ ඉල්ලීමක් අනුව ඇන්ජලෝ මැතිව්ස් සීමිත ඕවර් සඳහා තරඟ වදින කණ්ඩායම් දෙකේ නායකයා හැටියට දිගුකාලීන මට්ටමින් පත් කරනු ලැබ තිබෙන්නේ 2019 ලෝක කුසලානය අරමුණු කර ගනිමිනි.
"පසුගිය කාලයේ නායකයන් හතර පස්දෙනෙක් හිටපු නිසා කණ්ඩායමේ ස්ථාවරත්වය බිඳ වැටී තිබුණා. ඒ නායකයන්ට මම චෝදනා කරන්නේ නැහැ. නමුත් ඒක අපේ කණ්ඩායමේ ස්ථාවරත්වයට බලපාපු කාරණයක්. මාස 18 කින් අපි ලෝක කුසලානය සඳහා ක්‍රීඩා කරනවා. ඒකට කණ්ඩායමේ ස්ථාවරත්වය ඉතාම වැදගත්" කණ්ඩායමට ස්ථාවර නායකයකුගේ අවශ්‍යතාව ඇන්ජලෝ මැතිව්ස් විසින් පැහැදිලි කරන ලද්දේ එපරිද්දෙනි.
පසුගිය වසරේ ජුනි මාසයේ ඇන්ජලෝ මැතිව්ස් ඉල්ලා අස්වීමත් සමග "දිගින් දිගටම කණ්ඩායමේ කටයුතු වලට එල්ල වෙන බාහිර බලපෑම් ඔහුගේ අස්වීමට හේතු වූ බව" මාධ්‍ය වාර්තා මගින් පැවසුණි.
ඉදිරි කාලයේ දී එවැනි බලපෑම් එල්ල නොවනු ඇද්දැයි බීබීසිය විමසූ විට ඊට පිළිතුරු දුන් ඇන්ජලෝ මැතිව්ස්, "කාටවත් මට බලපෑම් කරන්න බැහැ" යි සඳහන් කළේය.
"මම අදත් කියන්නේ ඒ දවස්වල මම ගත්ත තීරණ මම මගේ හිතට එකඟව ගත්ත තීරණ බවයි. ඒ ගැන විවිධ මත තියෙන්න පුළුවන්. ඒත් ඒක මට ප්‍රශ්නයක් නොවෙයි"
ඇන්ජලෝ මැතිච්ස් නැවත නායකත්වයට පත් කිරීමේදී ක්‍රිකට් තේරීම් කමිටුව මුහුණ දුන් ප්‍රධාන අභියෝගය පසුගිය කාලයේ ඔහුට දිගින් දිගටම ආබාධවලට ගොදුරු වීමයි.
ආබාධ තත්වයන් වළක්වා ගැනීම සඳහා උපරිම ලෙස උත්සාහ කරන බව නව නායක ඇන්ජලෝ මැතිව්ස් පවසයි.
ළඟදී ආරම්භ කෙරෙන බංග්ලාදේශ් තරඟාවලියේ දී ඇන්ජලෝ මැතිව්ස් පන්දු නොයවන බව මේ අතර ක්‍රිකට් තේරීම් කමිටුව නිවේදනය කළේය.
සබැඳි පුවත්;