ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඇන්ජලෝ මැතිව්ස් ඉවත්කිරීමේ 'කුමන්ත්‍රණයක්'
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස් නායකත්වයෙන් ඉවත්කිරීමේ 'කුමන්ත්‍රණයක්' දියත්ව පවතින බවට ක්‍රීඩා විශ්ලේෂකයෝ චෝදනා කරති.
ආබාධිත තත්වය හේතුවෙන් දකුණු අප්‍රිකාවේ සිට යළි සියරට බලා පැමිණි ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා කණ්ඩායමේ එළැඹෙන ඕස්ට්‍රේලියා සංචාරයටද සහභාගි නොවන අතර, ඉන් අනතුරුව ඔහු නායකත්වයෙන් ඉවත්කිරීමේ උත්සාහයක් පවතින බව ඩේලි මිරර් පත්‍රයේ ක්‍රීඩා මාධ්‍යවේදී චම්පික ප්‍රනාන්දු බීබීසී සංදේශයට පැවසීය.
ඇන්ජලෝ මැතිව්ස් 2019 වසර දක්වා කණ්ඩායමේ නායකත්වය දරන බව ක්‍රිකට් බලධාරීන් මීට ඉහතදී ප්‍රකාශකළත් ඔහු නායකත්වයෙන් ඉවත්කිරීම පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බලධාරීන්ගේ අවධානය යොමු වී තිබෙන බව අයිලන්ඩ් පුවත්පතේ මාධ්‍යවේදී රෙක්ස් ක්ලෙමන්ටයින්ද වාර්තාකර තිබුණි.
ඉන් අනතුරුව ටෙස්ට් සහ එක් දින තරග වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට නායකයන් දෙදෙනකු පත්කිරීම පිළිබඳව බලධාරීන්ගේ අවධානය යොමු වී ඇති බව ශ්‍රී ලංකා මිරර් වෙබ් අඩවියද වාර්තා කරයි.
නවක ක්‍රීඩකයන් පිරිසක් මෙහෙයවා දකුණු අප්‍රිකාවේදී ටෙස්ට් තරගාවලිය පරාජයවීම හේතුවෙන් ඇන්ජලෝ මැතිව්ස් එසේ නායකත්වයෙන් ඉවත්කරන්නේ නම් එය සාධාරණ නොවන බව දකුණු අප්‍රිකාවේ සිට ශ්‍රී ලංකා කණ්ඩායමේ සංචාරය වාර්තාකරණ චම්පික ප්‍රනාන්දු වැඩිදුරටත් පැවසීය. (සාකච්ඡාවට සවන්දෙන්න)
විශේෂයෙන්ම ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා සංචාරයේදී සිය කණ්ඩායම තරගාවලියේ ජයග්‍රහණය කරා මෙහෙයවමින් දැවැන්ත ජයග්‍රහණයක් ලබාගැනීමට මැතිව්ස් සමත් වූ බවත් ඔහු පෙන්වා දෙයි.
කණ්ඩායමේ නායකත්වය වෙනස්කිරීමේ සැලසුමක් තිබෙන්නේ දැයි විමසීම පිණිස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල, ලේකම් මොහාන් ද සිල්වා සහ විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා ඇමතීමට බීබීසී සංදේශය දැරූ උත්සාහය සාර්ථක නොවීය. (බීබීසී සංදේශයට සවන්දෙන්න)