රාජ්‍ය නොවන සංවිධාන 'තමන්ගේ වගකීම දැනගත යුතුයි'

"හැමෝම නෙවෙයි, ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන තම ලියාපදිංචි වෙච්ච විෂය ක්ෂේත්‍රයට එහා යනවා. මට නම් මගේ වත්කම් ගැන කිසි ප්‍රශ්නයක් නැහැ"

ඡායාරූප මූලාශ්‍රය, Laksiri Alwis/ News.lk

ශ්‍රී ලංකාවේ ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන සිය විෂය ක්ෂේත්‍රයට පරිබාහිරව කටයුතු කරන බවට චෝදනා කරන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, රාජ්‍ය නොවන සංවිධාන සිය වගකීම වටහාගෙන කටයුතු කළ යුතු බව අවධාරණය කරයි.

ජනාධිපතිවරයා ඒ අදහස් පළ කළේ, තොරතුරු දැනගැනීමේ පනත යොදාගනිමින් තමාගේ හා අගමැතිවරයාගේ වත්කම් හෙළිකරන ලෙස රාජ්‍ය නොවන සංවිධානයක් කළ ඉල්ලීම පිළිබඳව ප්‍රතිචාරය පළකරමිනි.

Grey line
Grey line

අරලියගහ මන්දිරයේ පැවති තොරතුරු දැනගැනීමේ අයිතිය ශ්‍රී ලාංකික පුරවැසියන්ට ලබාදීමේ නිල උත්සවයේදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා, "රාජ්‍ය නොවන සංවිධානත් දැනගන්න ඕනේ, තමාගේ වගකීම මොකක්ද කියලා. කළ යුතු දේ කිරීමත් නොකළ යුතුදේ නොකරන්නටත් දැනගන්න ඕනේ," යනුවෙන් ද සඳහන් කළේය.

තොරතුරු දැනගැනීමේ පනත ගැසට් කළ දිනයේදීම ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ වත්කම් හෙළිකරන ලෙස රාජ්‍ය නොවන සංවිධානයක් ඉල්ලීමක් කර තිබුණි.

තොරතුරු දැනගැනීමේ අයිතිය ශ්‍රී ලාංකික පුරවැසියන්ට ලබාදීමේ නිල උත්සවය

ඡායාරූප මූලාශ්‍රය, Laksiri Alwis/ News.lk

"ගැසට් එක පලකළ පෙබරවාරි 2 දිනය දාලම මටයි අගමැතිතුමාටයි, රාජ්‍ය නොවන සංවිධානයක් ඉල්ලනව වත්කම් ඉල්ලලා. මම හරි සතුටු වෙනවා ඒ ගැන," ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැවසීය.

"හැමෝම නෙවෙයි, ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන තම ලියාපදිංචි වෙච්ච විෂය ක්ෂේත්‍රයට එහා යනවා. මට නම් මගේ වත්කම් ගැන කිසි ප්‍රශ්නයක් නැහැ," බව සඳහන් කළ ඔහු, ජනාධිපති ධුරයට පත්වී ගතවගිය දෙවසර තුළ වත්කම් ප්‍රකාශ ලබාදුන් එකම ජනාධිපතිවරයා තමන් බවත් පැවසීය.

Grey line
Grey line

තොරතුරු දැනගැනීමේ පනත ක්‍රියාත්මක කරන දිවයින පුරා පිහිටි සියලු රාජ්‍ය ආයතන නියෝජනය කරන තොරතුරු නිලධාරීන් දෙදහසක් පමණ උත්සවයට සහභාගි වී සිටියහ.

දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරීන් ඉතා විවෘතව කටයුතු කළ යුතුය යන්න තොරතුරු දැනගැනීමේ පනතෙන් පෙන්වාදෙන බව ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

උත්සවයේදී අදහස් දැක්වූ ජනමාධ්‍ය ඇමති ගයන්ත කරුණාතිලක, ශ්‍රී ලංකාවේ තොරතුරු දැනගැනීමේ පනත ලෝකයේ හොඳම තොරතුරු පනත් අතර තුන්වෙනි ස්ථානයට ශ්‍රේනිගතවී ඇති බව සඳහන් කළේය.