තොරතුරු දැනගැනීමේ කොමිසමට 'අයවැයෙන් මුදල් ප්‍රතිපාදන නෑ'

තොරතුරු දැනගැනීමේ පනත

තොරතුරු දැනගැනීමේ කොමිසම වෙනුවෙන් මේ වසරේ අයවැයෙන් මුදල් ප්‍රතිපාදන වෙන්කර නොමැති බව පිළිගන්නා ජනමාධ්‍ය අමාත්‍යාංශය, කෙසේ නමුත් කොමිසමේ වැඩකටයුතුවලට එයින් කිසිදු බාධාවක් එල්ල වී නැති බව අවධාරණය කරයි.

ජනාධිඅප්තිවරයා විසින් පත්කරනු ලබන කොමිසම් සභා වෙනුවෙන් පහසුකම් සැපයීමේ සාමාන්‍ය ක්‍රියා පටිපාටියක් පවතින බැවින් තොරතුරු දැනගැනීමේ කොමිසමට මුදල් ලබාගැනීමේ කිසිදු අපහසුතාවයක් නොමැති බවත් ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන බීබීසී සංදේශයට පැවසීය.

"කොමිසමේ වර්තමාන කටයුතුවලට කිසිම බාධාවක් නැහැ. තොරතුරු නිලධාරීන් දැනට ඉන්න අමාත්‍යංශවල, දෙපාර්තමේන්තුවල නිලධාරීන්මයි පත්කරන්නේ. ඒ අමාත්‍යංශවල, දෙපාර්තමේන්තුවල සමපත් පාවිච්චි කරලම මේ ආරම්භය ගන්න පුළුවන්," ඔහු පැවසීය.

තොරතුරු දැනගැනීම යනු දිගුකාලීන 'ක්‍රියාදාමයක්' බව පෙන්වාදෙන නියෝජ්‍ය අමාත්‍යවරයා, මේ වසරේ අත්දැකීම්වලට අනුව අඩුපාඩු සපුරාගෙන් ඉදිරි වසර කටයුතු දියත්කිරීම ආණ්ඩුවේ අභිලාෂය වන අතර කොමිසම සඳහා වෙනම මූල්‍ය ප්‍රතිපාදන ලබන වසරේ සිට වෙන් කෙරෙන බවත් සඳහන් කළේය.

නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන
ඡායාරූප ශීර්ෂ වැකිය, "ලබන මාසේ 17 වෙනිදා ලංකාවේ ප්‍රධාන පෙළේ රාජ්‍ය ආයතන සියල්ලටම වගේ තොරතුරු නිලධාරීන් පත්කෙරෙනවා"

පනත ක්‍රියාවට නැගුණු නමුත් තවමත් ජනාධිපති කාර්යාලයේ පවා තොරතුරු නිලධාරියකු නැතැයි ක්‍රියාධරයන් පිරිසක් විසින් කරන ලද විමසීමකදී දැනගන්ට ලැබුණු බව බීබීසී සංදේශය පෙන්වාදුන් අවස්ථාවේ නියෝජ්‍ය අමාත්‍යවරයා කියාසිටියේ, තොරතුරු නිලධාරීන් පත්කිරීම තවමත් අවසන් වී නොමැති බවයි.

"මේ පනතෙන් කාලවේලාව දුන්නේ මාස හයයි, මේකට සූදානම් වෙන්න. නීතියේ කොහොම තිබුණත් කොමිසම පත්කිරීමෙත් ප්‍රමාදයක් ඇතිවුණා. ඒ අනුව ලබන මාසේ 17 වෙනිදා ලංකාවේ ප්‍රධාන පෙළේ රාජ්‍ය ආයතන සියල්ලටම වගේ තොරතුරු නිලධාරීන් පත්කෙරෙනවා."

මෙවැනි ඓතිහාසික පනතක් සම්මත කළ සැණින් "ප්‍රාතිහාර්යයක් පානවා වගේ" සියල්ල එකවර සිදු නොවන බවත් ඔහු පැවසීය.

තොරතුරු දැනගැනීම පිළිබඳ පනත මගින් මේ වසර තුළ සර්ව සම්පූර්ණ ප්‍රතිඵල බලාපොරොත්තු විය නොහැකි බවත් නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන වැඩිදුරටත් පැවසීය.