ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ මේ ක්‍රියාත්මක වන්නේ කුමන්ත්‍රණයක් ද?

ශ්‍රී ලාංකික දේශපාලනයේ තීරණාත්මක කාර්ය භාරයක් ඉටු කළ ප්‍රධාන පක්ෂයක් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වන විට අර්බුදකාරී තත්ත්වයකට පත්ව තිබේ

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ශ්‍රී ලාංකික දේශපාලනයේ තීරණාත්මක කාර්ය භාරයක් ඉටු කළ ප්‍රධාන පක්ෂයක් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වන විට අර්බුදකාරී තත්ත්වයකට පත්ව තිබේ.

එහි කූටප්‍රාප්තිය වාර්තා වූයේ, සඳුදා (අප්‍රේල් 08) දිනයේදී ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වූ විශේෂ දේශපාලන මණ්ඩල රැස්වීමකදී අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස පත් කිරීමත් සමග ය.

මේ වන විට, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලනඥයින් ප්‍රසිද්ධියේ ම දෙපිලකට බෙදී ඇති බවක් පෙනෙන්නට තිබේ.

ඒ, මෛත්‍රීපාල සිරිසේන හිතෛෂී සහ මෛත්‍රීපාල සිරිසේන විරෝධී වශයෙනි.

නිමල් සිරිපාල වැඩබලන සභාපති වුණු හැටි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ දේශපාලන මණ්ඩල රැස්වීම ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී සඳුදා (අප්‍රේල් 8) පෙරවරුවේදී රැස් වූ අවස්ථාවේදී පක්ෂයේ වැඩබලන සභාපතිවරයා‌ ලෙස අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පත් කෙරිණි.

මෙම රැස්වීමට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක නිරීක්ෂකවරියක ලෙස සහභාගි වූ බව පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක පැවසීය.

නිමල් සිරිපාල ද සිල්වා පක්ෂයේ වැඩබලන සභාපති ධූරයට පත් කිරීමට බලපෑ හේතුව දුමින්ද දිසානායක පැහැදිලි කළේ, මෙසේ ය.

"ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයාගේ වැඩ කටයුතු කිරීම උසාවියෙන් තහනම් කරල තියෙනවා. ඒ අනුව, පක්ෂයකට නායකයෙක් නැතුව, සභාපති කෙනෙක් නැතුව ඉදිරි වැඩකටයුතු කරන්න පුළුවන්කමක් නෑ. විශේෂයෙන් ම, මේ වගේ දේශපාලනික වශයෙන් තීරණාත්මක වෙලාවක. ඒ නිසා දේශපාලන මණ්ඩලයට ව්‍යවස්ථානුකූලව බලය තියෙනවා, මෙවැනි අවස්ථාවක කොහොම ද ක්‍රියා කළ යුත්තේ කියලා. ඒ අනුව, ව්‍යවස්ථානුකූලව දේශපාලන මණ්ඩලය අද රැස්වුණා. රැස් වෙලා අපි තීන්දුවක් ගත්තා, වැඩබලන සභාපතිවරයා විදිහට නිමල් සිරිපාල ද සිල්වා පත් කර ගන්න."

අධිකරණ වාරණය

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරය දැරීම වළක්වමින් කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන අප්‍රේල් 4 වන දා වාරණ නියෝගයක් නිකුත් කළේ, එම පක්ෂයේ හිටපු සභාපතිනිය වූ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග විසින් ගොනු කරනු ලැබ තිබූ පැමිණිල්ලක් කැඳවූ අවස්ථාවේදී ය.

මේ අතර, අමාත්‍ය මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක යන පිරිස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නෙරපීමට ගනු ලැබූ තීරණය ක්‍රියාත්මක වීම වළක්වාලමින් නිකුත් කර තිබෙන වාරණ නියෝගය ලබන 24 වන දා දක්වා දීර්ඝ කරන ලෙස කොළඹ දිසා අධිකරණය සඳුදා (අප්‍රේල් 8) නියම කළේ ය.

තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් කිරීමට එරෙහිව එම මන්ත්‍රීවරුන් විසින් ගොනු කරන ලද පැමිණිලි කැඳවූ අවස්ථාවේදී කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මෙම නියෝගය නිකුත් කර තිබිණි.

"දේශපාලන මණ්ඩලය රැස් කිරීම නීතිවිරෝධී යි. අධිකරණයට යනවා" - දුෂ්මන්ත මිත්‍රපාල

මේ අතර, සඳුදා දේශපාලන මණ්ඩලය රැස්වීම නීතිවිරෝධී බවත්, ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන මහ ලේකම් යන තනතුර යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී දුෂ්මන්ත මිත්‍රපාල අත්සන් කළ නිවේදනයක සඳහන් වේ.

එහි දක්වා ඇත්තේ, තවදුරටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා මෛත්‍රීපාල සිරිසේන බවත්, නිමල් සිරිපාල ද සිල්වා නීත්‍යනුකූලව පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස පත් කළ නොහැකි බවත් ය.

සඳුදා පැවති "නීතිවිරෝධී දේශපාලන මණ්ඩල රැස්වීමට එක්ව සිටි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ඇතුළු බොහෝ දෙනෙකු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයන් නොවන," බව ද එහි වැඩිදරටත් සඳහන් කර තිබිණි.

"මේ තත්ත්වය ඇති වුණේ මෛත්‍රීගේ අතනෝමතික ක්‍රියා නිස යි" - දුමින්ද දිසානායක

ප්‍රබල පක්ෂයක්ව පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වර්තමානය වන විට කඩා වැටී ඇත්තේ, මෛත්‍රීපාල සිරිසේන වරින් වර අත්තනෝමතික ලෙස ක්‍රියා කළ හෙයින් බව පක්ෂයේ ‘ජාතික සංවිධායක’ දුමින්ද දිසානායක පැවසීය.

"මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පහුගිය කාලය පුරාවට ම ඉතා ම අත්තනෝමතික විදිහට පක්ෂයේ නිලධාරීන් අයින් කිරීමත්, එයාට හිතෙන හිතෙන විදිහට කටයුතු කිරීම නිසාත්, උසාවිය මගින් එතුමාට වාරණ නියෝග ලබා දුන්නා. අවසාන තීන්දුව විදිහට මාවත්, ලසන්ත අලගියවන්න මැතිතුමාවත්, මහින්ද අමරවීර මැතිතුමාවත් තමයි අයින් කළේ. ඒ අයින් කළේ, කිසි ම නීත්‍යනුකූල පදනමකින් නෙවෙයි. ඊට එරෙහිව අපි අධිකරණයට ගියා. ඊට පස්සෙ ඒකට වාරණ නියෝගයක් නිකුත් කළා. දැන් ඒ වාරණ නියෝගය 24 වෙනි දා දක්වා දීර්ඝ කරල තියෙනවා," යනුවෙන් දුමින්ද දිසානායක ප්‍රකාශ කළේ ය.

"ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වැටිලා ඉන්න තත්ත්වයට සම්පූර්ණයෙන් ම වග කිය යුත්තේ, මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා තමයි," දුමින්ද දිසානායක වැඩිදුරටත් පැවසීය.

"කුමන්ත්‍රණයක්"

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

මෛත්‍රීපාල සිරිසේන සභාපති ධූරයෙන් ඉවත් කර එම ධූරයට නිමල් සිරිපාල ද සිල්වා පත් කිරීම කිසිසේත් නීත්‍යනුකූල කටයුත්තක් නොවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මාහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස බීබීසී සිංහල සේවයට පැවසීය.

ඔහු ප්‍රකාශ කළේ, මෙය යම් ආකාරයක කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් බව ය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩලයට සාමාජිකයින් 15 දෙනෙකු අයත් වන අතර, එම මණ්ඩලයේ තීන්දු ගැනීම සඳහා අවම වශයෙන් 8 දෙනෙකු හෝ 9 දෙනෙකු සිටිය යුතු බව ඔහු පෙන්වා දුන්නේ ය.

"මම දන්න ආකාරයට මෙතන රැස්වීමට සහභාගි වෙලා හිටියෙ පහක් හෝ හය දෙනෙක් විතර යි. ඒ අනුව, බහුතර සාමාජික සංඛ්‍යාවවත් නැතුව තමයි මෙතන යෝජනා සම්මත කරගෙන තියෙන්නේ. ඒ නිසා මේක ව්‍යවස්ථාවට එකඟ නැහැ," මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පැවසීය.

ඔහු ප්‍රකාශ කළේ, පක්ෂය දුර්වල කිරීම සඳහා දීර්ඝ කාලීනව කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වූ බව පෙනෙන්නට තිබෙන බව ය.

"ගෝඨාභය රාජපක්ෂ පාලනය අසමත් වෙද්දී අපි යෝජනා කළා එවකට ආණ්ඩුවේ ඇමතිකම් දරපු අයට ඒවායින් අයින් වෙන්න කියලා. ඔවුන් ඒවා ඇහුවෙ නෑ. ඒ යෝජනාව කරපු දවසට පස්සෙ දවසේ ගෝඨාභයට ජනාධිපතිකම දාලා පැනල යන්න සිද්ධ වුණා. අපි ඊට කලින් ආණ්ඩුවෙන් ඉවත් වුණා නම්, ඒක ඒ මොහොතේ ජනතාවගේ ගෞරවයට පාත්‍ර වන තීරණය බවට පත් වෙන්න තිබුණා. ඒත් තනතුරු බදාගෙන හිටිය අය ඒවා අත්හැරියේ නෑ. ඉතින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ජනතා විරෝධයට ලක්වුණා. ඒ කුමන්ත්‍රණකාරී වැඩ නිසා පක්ෂය කඩා වැටුණා."

ඔහු පෙන්වා දුන්නේ, "කුමන්ත්‍රණයට සහය දෙන සියලු දෙනාගේ අරමුණ වී ඇත්තේ ආණ්ඩුව සමග එක්වීම" බව ය.

"මොන කොන්දේසිය තිබුණත් අවසානයේදී සියලු දෙනා ම උත්සහ කරන්නෙ මේ පක්ෂය ගෙනිහිල්ලා ආණ්ඩුවට එකතු කරන්න, මැතිවරණයක් තියෙන කාලය තුළ. මේ මහා දැවැන්ත පක්ෂයට හැම ගමක ම අද සාමාජිකයො ඉන්නවා. ලංකාව පුරා ම සංවිධායක මණ්ඩලයක් තියෙනවා. ඒක පැත්තකට දාලා යම් පිරිසක් තමන්ට අවශ්‍ය විදිහට පක්ෂය ඇදගෙන යන එකට විරුද්ධ පක්ෂයේ සංවිධායකයින් පෙළ ගැසෙමින් ඉන්නවා."

කෙසේ වෙතත්, කිසිදු කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක නොවන බවත්, පක්ෂය රැක ගැනීම වෙනුවෙන් තමන් ඇතුළු පිරිස ක්‍රියා කරන බවත් දුමින්ද දිසානායක පවසයි.

එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක විසින් වර්ෂ 1951 සැප්තැම්බර් 02 වන දා කොළඔ නගර ශාලාවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරම්භ කරන ලදී.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක විසින් වර්ෂ 1951 සැප්තැම්බර් 02 වන දා කොළඔ නගර ශාලාවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරම්භ කරන ලදී

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආරම්භය හා ගමන් මග

එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක විසින් වර්ෂ 1951 සැප්තැම්බර් 02 වන දා කොළඔ නගර ශාලාවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරම්භ කරන ලදී.

එදින පැවති පක්ෂ මංගල සැසි වාරයේදී එවකට පාර්ලිමේන්තු මන්ත්‍රී එච්. ශ්‍රී නිශ්ශංක එම පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස නම් කළේ ය.

එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරණායකට සහය පළ කරමින් 44 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් එදින නගර ශාලාව වෙත පැමිණ සිටි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අතීත වාර්තාවල සඳහන් වේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවා මාස 7ක් පමණ ගත වෙද්දී මහ මැතිවරණයකට මුහුණ දීමට එම පක්ෂයට සිදු විය.

එවකට ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ඩී.එස්. සේනානායක ගාලු මුවදොර පිටියේදී අශ්වයෙකු පිටින් යද්දී ඉන් ඇද වැටී අභාවයට පත්වීම නිසා හදිසි මැතිවරණයක් පැවැත්වීම ඊට හේතු විය.

අගමැතිවරයාගේ හදිසි අභාවයෙන් පසු අගමැති ධූරයට පත් වූ ඔහුගේ පුත් ඩඩ්ලි සේනානායක 1952 අප්‍රේල් 08 දා පාර්ලිමේන්තුව විසුරුවා හැරීයේ ය.

මේ අනපේක්ෂිත සිදුවීම නිසා හදිසි මැතිවරණයක් කැඳවීමෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අභියෝගයකට මුහුණ දීමට සිදුවූ අතර අපේක්ෂකයන් 48 දෙනෙකු මහ මැතිවරණයට ඉදිරිපත් කිරීමට එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක පියවර ගත්තේ ය.

1952 මැයි 24,26,28 සහ 30 යන දින හතර තුළ පැවති එම මහ මැතිවරණයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආසන 09 ක් ජයග්‍රහණය කර තිබිණි. ලැබූ මුළු ඡන්ද සංඛ්‍යාව තුන් ලක්ෂ හැට එක්දහස් දෙසිය පනහකි. එස්.ඩබ්.ආර්.ඩී බණ්ඩාරනායක ඡන්ද 32,544 කින් අත්තනගල්ල ආසනය දිනා විපක්ෂ නායක ධූරයට පත්විය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරය දැරූ මහින්ද රාජපක්ෂ 2005 වසරේ සිට 2015 වසර දක්වා ජනාධිපති ධූරය දැරීය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරය දැරූ මහින්ද රාජපක්ෂ 2005 වසරේ සිට 2015 වසර දක්වා ජනාධිපති ධූරය දැරීය

1956 වර්ෂයේ පැවති මහ මැතිවරණය ශ්‍රී ලංකා දේශපාලනයේ නව පරිච්ඡේදයක ආරම්භයක් සනිටුහන් කළේ ය.

එහිදී, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මැතිවරණයට ඉදිරිපත් කළ අපේක්ෂකයන් 60 දෙනාගෙන් 51 දෙනෙක් ජයග්‍රහණය කළහ.

1959 වසරේදී එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක ඝාතනයට ලක්වීමෙන් පසු, ලොව ප්‍රථම කාන්තා අගමැතිවරිය ලෙස වාර්තාවක් තබමින් වර්ෂ 1960 ජූලි 21 දින ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරිය බවට සිරිමාවෝ බණ්ඩාරනායක පත් විය.

පසුව, 1970 වසරේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායිකා සිරිමාවෝ බණ්ඩාරනායක යළිත් අගමැති ධූරයට පත්වූවා ය.

ඉන්පසු, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පොදුජන එක්සත් පෙරමුණ නියෝජනය කරමින් 1994 වසරේදී චන්ද්‍රිකා බණ්ඩාරනායක ශ්‍රී ලංකාවේ ප්‍රථම ජනාධිපතිනිය බවට පත්වූවා ය.

ඇය එතැන් සිට දෙවරක් ශ්‍රී ලංකාවේ ජනාධිපති ධූරය දැරුවා ය.

ඉන්පසු, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරය දැරූ මහින්ද රාජපක්ෂ 2005 වසරේ සිට 2015 වසර දක්වා ජනාධිපති ධූරය දැරීය.

පසුව, 2015 වසරේදී එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ තුළින් ජනාධිපති ධූරයට පත්වූ මෛත්‍රීපාල සිරිසේන පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයට පත් කෙරිණි.