කොළඹ වරායෙන් හමුවූ සමූහ මිනීවළෙන් පුද්ගලයින් 88 දෙනෙකුගේ අස්ථි කොටස්

කොළඹ වරාය පරිශ්‍රයෙන් අහඹු ලෙස මතුවීමෙන් පසු කැණීම් කටයුතු කරන සමූහ මිනීවළෙන් පුද්ගලයන් 88 දෙනෙකුට අයත් අස්ථි කොටස් මෙතෙක් කරන ලද කැණීම්වලින් සොයා ගත් බව කැණීම් නිලධාරිහූ පවසති.
    • Author, බීබීසී සිංහල

කොළඹ වරාය පරිශ්‍රයෙන් අහඹු ලෙස හමුවූ සමූහ මිනීවළෙන් මෙතෙක් කරන ලද කැණීම්වලින් පුද්ගලයන් 88 දෙනෙකුට අයත් අස්ථි කොටස් සොයාගෙන ඇතැයි කැණීම් නිලධාරීහු පවසති.

තාවකාලිකව නවතා දමා තිබූ මිනීවළේ තුන් වන අදියරේ කැණීම් කටයුතු යළි ආරම්භ කර ඇති අයුරු අපට දැක ගත හැකි විය.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කසුන් කාංචන දිසානායකගේ අධීක්ෂණය යටතේ සමූහ මිනීවළේ කැණීම් කටයුතු සිදුවන අතර සමූහ සුසාන කැණීමෙහි ලා මෙරට ප්‍රවීණයෙකු වන පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේවගේ මෙහෙයවීම මත කැණීම් කටයුතු සිදු වේ.

එහි වෛද්‍ය විද්‍යාත්මක කටයුතු භාර වී ඇත්තේ විශේෂඥ අධිකරණ වෛද්‍ය සුනිල් හේවගේ වෙත ය.

කොළඹ වරාය පරිශ්‍රයෙන් සමූහ මිනීවළක් මතු වීම

ඉඟුරුකඩේ මංසන්ධියේ සිට කොළඹ වරාය දක්වා දිවෙන කුලුණු මතින් ඉදිවෙන අධිවේගී මාර්ගයේ ඉදිකිරිම් අතරතුර මෙම මිනිස් අස්ථි කොටස් හමු වී තිබිණි
ඡායාරූප ශීර්ෂ වැකිය, ඉඟුරුකඩේ මංසන්ධියේ සිට කොළඹ වරාය දක්වා කුලුනු මතින් ඉදිවෙන අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් අතරතුර මෙම මිනිස් අස්ථි කොටස් හමු වී තිබිණි

ඉඟුරුකඩේ මංසන්ධියේ සිට කොළඹ වරාය දක්වා දිවෙන කුලුනු මතින් ඉදිවෙන අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සඳහා පොළොව හාරමින් සිටින අතරතුර 2024 ජූලි මස 13 වන දා මිනිස් අස්ථි කොටස් හමු වී තිබුණේ කොළඹ වරායේ පැරණි ලේකම් කාර්යාලය පරිශ්‍රයෙනි.

ඒ සම්බන්ධව කොළඹ අලුත්කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් වෙත කරුණු වාර්තා කිරිමෙන් අනතුරුව එවක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ විනිසුරුවරයා ඉදිරියේ 2024 සැප්තැම්බර් 05 වන දා පළමු වරට මිනීවළේ කැණීම් කටයුතු ආරම්භ කෙරිණි.

තාවකාලිකව නවතා දමා තිබූ මිනීවළේ තුන් වන අදියරේ කැණීම් කටයුතු යළි ආරම්භ කර කරගෙන යන අයුරු දැකගත හැකි විය.
ඡායාරූප ශීර්ෂ වැකිය, තාවකාලිකව නවතා දමා තිබූ මිනීවළේ තුන් වන අදියරේ කැණීම් කටයුතු යළි ආරම්භ කර තිබේ

මෙරටින් මෙතෙක් හමුව ඇති සමූහ මිනීවළවල්

ශ්‍රී ලංකාවේ සමූහ මිනීවළවල් 17ක් හමුව ඇතැයි පසුගිය දිනක රූපවාහිනී වැඩසටහනකට එක්වූ ජාතික ඒකාබද්ධතා සහ අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර පැවසීය.

අමාත්‍යවරයා පවසන පරිදි එම සමූහ සුසානවල පරීක්ෂණ, විමර්ශන හෝ අධිකරණමය ක්‍රියාවලිය තවමත් සිදුවෙමින් පවතී.

දේශීය හා ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන පහක් එක්වී ලංකාව පුරා විසිරී ඇති සමූහ මිනීවළවල් ගැන තෙබසින්ම සකසන ලද වාර්තාවක් 2023 වසරේ ප්‍රසිද්ධියට පත් කරන ලදී.

"ශ්‍රී ලංකාවේ සමූහ සුසාන හා අසාර්ථක කැණීම්" ලෙස නම් කර ඇති පිටු 70කට වඩා වැඩි එම වාර්තාවේ දිවයින පුරා විසිරී පවතින සමූහ මිනිවළවල් අතරින් වසර 30 ක් තිස්සේ කැණීම් කළ මිනිවළවල් 20ක් පිළිබඳ සවිස්තර තොරතුරු සහ සිතියම් ඇතුළත් ය.

ඉඟුරු කඩේ මංසන්ධියේ සිට කොළඹ වරාය දක්වා දිවෙන කුලුණු මතින් ඉදිවෙන අධිවේගි මාර්ගයේ ඉදිකිරිම් කටයුතු සඳහා පොළොව හාරමින් සිටින අතරතුර 2024 ජුලි මස 13 වැනිදා මිනිස් අස්ථි කොටස් හමු වී තිබුණේ කොළඹ වරායේ පැරණි ලේකම් කාර්යාලය පරිශ්‍රයෙනි.
ඡායාරූප ශීර්ෂ වැකිය, ඉඟුරුකඩේ මංසන්ධියේ සිට කොළඹ වරාය දක්වා කුලුනු මතින් ඉදිවෙන අධිවේගී මාර්ගයේ ඉදිකිරිම් අතරතුර මෙම මිනිස් අස්ථි කොටස් හමු වී තිබිණි

සමූහ සුසානයක් යනු කුමක් ද?

'සමූහ මිනීවළක්' යනු කුමක් දැයි ජාත්‍යන්තර නිර්වචනයක් නැත. එනිසා, එය සමූහ සුසානයන් සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී අභියෝගයක් බවට පත්වෙයි.

බහිර් නීතික, ලඝු හෝ අත්තනෝමතික ඝාතන සාර්ථක ලෙස වළක්වාලීම සහ විමර්ශනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ අත්පොත (Minnesota Protocol) හා අතුරුදන් තැනැත්තන් පිළිබඳ ජාත්‍යන්තර කොමිසමේ (ICMP) සමූහ මිනී වළවල් ආරක්ෂා කිරීම සහ විමර්ශනය පිළිබඳ 2020 බෝර්න්මත් මූලපත්‍රය (Bournemouth Protocol) යන ලේඛනවලට අනුව සමූහ සුසානයක් යනු, "මරණය සිදු වූ ආකාරයේ සහ, හෝ සිරුරු බැහැර කිරීමේ ක්‍රමයේ නීත්‍යනුකූලභාවය සම්බන්ධයෙන් විමර්ශනය කළ යුතු සිරුරු වළ දමා තිබෙන ස්ථානයකි."

නමුත් වසංගත, ස්වභාවික විපත් වැනි අවස්ථාවලදී ද ඇතැම් සිරුරු සමූහ සුසානවල මිහිදන් කිරීම සිදු කරයි.

මෙම වාර්තාවේදී සාකච්ඡා කරන සමූහ සුසානයන් යනු, අවසන් වත්පිළිවෙත් හෝ පවුලේ අයගේ අනුදැනුමකින් තොරව හා එම මිහිදන් කෙරෙන අය මිය යාම පිළිබඳ සත්‍යය හෙළි නොකර, බොහෝ දුරට හොර රහසේ සිදු කරන ලද භූමදානයන් ය.

කැණීම් සිදුවන සුසාන තුනක්

වර්තමානය වන විට කොළඹ වරායෙන් හමුවූ සමූහ සුසානයේ මෙන්ම යාපනය චෙම්මනි මිනීවළේ කැණීම් කටයුතු සිදුවන අතර ඒවායේ කැණීම් භාර වී ඇත්තේ පුරාවිද්‍යා මහාචාර්ය රාජ් සෝමදේව වෙතයි.

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ සාම්පූර් වෙරළේ, බිම් බෝම්බ සෙවීමේ යෙදී සිටි නිලධාරින් පිරිසකට හිස් කබලක් ඇතුලු ඇටකටු හමුව තිබුණේ ජුලි 20 වැනිදා ය.

ඒ පිළිබඳව අවස්ථා කිහිපයක දී එච්.එම්. තස්නීම් ෆවුසාන් මුතූර් මහේස්ත්‍රාත්වරිය වෙත අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා ගේ වාර්තාව ඇතුළු තවත් කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව අගෝස්තු 6 වැනිදා එම භුමියේ කැණීම් කටයුතු සිදුකර විමර්ශනය කිරීමට අවසර ලබා දී තිබේ.