චෙම්මනි තුන්වන අදියරේ කැණීම් අවසන්: සොයා ගත් මිනිස් සිරුරු සංඛ්‍යාව 65ක් දක්වා ඉහළට

- Author, බීබීසී සිංහල
යාපනය, චෙම්මනි සිත්තුපාත්තු සුසාන භූමිය ආසන්නයේ ක්‍රියාත්මක කළ තෙවන අදියරේ කැණීම් ජූලි 10 අවසන් කළ බව කැණීම් නිලධාරීහු පවසති.
ඔවුන් පැවසුවේ, තුන්වන අදියර යටතේ මේ දක්වා මිනිස් සිරුරු 65කට අදාළ අස්ථි කොටස් ගොඩගත් බවයි.
යාපනය මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ මෙහි සිව්වන අදියරේ කැණීම් කටයුතු ජූලි 21 වන දා ආරම්භ කිරීමට නියමිත බව ද ඔවුහු සඳහන් කළහ.
දින 15ක් පුරා සිදු කෙරුණු තෙවන අදියරේ කැණීම් කටයුතු ජූනි 26 වන දා ආරම්භ කෙරිණි.

අස්ථි කොටස් ගොඩගැනීම හා හමුවූ භාණ්ඩ වෙන් කිරීම
මෙම ස්ථානයේ හමු වූ අස්ථි කොටස් සහ භාණ්ඩ අංකනය කොට වර්ගීකරණය කිරීමේ කටයුතු යාපනය රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී සෙල්ලයියා පිරනවන්ගේ අධීක්ෂණය යටතේ සිදු කෙරුණු අතර ඒවා යාපනය විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය විද්‍යා හා මානව විද්‍යා දෙපාර්තමේන්තුවේ ගබඩා කර ආරක්ෂා කිරීම කෙරේ.

හමුවූ භාණ්ඩ මොනවා ද?
කැණීම්වලදී රබර්වලින් සකස් කරන ලද බෝනික්කෙකු, සපත්තු යුගලක්, කුඩා දරුවන් පළනඳින වළලු යුගලක්, මිනිස් ඇඳුම් කොටස් කිහිපයක්, තුවක්කු බැරලයක කොටසක් හා තවත් ද්‍රව්‍ය කිහිපයක් හමු වී ඇති බව අතුරුදන් වූවන් වෙනුවෙන් පෙනී සිටින, කැණීම් කටයුතු නිරීක්ෂණය කරන නීතිඥ රනිතා ඥානරාජා පැවසුවා ය.
'තව ම මේ සම්බන්ධයෙන් නිගමනයක් නැහැ'

යාපනය, චෙම්මනි, සිත්තුපාත්තු කැණීම් කටයුතු සිදුවන්නේ කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේවගේ ප්‍රධානත්වයෙනි.
කෙසේ වෙතත්, එම ස්ථානයෙන් හමුවූ අස්ථි කොටස් තවමත් කාල නිර්ණය සඳහා යොමු කර නොමැති බවත් එම අස්ථි කොටස් සම්බන්ධයෙන් තවමත් නිගමනයකට එළඹ නැති බව කැණීම් නිලධාරීන් සඳහන් කළේය.
"කාල නිර්ණනයට යවලා නැහැ. තව ම මේ සම්බන්ධයෙන් නිගමනයක් නැහැ. විශ්ලේෂණ කටයුතු ඉදිරියේදී කරන්න නියමිත යි,"
කාන්තාවකගේ සහ කුඩා දරුවෙකුගේ යැයි සැක කෙරෙන අස්ථි කොටස් හමුවීම

තෙවන අදියරේ කැණීම්වල දෙවන හා තෙවන දිනයේදී (ජූනි 28) කාන්තාවකගේ යැයි සැක කරන අස්ථි කොටස් කිහිපයක් මතු කර ගෙන තිබුණු අතර, අදාළ කාන්තාවගේ පපු ප්‍රදේශය ආසන්නයේ කුඩා දරුවෙකුගේ යැයි සැක කෙරන අස්ථි කොටස් කිහිපයක් ද එහිදී හමු විය.
උතුරු-නැගෙනහිර අතුරුදන් වූවන්ගේ සංගමය සඳහන් කළේ, මේ පිළිබඳව විශේෂ අවධානයෙන් පසුවන බව ය.
එමෙන් ම, ජූනි 28 වන දින පාසල් බෑගයක් බවට සැක කෙරෙන බෑගයක් මතු වී ඇති අතර ඒ අසල කුඩා දරුවෙකුගේ මළ සිරුරකට අයත් බවට සැක කෙරෙන අස්ථි කොටස් කිහිපයක් තිබී හමුව තිබිණි.
කෙසේ වෙතත්, අදාළ කැණීම් ව්‍යාපෘතිය භාර නිලධාරියෙකු බීබීසී සිංහල සේවයට පැවසුවේ, අදාළ බෑගය පිළිබඳව සිදුකෙරෙන පරීක්ෂණ මෙතෙක් අවසන් වී නොමැති බව ය.
එහෙයින්, ඒ පිළිබඳව නිශ්චිත නොවන තොරතුරු ඉදිරිපත් කළ නොහැකි බව ද එම නිලධාරියා පැවසීය.
චෙම්මනි සුසාන භූමිය ආසන්නයෙන් අස්ථි කොටස් මතුවීම
යාපනය, චෙම්මනි සිත්තුපාත්තු සුසාන භූමිය ආසන්න ස්ථානයක සිදුකළ කැණීමකින් මළ සිරුරු 5කට අයත් අස්ථි කොටස් කිහිපයක් හමුවූ බව යාපනය පොලිසිය පැවසුවේ ජූනි 2 වන දා ය.
මෙම සුසාන භූමිය සංවර්ධනය කිරීමේ කටයුත්තකදී එහි සේවයේ නිරත වූ පිරිසකට 2025 පෙබරවාරි මස 20 වන දා පළමු වරට මිනිස් අස්ථි කොටස් කිහිපයක් හමුවී තිබිණි.
අදාළ අස්ථි කොටස් හමුවීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් යාපනය පොලිසිය දැනුවත් කිරීමට සංවර්ධන කටයුතු භාර නිලධාරීන් පියවර ගෙන තිබුණු අතර ඉන් අනතුරුව එහි කැණීම් කටයුතු ආරම්භ විය.
පැවති වැසි තත්ත්වය මත අදාළ ස්ථානයේ කැණීම් කටයුතු කිරීමට නොහැකි වූ අතර, වැසි තත්ත්වය අඩු වීමෙන් පසු යාපනය පොලිසිය, යාපනය මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් නියෝග මත අස්ථි කොටස් හමුවූ ස්ථානය සම්බන්ධයෙන් කැණීම් සිදුකිරීමට නියෝගයක් ලබා ගත්තේ ය.

යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග යටතේ 2025 මැයි 15 සිට 17 වන දා දක්වා අස්ථි කොටස් හමුවූ ස්ථානයේ කැණීම් සිදු කළ අතර, එහිදී මිනිස් සිරුරු දෙකකට අයත් අස්ථි කොටස් මතු කර ගැනීමට හැකි විය.
නමුත් වර්ෂාව හේතුවෙන් පළමු අදියරේ කැණීම් කටයුතු තාවකාලිව නවතා දැමිණි.
දෙවන අදියරේ කැණීම් කටයුතු ජූනි 2 වන දා සිට ජූනි 7 වන දා දක්වා පැවැත්වුණු අතර එහිදී මිනිස් සිරුරු 17කට අදාළ අස්ථි කොටස් මතු කර ගැනීමට හැකි විය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කොමසාරිස්වරයාගේ නිරීක්ෂණයට
මේ අතර, ශ්‍රී ලංකාවේ සංචාරයකට එක් වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් වෝල්කර් ටර්ක් පසුගිය 25 වන දා යාපනයේ සංචාරයක නිරත වූ අතර එහිදී ඔහු චෙම්මනි ප්‍රදේශයට පැමිණ එහි විරෝධතාවයේ නිරතව සිටි අතුරුදහන් වූවන්ගේ ඥාතීන් හමුවී කැණීම් ස්ථානයේ ස්ථාපනය කර ඇති සැමරුම් ස්මාරකයකට පුෂ්පෝපහාර දැක්වීමට ද එක්විය.

කැණීම් කටයුතු කරන්නේ කවු ද?
යාපනය මහේස්ත්‍රාත් ඒ. ආනන්දරාජාගේ අධීක්ෂණය යටතේ, පුරාවිද්‍යාව පිළිබඳ කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව හා යාපනය රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී සෙල්ලයියා ප්‍රණාවන් යන අයගේ ප්‍රධානත්වයෙන්, යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ නිලධාරීන්, යාපනය පොලිසියේ නිලධාරීන් සහ බෝම්බ නිශ්ක්‍රීය අංශ නිලධාරීන් ඇතුළු කණ්ඩායමක් කැණීම් සිදු කරති.

'හින්දු චාරිත්‍ර අනුව ආදාහනය කළා නම් අස්ථි කොටස් ඉතිරි වෙන්න විදිහක් නැහැ'
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
මෙම මිනිස් අස්ථි කොටස් සම්බන්ධයෙන් "සැකයක්" ඇති වන බව උතුරු-නැගෙනහිර අතුරුදන් වූවන්ගේ සංගමයේ සභාපතිනි යෝගරාජා කනකරංජනී පවසයි.
"හින්දු චාරිත්‍ර අනුව අපි මිය ගිය අයගේ සිරුරු වැඩිපුර ම අදාහනය කිරීම තම යි කරන්නේ. සිරුරු ආදාහනය කළා නම් මිනිස් අස්ථි කොටස් ඉතිරි වෙන්න විදිහක් නෑ. ඒත් දැන් මේ හින්දු සුසාන භූමිය ළඟින් හමුවුණ මිනිස් සිරුරුවල අස්ථි කොටස් සම්පූර්ණයෙන් ම දැක ගන්න පුළුවන් වෙලා තියෙනවා."
ඇය සඳහන් කළේ, මෙම අස්ථි කොටස් අයත් සිරුරු හින්දු චාරිත්‍ර අනුව ආදාහනය කළේ නම්, අස්ථි කොටස් ඉතිරි වීමට ඇති සම්භාවිතාව ඉතා අවම බව ය.
"හින්දු චාරිත්‍ර අනුව ආදාහනය කළා නම් මේ අස්ථි කොටස් ඉතුරු වෙන්න විදිහක් නෑ. මේ අස්ථි කොටස් ඉතුරු වෙලා තියෙන්නේ මොකක් හරි හේතුවකින් මියගොස් භූමදානය කළ පිරිසකගේ අස්ථි කොටස්," ඇය පැවසුවා ය.
"අනෙක් කාරණය තමයි මේ අස්ථි කොටස් හමුවෙලා තියෙන්නේ අඩි දෙකක්, තුනක් ගැඹුරින්. හින්දු චාරිත්‍ර අනුව යම් කෙනෙක් භූමදාන කළත් අඩු ම තරමේ අඩි පහක්වත් වළ හාරලා තමයි භූමදාන කරන්නේ. අපේ සිරිත් විරිත් අනුව එක ම තැනක පුද්ගලයින් පස් හය දෙනෙක් එකවර භූමදාන කරන්නේ නෑ. මේ කාරණා දිහා බැලුවා ම පේනවා මේ වෙන යම් හේතුවක් මත වළ දාපු පිරිසකගේ අස්ථි කොටස් කියලා," ඇය තවදුරටත් සඳහන් කළා ය.

යුද්ධය පැවති සමයේ පුද්ගලයින් අතුරුදන්ව ඇති බැවින් මෙම අස්ථි කොටස් අයිති පුද්ගලයින් කවුරුන් ද? යන්න දැන ගැනීමට අවශ්‍ය බව උතුරු-නැගෙනහිර අතුරුදන් වූවන්ගේ සංගමයේ සභාපතිනි යෝගරාජා කනකරංජනී පවසයි.
"මේ අස්ථි කාගේ ද කියලා දැනගන්න ඕනේ. මොක ද යුද්දේ කාලයේ විශාල පිරිසක් අතුරුදන් වෙලා ඉන්නවා. ඒ අය ගැන කිසි ම තොරතුරක් නෑ. අපිට සැකයක් තියෙනවා අතුරුදන්වූවන්ගේ අස්ථි කොටස් මෙතන ඇති කියලා," ඇය පැවසුවා ය.
ඇය අවධාරණය කළේ, ඔවුන් මේ සම්බන්ධයෙන් "අවධානයෙන්" සිටින බව ය.
"අපි අතුරුදන් වූවන්ගේ ඥාතීන් විදිහට කැණීම්වලින් හමුවන දේවල් ගැන හොයා බලනවා. අපේ නියෝජිතයින් කැණීම් කටයුතු ස්ථාන ගැන විමසිල්ලෙන් ඉන්නේ," ඇය පැවසුවා ය.
"අතුරුදන් වූවන් සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් මේ දක්වා රජයන් හරහා ලැබිලා නෑ. අපිට සැකයි අපේ අතුරුදන් වූවන් මරලා දාලා වළ දාන්න ඇති ද කියලා," යෝගරාජා කනකරංජනී වැඩිදුරටත් සඳහන් කළා ය.
උතුරු පළාතෙන් හමුවී ඇති සමූහ මිනීවළවල්
සිවිල් යුද්ධය අවසන් වීමෙන් පසු උතුරු පළාතේ ස්ථාන කිහිපයකින් සමූහ මිනීවළවල් හමුවූ අතර, අදාළ ස්ථානයන්හි කැණීම් කටයුතු විටින්විට සිදු කෙරිණි.
2013 වසරේදී මන්නාරම, තිරුකේදීශ්වරන් ප්‍රදේශයෙන් සමූහ මිනීවළක් හමුවූ අතර, අදාළ සමූහ මිනීවළෙන් මිනිස් සිරුරු 88කට ආසන්න ගණනකට අයත් අස්ථි කොටස් ගොඩ ගැනිණි.
ඉන් අනතුරුව මන්නාරම, පැරණි සතොස ගොඩනැගිල්ල ආසන්නයෙන් සමූහ මිනීවළක් 2018 වසරේ මතු කර ගත් අතර, ඒ තුළින් මිනිස් සිරුරු 342ක අස්ථි කොටස් ගොඩගැනිණි. 2018 මාර්තු 26 වන දා සිට 2019 මාර්තු 07 දක්වා සමූහ මිනීවළ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීය.
මන්නාරම සමූහ මිනීවළ සම්බන්ධයෙන් ඇමෙරිකානු රසායනාගාර තුළ කාබන් පරීක්ෂාවන් සිදුකළ අතර, එහිදී අනාවරණය වූයේ අදාළ අස්ථි කොටස් වර්ෂ 1450ත් 1650ත් අතර කාලයකට අයත් බව ය.
මන්නාරම සමූහ මිනීවළ පරීක්ෂණයන්ගෙන් අනතුරුව මුලතිව්, කොක්කුතුඩුවායි ප්‍රදේශයෙන් සමූහ මිනීවළක් හමුවූ අතර, 2023 ජූනි 29 වන දා සමූහ මිනීවළ සම්බන්ධයෙන් වාර්තා විය. 2024 ජූලි 15 වන දා දක්වා කොක්කුතුඩුවායි සමූහ මිනීවළ සම්බන්ධයෙන් කැණීම් සිදුකරනු ලැබීය.
එහිදි මිනිස් සිරුරු 52 කට අදාළ අස්ථි කොටස් මතු කර ගත් අතර, අදාළ සමූහ මිනීවළ 1994 හා 1996 දක්වා කාලයකට අයත් විය හැකි බවට කැණීම් නිලධාරීහු නිගමනය කළහ.
කොක්කුතුඩුවායි සමූහ මිනීවළ හමුවීමෙන් පසුව යාපනය, චෙම්මනෙයි ප්‍රදේශයෙන් අස්ථි කොටස් කිහිපයක් සොයා ගැනිණි.














