ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ලොව ඉහළ ම ආර්ථිකයන් පහ අතරට පැමිණීමට උත්සහ කරන ලොව විශාලතම මුස්ලිම් රට
- Author, හන්නා සමොසිර් සහ නිකී විඩාඩියෝ
- Role, BBC ඉන්දුනීසියානු සේවය, ජකර්තා සහ නුසන්තරා සිට
විශ්‍රාම දිවිය ගත කිරීමට මූල්‍යමය ශක්තියක් ඇති මැදිවියේ පසුවන බොහෝ දෙනෙකු විශ්‍රාම යාමට සූදානම් වෙමින් සිටිය ද මුස්මුල්යාඩි (55) සහ ඔහුගේ බිරිඳ නුර්මිස් (50) මෙම රැල්ල ප්‍රතික්ෂේප කරති.
ඔරන්උටන් වාසස්ථාන අතරින් වනාන්තරයක වේගයෙන් ගොඩනැගෙන ඉන්දුනීසියාවේ නව අගනුවර වෙත ඔවුන් සංක්‍රමණය වූයේ කිලෝමීටර් දහස් ගණනක් පසු කරමිනි.
"මෙහේ රස්සාවක් හොයා ගන්න එක ලේසි වේවි. තාම හදන ගමන් තියෙන නිසා," මුස්මුල්යාඩි බීබීසී ඉන්දුනීසියානු සේවය වෙත පැවසීය.
දැන් ඔවුන්ගේ නිවහන බවට පත් වී ඇත්තේ, බෝර්නියෝ දූපතේ පිහිටි නුසන්තරාහි ඇති ගොඩනැගිලි ඉදිකිරීම් පරිශ්‍රයකි. නුසන්තරා යනු, ජාවානි බසින් දූපත් සමූහය යන අර්ථයයි.
නුර්මිස් සිමෙන්ති මිශ්‍ර කරන අතර මුස්මුල්යාඩි ටයිල් අතුරයි.
ඔවුන්ගේ සිහිනය ඉන්දුනීසියාවේ සිහිනය යි. මුස්මුල්යාඩි ස්ථාවර රැකියාවක් ලබාගෙන මෙම මහා පරිමාණ ව්‍යාපෘතියේ උප-කොන්ත්‍රාත්කරුවෙකු වීමේ බලාපොරොත්තුවෙන් පසු වේ.
ජෝකෝවි ලෙස පොදුවේ හැඳින්වෙන එරට ජනාධිපති ජෝකෝ විඩෝඩෝ මීට වසර දෙකකට පෙර නුසන්තරාහි ඉදිකිරීම් ගැන ප්‍රකාශ කළ දා සිට ව්‍යාපාර දියුණු වී ඇත.
2029 වන විට මිලියන දෙකක ජනතාවක් මෙහි වාසය කරනු ඇතැයි රජය උපකල්පනය කරයි.
නමුත් ඊට කිලෝමීටර් ගණනාවක් දුරින් සිටින පාණ්ඩි (51) සහ ඔහුගේ බිරිඳ ෂ්‍යම්සියා තම නිවස අහිමි වනු ඇතැයි කනස්සල්ලෙන් පසුවෙති.
ඔවුන් 20,000ක් පමණ සිටින ශක්තිමත් ආදිවාසී ප්‍රජාවකට අයත් වන අතර ඔවුන්ට තම පවුල පරම්පරා ගණනාවක් ජීවත් වූ ඔවුන්ගේ ඉඩම සඳහා නීත්‍යනුකූල හිමිකාරිත්වයක් නොමැත.
එක් උදෑසනක අවදි වූ පාණ්ඩි දුටුවේ කිසිදු පූර්ව දැනුම් දීමකින් තොරව තම ඉඩම සලකුණු කර තිබෙන අයුරු ය.
[අලුතින් ඉදිවන නගරය] ගංවතුරින් ආරක්ෂා කිරීමේ කටයුතු සඳහා රජයට ඔහු ඔහුට අයත් ඉඩමින් ඉවත් වීම අවශ්‍ය වූ නමුත් පෙබරවාරි මාසයේදී පාණ්ඩි අධිකරණයේදී එය නතර කර ගැනීමට සමත් විය.
"මගේ දරුවන්ගේ සහ මුණුබුරන්ගේ අනාගතය වෙනුවෙන් මම කරන දේ තමයි මේ," ඔහු බීබීසී ඉන්දුනීසියානු සේවයට පවසයි.
"මම මුකුත් කළේ නැත්නම් මගේ දරු මුණුබුරු මිණිබිරියන් ආණ්ඩුවට කුණු ටිකක් වෙනවා. අසාධාරණයට එරෙහිව අපි සටන් කරන්නේ මෙහෙමයි."
එය තාවකාලික සහනයක් විය හැක්කේ, ඉතා අඩු ගණනක් වුවත් රජය විසින් ඉඩම් සඳහා වන්දි ලබා දෙනු ලැබීමෙන් පසු වෙනත් ගම්මානවල ආදිවාසී ප්‍රජාවන් දැනටමත් ඉවත් කර ඇති බැවිනි.
මුල්යාඩි සහ පාණ්ඩිගේ කතාවලින් පෙන්නුම් කරන්නේ, ජනාධිපති විඩෝඩෝගේ ව්‍යාපෘතිවල බොහෝ විට වාසිසහගත මෙන් ම අවාසිසහගත ද පැති ඇති අයුරු ය. විවාදයට තුඩු දුන්න ද ඒවා අවස්ථා නිර්මාණය කරන අයුරු ය.
ලොව ඉහළ ම ආර්ථිකයන් 5 ඇතුළට?
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට (IMF) අනුව, විඩෝඩෝ 2014 වසරේදී ප්‍රථම වරට බලයට පත් වූ කාලයේ, ඉන්දුනීසියාව, ක්‍රය ශක්ති සමානාත්මතාව (PPP) මත පදනම්ව ලොව 10 වන විශාලතම ආර්ථිකය විය.
දශකයකට පසු ඉන්දුනීසියාව චීනය, එක්සත් ජනපදය, ඉන්දියාව, ජපානය, ජර්මනිය සහ රුසියාවට පසු පසින් සිටිමින් හත්වන ස්ථානය දක්වා පැමිණ තිබේ.
2027 වන විට ලෝකයේ විශාලතම මුස්ලිම් ජනගහනය සහිත ඉන්දුනීසියාව ආර්ථික වශයෙන් රුසියාව අභිබවා යනු ඇතැයි පුරෝකථනය කර ඇත.
මෙම අග්නිදිග ආසියානු රාජ්‍යය සිය ජනාධිපතිවරණය පෙබරවාරි 14 වන දින පවත්වන ලද අතර නිල නොවන සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ, එරට ආරක්ෂක අමාත්‍ය ප්‍රබෝවෝ සුබියන්තෝ පළමු වටයේදී ම ජයග්‍රහණය කිරීමේ මාවතේ සිටින බව ය.
ඔහු තම වත්මන් ආර්ථික ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යාමට පොරොන්දු වී ඇති අතර විඩෝඩෝගේ පුත් ගිබ්‍රාන් රකබුමිං රකා මැතිවරණයේ ඔහුගේ සහකරුවා වෙමින් උපජනාධිපති ධූරයට තරග කරයි.
"ජෝකෝවිගේ වැඩසටහන් කොළවලට හොඳයි. ඒවායින් ඉන්දුනීසියාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පුරෝකථනවලට අරන් යන්න පුළුවන්," ඉන්දුනීසියාවේ ඉහළ පෙළේ බැංකු 10 අතරින් එකක් වන පර්මාටා බැංකුවේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥ ජෝසුවා පර්ඩිඩී පවසයි.
එහෙත් රටට ඊට වඩා විශාල අභිලාෂයක් ඇත. එනම්, නිදහසේ ශත සංවත්සරය යෙදී ඇති 2045 වසර වන විට ලොව ඉහළ ම ආදායම් ලබන රටවල් පහ අතරට පැමිණීම ය.
මෙය සාක්ෂාත් කර ගැනීම සඳහා ඉන්දුනීසියානු ආර්ථිකය වසරකට 6-7%කින් වර්ධනය විය යුතු බව ඉන්දුනීසියානු මුදල් අමාත්‍ය ශ්‍රී මුල්යානි ප්‍රකාශ කර ඇත.
මේ වන විට එම අගය 5%කි.
'නිකල් උණ'
ඉන්දුනීසියාව නිවාඩු ගත කිරීම සඳහා වැඩි දෙනෙකු පැමිණෙන බාලි දිවයින සඳහා ප්‍රසිද්ධ නමුත් එය ලොව විශාලතම නිකල් සංචිතවල නිවහන වේ. නිකල් විද්‍යුත් වාහන සඳහා බැටරි සෑදීමේදී ප්‍රධාන අමුද්‍රව්‍යයක් ලෙස ගැනේ.
ජනාධිපති විඩෝඩෝ 2019 වසරේදී නිස්සාරණය නොකරන ලද නිකල් අපනයනය තහනම් කිරීමක් ප්‍රථම වරට ප්‍රකාශයට පත් කළ අවස්ථාවේ, යුරෝපා සංගමය ඉන්දුනීසියාවට එරෙහිව ලෝක වෙළෙඳ සංවිධානයේ නඩු පැවරීය.
'ඩවුන්ස්ට්‍රීමින්ග්' ලෙස හැඳින්වෙන එම ලෝහ නිස්සාරණය කිරීමේ ක්‍රියාවලිය ඉන්දුනීසියාව තුළ සිදු කිරීමට අවශ්‍ය බව ජනාධිපතිවරයා පැවසීය.
ඔහුගේ නිකල් ප්‍රතිපත්තිය රැකියා උත්පාදනය කර ආර්ථිකය වර්ධනය කර ඇති බව ස්වාධීන පර්යේෂණ ආයතනයක් වන Institute for Development of Economic Finance (Indef) විසින් පළ කරන ලද පර්යේෂණ පත්‍රිකාවක සඳහන් වෙයි.
එහෙත් ඉන්දුනීසියාව තවමත් නිකල් උණු කරන යන්ත්‍ර තැනීම සඳහා චීන ආයෝජන මත දැඩි ලෙස රඳා පවතියි. නමුත් ඒ, චීනයේ ආර්ථික වර්ධනය මේ වසරේ 5.2% සිට 4.6% දක්වා පහත වැටෙනු ඇතැයි පුරෝකථනය කර ඇති පසුබිමක අනාගතය පිළිබඳ ප්‍රශ්නාර්ථ ලකුණු මතු කරයි.
තම කාර්මික ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීමේදී ඇති වන ඉඩම් ආරවුල්, සෞඛ්‍ය ගැටලු සහ පාරිසරික විනාශය නොසලකා හරිමින් චීන ආයෝජන සඳහා "රතු පළස" එළීම සම්බන්ධයෙන් ජනාධිපති විඩෝඩෝ ද විවේචනයට ලක්ව ඇත.
රාජ්‍ය නොවන සංවිධානයක් වන Mining Advocacy Networkහි (Jatam) සම්බන්ධීකාරක මෙල්කි නහාර් පවසන්නේ "නිකල් උණ නිසා රජය සිහි විකලෙන් වැඩ කරන බව" ය.
දූපතෙන් දූපතට පැන යාම?
මුහුදේ ගිලී යාමේ තර්ජනයකට මුහුණ පා ඇති, කාල කලාප තුනක් පුරා විහිදී ඇති දූපත් 1,700කින් සමන්විත වන වත්මන් අගනුවර වන ජකර්තා නගරය ඉන්දුනීසියාවට සම්බන්ධතා සංවර්ධනය සඳහා ප්‍රධාන වේ.
නමුත් කොවිඩ් වසංගතයෙන් ගොඩ ඒමට ලෝකය අරගල කළ කාල වකවානුවේ එනම්, 2022 වසරේදී එරට අගනුවර වෙනත් තැනකට ගෙන යාමේ නීතියකට ජනාධිපති විඩෝඩෝ අත්සන් කිරීම බොහෝ දෙනෙකු මවිතයට පත් කළේ ය.
චීනය ඇතුළු ඇතැම් රටවල් නව නගරය සඳහා ආයෝජනය කිරීමට කැමැත්තක් දක්වා ඇතත් මේ වන තෙක් ‘කොන්ක්‍රීට්වලට’ වඩා යමක් එහි දැකිය නොහැක.
"මේ වන තෙක් ම, නුසන්තරාහි ආයෝජනය කරන්න විශාල ගෝලීය ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීම දුෂ්කර වෙලා," ස්වාධීන බුද්ධි මණ්ඩපයක් වන වන Center of Economic and Law Studiesහි (CELIOS) නයිලුල් හුදා පවසයි.
ආයෝජක හිතවාදී කම්කරු නීතියක් සම්මත කිරීම ඇතුළු විවිධ ක්‍රමවේද ජනාධිපතිවරයා විසින් අත්හදා බලනු ලැබ ඇති නමුත් එමගින් සේවක අයිතීන් උල්ලංඝණය වන බවට සිවිල් සමාජ කණ්ඩායම් පවසයි.
ඔහු ඔක්තෝබර් මාසයේදී බලයෙන් ඉවත් වනු ඇති අතර වාර්තාවලට අනුව, නුසන්තරා ඉදිකිරීම ඔහු ඉතිරි කර යන උරුමයක් ලෙස පවතිනු ඇත.
නමුත් රජයේ ජාතික නවෝත්පාදන පර්යේෂණ ඒජන්සියේ (BRIN) දේශපාලන පර්යේෂකයෙකු වන ෆර්මන් නූර් විශ්වාස කරන්නේ, එය කැළැල් සහිත එකක් වනු ඇති බව ය.
"බොහෝ පැතිවලින්, නුසන්තරා කියන්නේ, පසුගිය වසර 10 තුළ සංවර්ධනය සහ දේශපාලන භාවිතයන් තුළ ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් වියැකී ගිය ආකාරය පිළිබිඹු කිරීමක්," නූර් පවසයි.
මේ අතර, බලයට පත් වීමට සිටින ජනාධිපති සුබියන්තෝ, මව්වරුන්ට සහ දරුවන්ට නොමිලේ කිරි සහ දිවා ආහාරය ලබා දීම වැනි ජනතාවාදී ප්‍රතිපත්ති පොරොන්දු වෙමින් හදවත් සහ සිත් දිනා ගැනීමට උත්සහ කර ඇත.
බලයෙන් ඉවත්ව යන ජනාධිපතිවරයාගේ මහා පරිමාණ ව්‍යාපෘති නිසා දැනටමත් දැඩි පීඩනයකට ලක්ව ඇති අයවැයට මෙම ව්‍යාපෘති බරක් විය හැකි බවට විශේෂඥයෝ අනතුරු අඟවති.
"නොමිලේ දිවා ආහාර දෙන එක සහ වෙනත් ප්‍රතිපත්ති, ජාතික ණය බර වැඩි කරමින් රාජ්‍ය අයවැයෙන් අරමුදල් වෙන් කිරීමේදී ගැටලු ඇති කරාවි," හුදා පවසයි.
"ඊළඟ ආණ්ඩුවේ ප්‍රතිපත්තිත් මේ වගේ අදූරදර්ශී වුණොත්, ලෝකයේ විශාලතම ආර්ථිකය වීමේ සිහිනය වෙත යන එක නෙමෙයි, 2029 වෙද්දී ණය දෙගුණයක් වේවි කියලා මම හිතනවා."