'කකුල් පුපුරනකම් ගුටි කා' නැටුම් ඉගෙනගත් 'නර්තන රැජිණ'

ඡායාරූප මූලාශ්‍රය, Facebook
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රයේ උන්නතියට දායක වූ තවත් විශිෂ්ට කලාකාරියක දැයට අහිමි වී තිබේ.
ඒ, ප්‍රවීණ නර්තන ආචාර්යවරියක වූ කලාශූරී, විශ්ව කලා කීර්ති රැජිණි සෙල්වනායගම් ය.
සිකුරාදා (ඔක්. 20) රාත්‍රියේ ඇය අභාවප්‍රාප්ත වන විට 71 වන වියේ පසු වූ අතර ඇය දීර්ඝ කාලයක් තිස්සේ අසනීප තත්ත්වයෙන් පසු විය.
'නර්තන රැජිණ' යන විරුදාවලියෙන් ද හැඳින්වූ ඇය රාජගිරිය, කලපළුවාව ප්‍රදේශයේ පදංචි වී සිටියා ය.
ළමා අවධිය
රැජිණි සෙල්වනායගම්ගේ මව බලංගොඩ පදිංචිව සිටි කාන්තාවක වූ අතර, පියා යාපනයේ උපත ලැබූ ද්‍රවිඩ ජාතිකයෙකු විය.
ඔවුන් දෙදෙනාට දාව රැජිණි ඇතුළු දූවරුන් 9 දෙනෙක් සහ එක් පුත්‍රයෙක් උපත ලැබූහ. ඒ අනුව, රැජිණිට සහෝදර සහෝදරියන් 9 දෙනෙක් සිටියහ.
පියා වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ලිපිකරුවෙකු ලෙස සේවය කළ අතර ඔහුට ලැබෙන ස්ථාන මාරු වීම් නිසා පාසල් කිහිපයක ම ඉගෙනුම ලැබීමට රැජිණිට සිදු විය.
ඒ අනුව, ඇයගේ පළමු පාසල වූයේ, කොළඹ බෞද්ධ බාලිකා විද්‍යාලය යි.
පසුව පියාට ලැබුණු ස්ථාන මාරුවක් හේතුවෙන් පැල්මඩුල්ල ගන්කන්ද මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළු වීමට ඇයට සිදු විය.
ජීවිතයේ හැරවුම් ලක්ෂය
රැජිණි සෙල්වනායගම් පවසා ඇති පරිදි ඇයගේ නර්තන ජීවිතයේ හැරවුම් ලක්ෂය වූයේ, ගන්කන්ද මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් වීම ය.
"මට පොඩි කාලේ ඉඳන් මට හීනෙන් වගේ හැම තිස්සෙ ම පෙනුණා, නැටුම. මම හැම තිස්සෙ ම ඒ කාලේ අතපය නටවනවා. ගන්කන්ද මධ්‍ය මහා විද්‍යාලයේදී මගේ වාසනාවට මගේ ගුරු සරත් ලාල් පනාවල මහත්මයා මට මුණ ගැසුණා. එතුමා තමයි මට මේ තරම් ලොකු ගමනක් යන්න මග පෙන්නුවේ," රූපවාහිනී සාකච්ඡාවකදී වරක් ඇය පැවසුවා ය.
පසු කලෙක ශ්‍රී ලංකා කලා කෙතෙහි විශිෂ්ටයින් බවට පත්වූ නිශ්ශංක දිද්දෙණිය සහ සුමනා රත්නපාල යන කලාකරුවන් ද රැජිණි සෙල්වනායගම් සමග සරත් ලාල් පනාවල නර්තන ගුරුවරයාගෙන් ඉගෙනුම ලැබූ සමකාලීනයින් දෙදෙනෙකි.
"අම්මා කකුල් පුපුරනකම් ගැහුවා"
රැජිණි ඇතුළු සිය දූවරුන් ගුරුවරියන් බවට පත්වනු දැකීමට කැමැත්තෙන් සිටි ඇගේ මව රැජිණි නර්තනය හැදෑරීම සම්බන්ධයෙන් කිසිදු කැමැත්තක් නොදැක්වූවා පමණක් නොව, එය නතර කිරීමට බොහෝසෙයින් උත්සහ කළා ය.
"අම්මා සම්පූර්ණයෙන් ම විරුද්ධ වුණා. අම්මා ගහලා තියෙනවා මගේ කකුල් පුපුරන්න. අම්මා කිව්වෙ ම නටන්න එපා කියලා. අම්මා කිව්වේ ගෑණු ළමයින්ට නැටුම් සුදුසු දෙයක් නෙවෙයි කියලා. අක්කලාත් විරුද්ධ වුණා. ඉස්කෝලෙ නැටුවා ම අක්කලා ගෙදර ඇවිත් අම්මාට කේලම් කිව්වා. අම්මා ඉතින් ඒවා අහලා මට කකුල් පුපුරන්න ගහනවා," ඇය පවසා තිබිණි.
කෙසේ වෙතත්, ඇය සිය සිහිනය වූ නර්තන ශිල්පිනියක වීමේ අරමුණ අත්හැරියේ නැත.
වැඩිදුර අධ්‍යාපනය
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
පාසල් අධ්‍යාපනය නිම කිරීමෙන් පසු රැජිණි, කොළඹ සෞන්දර්ය විද්‍යා පීඨයට ඇතුළු වී එවකට පැවති නර්තන ඩිප්ලෝමාව නිම කළා ය. ඒ, වසර 5ක අධ්‍යයන කටයුතුවලින් පසුව ය.
ඊට අමතරව, ඇය භරත නාට්‍යම් විෂය සම්බන්ධයෙන් ද ඩිප්ලෝමාවක් ලබා ගත්තා ය.
ඇයට තමන් ආශාවෙන් උගත් ශිල්පය දරුවන්ට ඉගැන්වීමට අවශ්‍ය වූයේ, ඉන් පසුව ය.
ඒ අනුව ඇය 1975 වසරේ පෙබරවාරි මස 5 වන දා 'චාමර කලායතනය' නමින් නර්තන කලායතනයක් ආරම්භ කළා ය.
එම වකවානුවේදී ඇයට නර්තන ගුරුවරියක ලෙස රජයේ ගුරු පත්වීමක් ද ලැබිණි.
නර්තන ගුරුවරියක ලෙස මුල්ම පත්වීම ලබා ඇය සේවය කළේ, හලාවත මාදම්පේ සේනානායක ජාතික පාසලේ ය.
ඇය පාසල් නර්තන ගුරුවරියක ලෙස වසර 18ක් සේවයේ නිරත විය.
පාසල් ගුරුවරියක ලෙස සහ සිය කලායතනය හරහා ඇය දරුවන් ලක්ෂයකට වැඩි පිරිසකට නර්තනය උගන්වා ඇතැයි ඇය පවසයි.
ඇයගේ සැමියා වූයේ, හරීන්ද්‍ර රොද්‍රිගු නමැත්තෙකි. විවාහයෙන් ඇයට දරුවන් නොසිටිය ද ඇය ඒ සම්බන්ධයෙන් කම්පාවට පත්වූයේ නැත.
ඇය වරක් මෙසේ කීවා ය.
"මට අම්මා කෙනෙක් වෙන්න බැරි වුණාට දෙවියන් වහන්සේ මට දරුවෝ ගොඩක් දීලා තියෙනවා. මම උගන්වපු හැම දරුවෙක් ම මට මගේ ම දරුවෙක් කියලායි හිතෙන්නේ. දෙවියන් වහන්සේ මට දරුවන් දුන්නා නම් සමහර විට මට මේ වගේ විශාල දරුවන් පිරිසකට අම්මා වෙන්න බැරි වෙයි. ඒ නිසා මම ගොඩක් සතුටු වෙනවා මට ලැබුණු ජීවිතය ගැන."












