'සාධාරණ සැකය' පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

ශ්‍රේෂ්ඨාධිකරණය

"සාධාරණ සැකයක්" මත පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට පොලිසිය වෙත බලය පැවරී තිබුණ ද මතුවී තිබෙන සැකය සාධාරණ ද යන්න තහවුරු කර ගැනීමට පොලිසිය කටයුතු කළ යුතු බවත් එම බලය අත්තනෝමතික ලෙස පරිහරණය කරමින් පුද්ගල නිදහස අහිමි නොකිරීමට පොලිස් නිලධාරීන් වගබලා ගත යුතු බවත් ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කළේය.

"සාධාරණ සැකය" නිවැරදි මෙන්ම යුක්ති සහගතය විය යුතු බවත් ශ්‍රේෂ්ඨාධිකරණයකරණය සිය තීන්දුවේ සඳහන් කර තිබේ.

2016 වසරේ නිසි බල පත්‍රයක් නොමැතිව පෝය දිනයේ එළු මස් ප්‍රවාහනය කළේ යැයි චෝදනා කරමින් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම තුළින් මාරවිල පොලිසියේ නිලධාරීන් දෙදෙනකු මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි තීන්දු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නිගමනය ප්‍රකාශයට පත් කර ඇත.

විජිත් මළල්ගොඩ, ශිරාන් ගුණරත්න යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු විසින් තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී.

මීගමුව ප්‍රදේශයේ පදිංචි සංජීව තිසේරා සහ සෙබස්තියන් ජූඩ් ශේක්ස්පියර් යන පුද්ගලයින් දෙදෙනා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක තීන්දුව දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මේ බව නිගමනය කළේය.

අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මාරවිල පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා, එම පොලිසියේ සැරයන්වරයෙකු සහ නීතිපතිවරයා නම් කර තිබුණි.

පෙත්සම්කරුවන්ගේ පැමිණිල්ල

පෙත්සම්කරුවන් පවසන්නේ 2016 වසරේ සැප්තැම්බර් මස 15 වනදා තමන් මිහින්තලය ප්‍රදේශයෙන් එලු මස් කිලෝ ග්‍රෑම් 300 ක් මිලදීගෙන ලොරි රථයක පටවාගෙන මීගමුව ප්‍රදේශයට රැගෙන ඒම සඳහා පිටත් වූ බවයි.

එදින පෝය දිනයක් බවත් පෙත්සමේ සඳහන්ය.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

මෙම මස් තොගය ප්‍රවාහනය කිරීම සඳහා තමන් මිහින්තලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියාගෙන් බලපත්‍රයක් ලබා ගත් බවත් පෙත්සම්කරුවන් සඳහන් කර තිබුණි.

මෙම මස් තොගය මීගමුව බලා ප්‍රවාහනය කරමින් සිටියදී මහවැව ප්‍රදේශයේ දී පොලිසිය විසින් ලොරි රථය නවතනු ලැබ තිබේ.

ලොරි රථය පරීක්ෂා කළ අවස්ථාවේදී ඒ තුළ මස් තිබෙන බව වටහා ගත් පොලිසිය ඒවා ප්‍රවාහනය කිරීම සඳහා ලබා දී තිබූ බලපත්‍ර ඉදිරිපත් කර ලෙස පෙත්සම්කරුවන්ට නියම කර තිබේ.

එහිදී අදාල මස් ප්‍රවාහනය කිරීම සඳහා බලපත්‍ර අවශ්‍ය නොවන බවත් ඒවා මිලදී ගත් ලදුපත් සහ ප්‍රවාහනය කිරීම සඳහා මිහින්තලේ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරියා විසින් නිකුත් කළ බලපත්‍රය පෙත්සම්කරුවන් විසින් පොලිසියට ඉදිරිපත් කර ඇත.

ඒ කෙරෙහි සෑහීමකට පත් නොවූ පොලිස් සැරයන්වරයා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මෙම පෙත්සම්කරුවන්ව අත්අඩංගුවට ගෙන තිබේ.

පසුව මාරවිල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් ඇප මත මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබුණි.

කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තමන්ව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම තුළින් වගඋත්තරකාර පොලිස් නිලධාරීන් තම මූලික අයිතීන් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා පෙත්සම්කරුවන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත්කර තිබුණි.

වග උත්තරකරුවන්ගේ ස්ථාවරය...

වග උත්තරකාර පොලිස් නිලධාරීන් අධිකරණයට දැනුම් දී තිබුණේ බලපත්‍රයක් නොමැතිව මස් ප්‍රවාහනය කිරීමේ චෝදනාව මත මෙම පෙත්සම්කරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බවය.

ඔවුන් පෙන්වා දුන්නේ එම මස් තොගය ප්‍රවාහනය කිරීම සඳහා පෙත්සම්කරුවන් සතුව බලපත්‍රයක් නොතිබූ බවය.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය විසින් අදාළ මස් තොගය මත තැබූ මුද්‍රා ද පැහැදිලිව දර්ශනය නොවූ බවත් වගඋත්තරකාර පොලිස් නිලධාරීන් අධිකරණය හමුවේ පැවසීය.

නිසි බල පත්‍රයක් නොමැතිව පෝය දිනයේ විශාල මස් තොගයක් ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් ඇති වූ සාධාරණ සැකය මත පෙත්සම්කරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බවත් වගඋත්තරකාර පොලිස් නිලධාරීන් අධිකරණයට දන්වා තිබුණි.

ශ්‍රේෂ්ඨාකරණයේ තීන්දුව..

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ප්‍රියන්ත ප්‍රනාන්දු විනිසුරුවරයා සඳහන් කළේ ‘සාධාරණ සැකයක් මත මෙම පෙත්සම්කරුවන් දෙදෙනාව අත්අඩංගුවට ගත් බව වගඋත්තරකාර පොලිස් නිලධාරීන් ප්‍රකාශ කරන’ බවය.

මෙම සිද්ධියේදී පෙත්සම්කරුවන් සම්බන්ධයෙන් වග උත්තරකාර පොලිස් නිලධාරීන් හමුවේ "සාධාරණ සැකයක්'" මතු වී තිබේද? යන්න මුලින්ම පරීක්ෂා කල යුතුය. පෙත්සම්කරුවන් මිහින්තලේ ප්‍රදේශයේ මස් තොගයක් මිලදී ගෙන එය මීගමුව කරා ප්‍රවාහනය කරන බව පොලිසිය වෙත ප්‍රකාශ කර තිබේ. ඒ බව තහවුරු කිරීම සඳහා පෙත්සම්කරුවන් විසින් මස් තොගය මිලදී ගත් රිසිට් පත සහ ඒවා ප්‍රවාහනය කිරීම සඳහා මිහින්තලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා විසින් නිකුත් කළ ලේඛනයද වගඋත්තරකාර පොලිස් නිලධාරීන් වෙත ඉදිරිපත් කර තිබේ.

“අදාළ මස් තොගය සම්බන්ධයෙන් ප්‍රමාණවත් ලේඛන පෙත්සම්කරුවන් විසින් ඉදිරිපත් කර තිබියදී පොලිසියට "සාධාරණ සැකයක්" මතු වන්නේ කෙසේද යන්න ගැටලුකාරී තත්ත්වයකි. මිහින්තලය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා විසින් ඉදිරිපත් කළ සහතිකය පිරික්සීමේ දී අදාළ මස් තොගය වෙනුවෙන් සතුන් ඝාතනය කර ඇත්තේ පෝය දිනයට පෙර දිනයක බවත් පැහැදිලි වෙයි. මෙම කරුණු පිරික්සීමේදී පෙත්සම්කරුවන්ව අඩංගුවට ගැනීම සඳහා සාධාරණ සැකයක් මතු වූ බවට වගඋත්තරකාර පොලිස් නිලධාරීන් ඉදිරිපත් කරන තර්කය පිළිගත නොහැකිය"යනුවෙන් විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු සිය තීන්දුවෙන් ප්‍රකාශ කර තිබේ.

වැඩිදුරටත් සිය තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරුවරයා " සාධාරණ සැකයක් මතු වූ කල පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසියට බලය තිබේ. එම බලය නිවැරදි ආකාරයෙන් භාවිතා කිරීමට පොලිසිය වග බලා ගත යුතුය. සාධාරණ සැකයක් ඇති වූ විට එය වැරදි නොවන බවට තහවුරු කර ගැනීමට නිලධාරීන් වග බලා ගත යුතුය. සාධාරණ සැකය යුක්ති සහගත විය යුතුය. සාධාරණ සැකයට මුවා වී පොලිසිය වෙත පැවරී තිබෙන බලය අත්තනෝමතික ලෙස භාවිතා කිරීමට හැකියාවක් නොමැත. පුද්ගලික නිදහස අහිමි කිරීමට නොහැකිය." යනුවෙන් ප්‍රකාශ කළ විනිසුරුවරයා මෙම ක්‍රියාව තුළින් පෙත්සම්කරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා සාධාරණ සැකයක් උද්ගත නොවන බවත් ඒ තුළින් වගඋත්තරකාර පොලිස් නිලධාරීන් පෙත්සම්කරුවන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවත් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

ඒ අනුව වගඋත්තරකාර මාරවිල පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා විසින් රුපියල් 25,000 බැගින් ද එම පොලිසියේ පොලිස් සැරයන්වරයා විසින් රුපියල් 10,000ක බැගින් ද වන්දි වශයෙන් පෙත්සම්කරුවන් දෙදෙනාට ගෙවිය යුතු බවත් ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීන්දුවේ සඳහන් කළේය. එම වන්දි මුදල වගඋත්තරකරුවන්ගේ පෞද්ගලික මුදල්වලින් ගෙවිය යුතු බවටත් නියෝගයේ වැඩිදුරටත් සඳහන් විය.

මෙය පොලිස් නිලධාරින් විසින් පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා යොදා ගන්නා 'සාධාරණ සැකය' පිළිබඳව මෑතකදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රකාශයට පත් කළ නවතම අර්ථකථනයක් ලෙස හැඳින්විය හැකි බව නීතිවේදීහූ පෙන්වා දෙති.