12 වසරක පදවි කාලය තුළ සිය උපන් බිම වන ආර්ජන්ටිනාවට නොගිය ෆ්‍රැන්සිස් පාප් වහන්සේ

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, වෙරෝනිකා ස්මින්ක්
- Role, බීබීසී පුවත් මුන්ඩෝ, ආර්ජන්ටිනාව
බුවනොස් අයර්ස්හි හිටපු අගරදගුරු හොර්හේ මාරියෝ බර්ගොග්ලියෝ, XVI වන බෙනඩික්ට් පාප් වහන්සේගේ අනුප්‍රාප්තිකයා තෝරා පත් කර ගැනීම සඳහා වතිකානය වෙත ආර්ජන්ටිනාවේ අගනුවරින් පිටත්ව ගිය විට, එය තම උපන් ගම දකින අවසාන අවස්ථාව බව උන්වහන්සේ දැන සිටියේ නැත.
විශ්ලේෂකයින්ට අනුව, සාමාන්‍යයෙන් තම ඉල්ලා අස්වීමේ ලිපිය පාප් වහන්සේ වෙත යොමු කරන කාදිනල් සහ බිෂොප්වරුන්ගේ වයස් සීමාවට වඩා අවුරුද්දකින් වැඩිමහල් වූ, එනම් 76 හැවිරිදි වියේ පසුවූ උන්වහන්සේ එම පුරප්පාඩුව පිරවීම සඳහා සැබෑ අපේක්ෂකයෙකු ලෙස නොසැලකිණි.
"උන්වහන්සේ බුවනොස් අයර්ස් නුවරින් වතිකානය වෙත පිටත්ව යන විට, තරමක් දුකෙන් සිටින බවක් පෙනෙන්නට තිබුණා; උන්වහන්සේ බුවනොස් අයර්ස්හි අසල්වැසි ප්‍රදේශයක් වූ ෆ්ලෝරස්හි පිහිටා තිබෙන පූජකවරුන්ගේ නිවසේ කාමරයක විශ්‍රාම යාමට සූදානම් වෙමින් සිටියේ," බුවනොස් අයර්ස් අගරදගුරු පදවියේ පූජක ගිලර්මෝ මාකෝ ආර්ජන්ටිනාවේ පුවත්පතක් වන ක්ලැරින් වෙත පැවසූහ.
කෙසේ නමුත්, උන්වහන්සේ පමණක් නොව මුළු ලෝකය ම පුදුමයට පත් කරවූ කරුණ වුයේ, බර්ගෝලියෝ පාප් පදවියට පත්ව වසර 12ක් සේවය කිරීම ය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
බර්ගෝලියෝගේ සමීප මිතුරෙකු වන ගුස්ටාවෝ වේරා බීබීසී මුන්ඩෝ වෙත පැවසුවේ, පාප් වහන්සේ ලෙස එම පදවියේ ඉතා කෙටි කාලයක් ගත කිරීමට උන්වහන්සේ සිහින මැවූ බවයි.
"තමාගේ වයස නිසා එය අවුරුදු හතරක් වේ යැයි උන්වහන්සේ සිතුවා," ආර්ජන්ටිනාවේ මිනිස් ජාවාරම් සහ වහල්භාවයට එරෙහි සංවිධානයක් වන ලා ඇලමේඩාහි නායක වේරා පැවසීය.
අගරදගුරු පදවියේ සිටියදී ඔහු බර්ගෝලියෝ සමග මිත්‍ර විය.
ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ පදවි කාලය තුළ, දෙදෙනා ලිපි සිය ගණනක් හුවමාරු කර ගත් අතර, එහි සඳහන් වූයේ පාප් වහන්සේ සැමවිට ම තම මව් රටේ සිදුවන දේ කෙරෙහි උනන්දුවක් දැක්වූ බව ය.
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
"සමහර විට උන්වහන්සේ පාපන්දු ගැන කතා කළා, සමහර විට ටැන්ගෝ ගැන, සමහර විට සංස්කෘතික උත්සව ගැන අදහස් දැක්වුවා," පාප් වහන්සේ ආර්ජන්ටිනාවේ ප්‍රවෘත්ති පිළිබඳ "සවිස්තරාත්මකව" දැනුවත්ව සිටි බව වේරා පවසයි.
"ෆ්‍රැන්සිස්කෝ ආර්ජන්ටිනාව සමග සම්බන්ධතාව පවත්වා ගත්තා. මේ අවුරුදු 12 තුළ, උන්වහන්සේගේ කාලසටහනේ සෑම විට ම ආර්ජන්ටිනා ජාතිකයන් විශාල සංඛ්‍යාවක් සිටියා," ඔහු තවදුරටත් පවසයි.
කෙසේ වෙතත්, ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ පදවි කාලය පිළිබඳ වඩාත් ම කැපී පෙනෙන දෙයක් නම්, උන්වහන්සේ එම පදවිය දැරූ වසර 12 තුළ කිසි දිනෙක තම මව් රටට නො යාම ය.
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ආර්ජන්ටිනාවට මායිම් වන රටවල් පහෙන් හතරක සංචාරය කළහ. 2013දී පදවිය භාර ගැනීමෙන් මාස තුනකට පසු බ්‍රසීලය උන්වහන්සේගේ පළමු විදේශ සංචාරය වූ අතර, පසුව 2015දී බොලීවියාව සහ පැරගුවේ සහ 2018දී චිලී යන රටවලට සංචාරය කළහ.
උන්වහන්සේ කියුබාව, ඉක්වදෝරය, මෙක්සිකෝව සහ පේරු ඇතුළු අනෙකුත් ලතින් ඇමෙරිකානු රටවල ද සංචාරය කළහ.
එසේ නම් උන්වහන්සේ තමාගේ ම රට ට නොගියේ ඇයි?
පිළිතුරෙන් හෙළි වන්නේ ෆ්‍රැන්සිස් පාප් වහන්සේ තම මව්බිම සමග පැවැත්වූ සංකීර්ණ සම්බන්ධතාවය යි.
බොහෝ දෙනෙකු උන්වහන්සේට ආදරය කළ අතර ඔවුහු දැන් ශෝක වෙති. නමුත් තවත් පිරිසක් උන්වහන්සේ මතභේදාත්මක චරිතයක් ලෙස සිහිපත් කරති.
මහජන ප්‍රතිරූපය පිරිහීම
මුලදී, බොහෝ ආර්ජන්ටිනා ජාතිකයන් පළමු ලතින් ඇමෙරිකානු පාප් වහන්සේ තම රටින් පත්වීම ගැන ආඩම්බර වූ නමුත් කාලයත් සමග බොහෝ දෙනෙක් කලකිරීමට පත් වූහ.
පිව් පර්යේෂණ මධ්‍යස්ථානයේ සමීක්ෂණයකින් පෙනී යන්නේ, පාප් වහන්සේ කෙරෙහි තිබූ සහයෝගය 2013දී 91% සිට 2024දී 64% දක්වා පහත වැටුණු බවයි.
ඍණාත්මක අදහස් ද 3% සිට 30% දක්වා තියුණු ලෙස ඉහළ ගොස් තිබිණි.
සමීක්ෂණයට ලක් කරන ලද ලතින් ඇමෙරිකානු රටවල් හයෙන්, හිතකර ආකල්පවල විශාලතම පහත වැටීම වාර්තා වූයේ ආර්ජන්ටිනාවෙනි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ප්‍රතිසංස්කරණවාදීන් වඩාත් ගැඹුරු වෙනස්කම් අපේක්ෂා කළ අතර, ගතානුගතිකවාදීන් උන්වහන්සේට චෝදනා කළේ, ඔවුන් පූජනීය ලෙස සැලකූ ඓතිහාසික සම්ප්‍රදායන් යටපත් කරන බවට ය.
සංචාරයක් පිළිබඳව උන්වහන්සේ ගෙන් විමසූ සෑම අවස්ථාවක ම, ෆ්‍රැන්සිස්කෝ පාප් වහන්සේ අපැහැදිලි පිළිතුරක් දුන්නහ.
"මම යන්න කැමතියි. ඒ මගේ ජනතාව, නමුත් එය තවමත් සැලසුම් කර නැහැ. මුලින් ම විසඳා ගත යුතු දේවල් කිහිපයක් තිබෙනවා," අවසන් වරට උන්වහන්සේ 2024 සැප්තැම්බර් මාසයේදී ආසියා පැසිෆික් කලාපයේ සංචාරයක නිරතවී ආපසු පැමිණෙන අතරතුර, එම ප්‍රශ්නය පිළිබඳව ප්‍රසිද්ධියේ විමසූ අවසන් අවස්ථාවේදී එලෙස පැවසූහ.
සෙසු ආර්ජන්ටිනා ජාතිකයින්ට උන්වහන්සේගේ මෙම පැකිලීම තේරුම් ගැනීමට අපහසු විය.

ඡායාරූප මූලාශ්‍රය, EPA
"ලෝක මට්ටමේ සම්මානයක් දිනා ගැනීමෙන් පසු ඕනෑ ම ක්‍රීඩකයෙකු කරන පළමු දෙය නම් එය තම රටවැසියන් සමග බෙදා ගැනීම සඳහා තම රටට නැවත පැමිණීම. වසර 13ක් තුළ බර්ගෝලියෝට එක් වරක්වත් තම රටට ආපසු පැමිණීමට බැරිවුණා. ඒකෙන් මේ සියල්ලම කියැවෙනවා," ඇලන් බ්‍රැන්ඩෝ නම් පුද්ගලයෙක් සිය X සමාජ වේදිකාවෙහි සටහනක් පළ කරමින් පැවසීය.
ආර්ජන්ටිනාව ගැඹුරු ආර්ථික අර්බුදයකට මුහුණ දී ඇති අතර, වාර්ෂික උද්ධමනය 300%කට ආසන්න වී දරිද්‍රතාවයේ තියුණු වැඩිවීමක් දක්නට ලැබෙන බැවින්, පාප් වහන්සේගේ අඩුව මෑත වසරවලදී වඩා ත් දැඩි ලෙස දැනී ඇත.
'භේදයකට' හසු වීම
වේරාට අනුව, උන්වහන්සේගේ නොපැමිණීමට සැබෑ හේතුව වූයේ දේශපාලන අරමුණු සඳහා තම පැමිණීම භාවිත කිරීම වැළැක්වීමට අවශ්‍ය වීම ය.
"රට එක්සත් කිරීමට සහ භේද දුරලීම සඳහා තමාට උදව් කළ හැකි යැයි හැඟෙන විට තමන් ආර්ජන්ටිනාවට යන බව උන්වහන්සේ සැමවිට ම පැවසුවා," වේරා පැවසීය.
"භේදය" යන්නෙන් අදහස් කරන්නේ 1940 ගණන්වල දිවංගත ජනාධිපති ජුවාන් පෙරොන් විසින් ආරම්භ කරන ලද ජනප්‍රිය දේශපාලන ව්‍යාපාරයක් වන පෙරොන්වාදයේ ආධාරකරුවන් සහ විරුද්ධවාදීන් අතර ආර්ජන්ටිනාවේ දේශපාලනය හා සමාජය තුළ දශක ගණනාවක් පුරා පැවති විශාල පරතරයයි.
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පෙරොනිස්ට්වාදියෙකු බවට රට තුළ පුළුල් විශ්වාසයක් පවතී. 2023දී පාප් වහන්සේ ලෙස උන්වහන්සේගේ 10 වන සංවත්සරයේදී ප්‍රකාශයට පත් කරන ලද පොතක උන්වහන්සේ එය ප්‍රතික්ෂේප කළහ.
"මම කවදාවත් පෙරොනිස්ට් පක්ෂයට සම්බන්ධ වෙලා හිටියේ නැහැ, මම පෙරොනිස්ට් සටන්කාමියෙක් හෝ හිතවාදියෙක්වත් වුණේ නැහැ," උන්වහන්සේ ලියා තිබිණි.
කෙසේ වෙතත්, උන්වහන්සේ තවදුරටත් මෙසේ පැවසීය: "අපට දේශපාලනය පිළිබඳ පෙරොන්වාදී සංකල්පයක් තිබුණා නම්, එහි ඇති වරද කුමක් ද?"

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
මෙම ප්‍රකාශය හිටපු ජනාධිපතිවරුන් වන මොරිසියෝ මැක්‍රි සහ ජේවියර් මිලෙයිගේ ආධාරකරුවන් ඇතුළු මධ්‍ය-දක්ෂිණාංශික ආර්ජන්ටිනා වැසියන් එය විශ්වාස කළේ නැත.
ජනාධිපති වීමට පෙර, අන්ත දක්ෂිණාංශික මිලෙයි, ෆ්‍රැන්සිස් පාප් වහන්සේ "පෘථිවියේ නපුර නියෝජනය කිරීම" යනුවෙන් හැඳින්වූ නමුත් ඔහු බලයට පත්වීමෙන් පසු සිය ස්වරය මෘදු කළේය.
2007 සිට 2015 දක්වා නායකත්වය දුන් හිටපු වාමාංශික ජනාධිපතිනි ක්‍රිස්ටිනා ෆර්නැන්ඩෙස් ඩි කර්ච්නර්ට උන්වහන්සේ ඉතා සමීප බව පවසමින් සමහර ආර්ජන්ටිනා ජාතිකයන් පාප් වහන්සේට "Francis K" යන අන්වර්ථ නාමය අන්තර්ජාලය හරහා භාවිත කර තිබිණි.
නමුත් වේරාට අනුව, පාප් වහන්සේ මැක්‍රි සහ මිලෙයි ඇතුළු "ආර්ජන්ටිනාවේ සෑම දේශපාලන හා සමාජ තලයක ම" ජනතාව හමුවූහ.
'ලෝකයේ පුරවැසියෙක්'
"ෆ්‍රැන්සිස්ට දොස් පවරනවාට වඩා, ආර්ජන්ටිනාවේ අපි අපෙන් ම අසාගත යුතුයි, ඒ කියන්නේ අපි පාප්තුමාගේ පැමිණීමට සුදුසු නැති බව," වේරා පවසයි.
මධ්‍ය සහ ප්‍රධාන නගරවල උන්වහන්සේ පිළිබඳව යම් විවේචනයක් පැවතුණ ද, රටේ අනෙකුත් ප්‍රදේශවල උන්වහන්සේට ආදරය ලැබුණු බව ස්වර්ගස්ථ වූ පාප්වහන්සේගේ මිතුරා පෙන්වා දෙයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
උන්වහන්සේ තම රටට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටි බව වේරා විශ්වාස කරයි: "උන්වහන්සේ මට කිව්වේ නැහැ, නමුත් උන්වහන්සේ තම වෘත්තීය ජීවිතයේ අවසාන කාලය ආර්ජන්ටිනාව සඳහා වෙන් කළා කියලා බව මම සිතනවා, උන්වහන්සේගේ දිගු ගමනේ අවසාන ස්ථානය තම රට බව පෙනෙන්න තිබුණා."
ආර්ජන්ටිනාව සමග සබඳතා පවත්වා ගත්ත ද, ෆ්‍රැන්සිස් පාප් වහන්සේ තවදුරටත් තමන් එක් රටකට පමණක් අයත් යන හැඟීමෙහි එළඹ නොසිටි බව වේරා පවසයි.
"උන්වහන්සේ ආර්ජන්ටිනා ජාතිකයෙකු බව ආර්ජන්ටිනා වැසියන් විශ්වාස කරනවා, නමුත් යථාර්ථයේදී උන්වහන්සේ ලෝකයේ පුරවැසියෙක්," ඔහු වැඩිදුරටත් පවසයි.














