ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වීමෙන් පසු ඊළඟට සිදුවන්නේ කුමක් ද?

Pope Francis opens the Holy Door to mark opening of the Catholic Holy Year, or Jubilee, in St. Peter's basilica, at the Vatican, December 8, 2015.

ඡායාරූප මූලාශ්‍රය, Reuters

    • Author, රොබට් ප්ලමර්
    • Role, බීබීසී ප්‍රවෘත්ති

රෝමානු කතෝලික පල්ලියේ අධ්‍යාත්මික නායකයා ලෙස වසර 12ක් සේවය කළ ෆ්‍රැන්සිස් පාප් වහන්සේ වයස අවුරුදු 88දී ස්වර්ගස්ථ වූහ.

උන්වහන්සේගේ ස්වර්ගස්ථ වීමත් සමග සියවස් ගණනාවක් පැරණි චාරිත්‍ර වාරිත්‍ර ඇතුළත් ශෝක කාලයක් ආරම්භ කර තිබේ.

නව පාප් වහන්සේ තෝරා පත් කර ගැනීමේ ක්‍රියාවලිය ද ආරම්භ කර ඇති අතර ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වීමෙන් දින 15ත් 20ත් අතර කාලයකදී නව පාප්වරයෙකු තෝරා ගැනීමේ රහසිගත හමුව පැවැත්වීම අපේක්ෂා කළ හැකි ය.

පාප් වහන්සේගේ කාර්යභාරය කුමක් ද?

කතෝලික පල්ලියේ ප්‍රධානියා වන්නේ පාප් වහන්සේ ය. රෝමානු කතෝලිකයන් විශ්වාස කරන්නේ, උන්වහන්සේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව ඍජුව නියෝජනය කරන බව ය.

උන්වහන්සේ ක්‍රිස්තුස් වහන්සේගේ මුල් ගෝලයන් වන අපෝස්තුළුවරුන් අතර ප්‍රධානියා වූ ශාන්ත පීතරගේ ජීවමාන අනුප්‍රාප්තිකයෙකු ලෙස සැලකේ.

උන්වහන්සේ කතෝලික පල්ලියේ සම්පූර්ණ පාලනය දරන අතර ලොව බිලියන 1.4ක කතෝලිකයන්ගේ ප්‍රධාන නායකයා වෙති.

කතෝලිකයන් බොහෝ විට සිය මග පෙන්වීම සඳහා බයිබලය පරිශීලනය කළත්, පල්ලියේ විශ්වාසයන් සහ පිළිවෙත් පාලනය කරන පාප් වහන්සේගේ ඉගැන්වීම් වෙත ද ඔවුන්ට යොමු විය හැකිය.

ලොව පුරා සිටින සියලු ම කිතුනුවන්ගෙන් අඩක් පමණ රෝමානු කතෝලිකයන් වෙති. රෙපරමාදු භක්තිකයන් සහ ඕතඩොක්ස් කිතුණුවන් ඇතුළු අනෙකුත් නිකායන් පාප් වහන්සේගේ අධිකාරිත්වය පිළි නොගනී.

පාප් වහන්සේ ජීවත් වන්නේ ලොව කුඩා ම ස්වාධීන රාජ්‍යය වන වතිකාන නගරයේ ය. එය ඉතාලි අගනුවර වන රෝමයෙන් වට වී ඇත. පාප් වහන්සේට වැටුපක් නොලැබෙන නමුත්, උන්වහන්සේගේ සියලු ගමන් වියදම් සහ ජීවන වියදම් වතිකානය විසින් දරනු ලබයි.

3D map of Vatican City showing the position of St Peter's Square, St Peter's Basilica and the Sistine Chapel, with an inset Italy map depicting the location of Rome.
ඡායාරූප ශීර්ෂ වැකිය, වතිකාන නගරය

පාප් වහන්සේ ස්වර්ගස්ථ වූ පසු සිදුවන්නේ කුමක් ද?

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

පාප් වහන්සේගේ අවමංගල්‍ය කටයුතු සාමාන්‍යයෙන් සාම්ප්‍රදායික වන නමුත් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ මෑතකදී ඒවා සරල කිරීමට එකඟ වූහ.

මීට පෙර සිටි පාප් වහන්සේලා මිහිදන් කරනු ලැබුවේ සයිප්‍රස්, ඊයම් සහ ඕක්වලින් සාදන ලද මිනී පෙට්ටියක ය. ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සින්ක්වලින් ආවරණය කරන ලද සරල ලී පෙට්ටියක් ඒ සඳහා තෝරාගෙන ඇත.

ශාන්ත පීතර බැසිලිකාවේ මහජන ප්‍රදර්ශනය සඳහා පාප් වහන්සේගේ දේහය 'කැටෆල්ක්' ලෙස හැඳින්වෙන උස් වේදිකාවක් මත තැබීමේ සම්ප්‍රදාය ද උන්වහන්සේ අහෝසි කර ඇත.

ඒ වෙනුවට, උන්වහන්සේගේ දේහය විවෘත මිනී පෙට්ටියක තැන්පත් කෙරෙන අතර ශෝකයට පත් බැතිමතුන්ට උන්වහන්සේට ගෞරවය පුද කිරීමට ආරාධනා කරනු ලැබ තිබේ.

සියවසකට වැඩි කාලයකට පසු වතිකානයෙන් පිටත භූමදාන කරන පළමු පාප් වහන්සේ ලෙස ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමන් පත් වනු ඇත.

උන්වහන්සේගේ දේහය රෝමයේ පාප්තුමාගේ ප්‍රධාන දේවස්ථානවලින් එකක් වන ශාන්ත මේරි බැසිලිකා දේවස්ථානයේ තැන්පත් කරනු ලැබේ.

බැසිලිකාවක් යනු, වතිකානය විසින් විශේෂ වැදගත්කමක් සහ වරප්‍රසාද ලබා දෙනු ලැබ ඇති පල්ලියකි. ප්‍රධාන බැසිලිකාවලට පාප් වහන්සේ සමග විශේෂ සම්බන්ධයක් ඇත.

නව පාප් වහන්සේ කෙනෙකු තෝරා ගන්නේ කවුද?

නව පාප් වහන්සේ තෝරා ගනු ලැබිය යුත්තේ කතෝලික පල්ලියේ ජ්‍යෙෂ්ඨතම නිලධාරීන් වන කාර්දිනල්වරුන්ගේ සංසදය විසිනි.

ඔවුන් සියලු දෙනා ම පාප් වහන්සේ විසින් ඍජුව ම තෝරා ගනු ලබන අතර ඔවුන් සාමාන්‍යයෙන් බිෂොප්වරුන් ලෙස ද පත් කරනු ලැබේ.

දැනට කතෝලික කාදිනල්වරුන් 252 දෙනෙකු සිටින අතර, ඔවුන්ගෙන් 135 දෙනෙක් නව පාප් වහන්සේට ඡන්දය දීමට සුදුසුකම් ලබති.

අනෙක් පිරිස වයස අවුරුදු 80 ඉක්මවූ අය වන අතර, එයින් අදහස් කරන්නේ ඔවුන්ට ඡන්දයකට සහභාගී විය නොහැකි බව ය. නමුත් තෝරා ගත යුත්තේ කවුරුන් ද යන්න පිළිබඳ විවාදයට ඔවුන්ට සම්බන්ධ විය හැකි ය.

පාප් වහන්සේ තෝරා ගන්නේ කෙසේ ද සහ රහසිගත හමුව කුමක් ද?

පාප් වහන්සේ ස්වර්ගස්ථ වූ විට (හෝ 2013දී XVI වන බෙනඩික්ට් පාප්තුමාගේ ඉල්ලා අස්වීම වැනි දුර්ලභ අවස්ථාවේදී මෙන්), කාදිනල්වරුන් වතිකානයේ රැස්වීමකට කැඳවනු ලබන අතර, පසුව නව පාප්වරයෙකු තෝරා ගැනීම සඳහා වන රහසිගත හමුවකදී (conclave) ඡන්ද විමසීමක් පවත්වනු ලබයි.

පාප්තුමාගේ මරණය සහ උන්වහන්සේගේ අනුප්‍රාප්තිකයා තෝරා පත් කර ගැනීම අතර කාලය තුළ, පල්ලිය පාලනය කරනු ලබන්නේ කාර්දිනල්වරුන්ගේ විද්‍යාලය විසිනි.

මයිකල්ඈන්ජලෝගේ අලංකාර සිතුවම් ඇති සුප්‍රසිද්ධ සිස්ටීන් දේවස්ථානය තුළ මෙම ඡන්ද විමසීම දැඩි රහස්‍යභාවයෙන් යුතුව පවත්වනු ලැබේ.

ජයග්‍රාහකයෙකු තීරණය කරන තෙක් කාදිනල්වරු තමන්ගේ කැමැත්ත පවතින අපේක්ෂකයාට ඡන්දය දීම අඛණ්ඩව සිදු කරති. එයට දින කිහිපයක් ගත විය හැකි ය. පෙර සියවස්වලදී, ඡන්දය සති හෝ මාස ගණනක් පැවතිණි. ඇතැම් කාර්දිනල්වරුන් මෙය අතරතුර පවා මිය ගොස් ඇත.

මැතිවරණය සිදුවන ආකාරය පිළිබඳ එක ම ඉඟිය වන්නේ කාර්දිනල්වරුන්ගේ ඡන්ද පත්‍රිකා පුළුස්සා දැමීමෙන් දිනකට දෙවරක් පිටවන දුමයි. කළු පැහැය අසාර්ථක බව පෙන්නුම් කරයි. සාම්ප්‍රදායික සුදු දුමෙන් අදහස් වන්නේ නව පාප් වහන්සේ තෝරාගෙන ඇති බවයි.

නව පාප් වහන්සේ පිළිබඳ තීරණය ප්‍රසිද්ධියට පත් කරන්නේ කෙසේ ද?

සුදු දුමාරයක් දිස් වූ පසු, නව පාප් වහන්සේ සාමාන්‍යයෙන් පැයක් ඇතුළත ශාන්ත පීතර චතුරශ්‍රයට ඉහළින් ඇති බැල්කනියේ පෙනී සිටිති.

මෙම හමුවට සහභාගී වන ජ්‍යෙෂ්ඨ කාදිනල්තුමා, "හබේමස් පැපම් (අපට පාප් කෙනෙක් ඉන්නවා)" යැයි ලතින් භාෂාවෙන් පැවසීමත් සමග තීරණය ප්‍රකාශයට පත් කෙරේ.

ඉන්පසු උන්වහන්සේ නව පාප්තුමාගේ තමන් සඳහා තෝරා ගත් නම ප්‍රකාශයට පත් කරනු ඇත. එය උන්වහන්සේගේ උපන් නමට වඩා වෙනස් විය හැකි ය.

උදාහරණයක් ලෙස, ෆ්‍රැන්සිස් පාප් වහන්සේ හොර්හේ මාරියෝ බර්ගෝලියෝ ලෙස උපත ලැබුව ද, උන්වහන්සේ තම පාප් පදවිය සඳහා වෙනත් නමක් තෝරා ගත්තේ අසීසියේ ශාන්ත ෆ්‍රැන්සිස්තුමාට ගෞරවයක් වශයෙනි.

Newly elected Pope Francis, Cardinal Jorge Mario Bergoglio of Argentina appears on the balcony of St. Peter's Basilica at the Vatican, 2013 අලුතින් තේරී පත් වූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේ, ආර්ජන්ටිනාවේ කාදිනල් ජෝර්ජ් මාරියෝ බර්ගොග්ලියෝ 2013 දී වතිකානුවේ ශාන්ත පීතර බැසිලිකාවේ බැල්කනියේ පෙනී සිටියි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

පාප් වහන්සේ විය හැක්කේ කාට ද?

න්‍යායාත්මකව, බව්තීස්ම වූ ඕනෑ ම කතෝලික පුරුෂයෙකු පාප් වහන්සේ වීමට තෝරා ගැනීම සඳහා සලකා බැලිය හැකිය.

කෙසේ වෙතත්, ප්‍රායෝගිකව කාර්දිනල්වරු ඔවුන් අතරින් අයෙකු තෝරා ගැනීමට කැමැත්තක් දක්වති.

2013 වසරේදී පැවති පෙර රහසිගත හමුවේදී ආර්ජන්ටිනාවේ උපන් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ තේරී පත් වූ විට, උන්වහන්සේ ලෝකයේ කතෝලිකයන්ගෙන් දළ වශයෙන් 28%ක් පමණ සිටින කලාපයක් වන දකුණු ඇමරිකාවෙන් පැමිණි පළමු පාප් වහන්සේ බවට පත් වූහ.

නමුත් ඓතිහාසික පූර්වාදර්ශයෙන් පෙනී යන්නේ, කාර්දිනල්වරුන් යුරෝපීය ජාතිකයෙකු, විශේෂයෙන් ඉතාලි ජාතිකයෙකු තෝරා ගැනීමට බොහෝ දුරට ඉඩ ඇති බවයි.

මේ දක්වා තෝරාගෙන ඇති පාප්වරුන් 266 දෙනාගෙන් 217 දෙනෙක් ඉතාලියෙන් පැමිණි අය වෙති.