රෝහල්ගත කළ ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ තත්ත්වය ගැන වතිකානය කියන්නේ කුමක් ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, බෙතානි බෙල්
- Role, බීබීසී පුවත්, රෝමය
- Author, ඇලෙක්ස් බොයිඩ්
- Role, බීබීසී පුවත්
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ "සංකීර්ණ සායනික තත්ත්වයක්" සඳහා ප්‍රතිකාර ලබන අතර ඒ සඳහා අවශ්‍ය තරම් කාලයක් රෝහලේ රැඳී සිටිනු ඇතැයි වතිකානය නිවේදනය කර තිබේ.
88 හැවිරිදි ශුද්ධොත්තම පියතුමන් බ්‍රොන්කයිටිස් සඳහා ප්‍රතිකාර හා පරීක්ෂණ සඳහා සිකුරාදා රෝමයේ ගෙමෙලි රෝහලට ඇතුළත් කෙරිණි.
සඳුදා, වතිකානය සඳහන් කළේ, පාප් වහන්සේගේ ශ්වසන පද්ධතියේ "බහු ක්ෂුද්‍ර ජීවී ආසාදනයක්" ඇති බවත්, උන් වහන්සේට ලබා දෙන ප්‍රතිකාරවල වෙනසක් අවශ්‍ය වී ඇති බවත් ය.
පසුව, තවදුරටත් උන්වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව යාවත්කාලීන කරමින් වතිකානය සඳහන් කළේ, පාප් වහන්සේ "නියමිත ප්‍රතිකාර ලබන බවත්" ස්ථාවර තත්ත්වයේ සිටින උන්වහන්සේට උණ රෝග තත්ත්වයක් නොමැති බවත් ය.
ශූද්ධෝත්තම පියතුමන් සඳුදා රෝහලේ සිටියදී කාර්යයන් කිහිපයක නිරත වී ඇති අතර පොත් කියවීම් ද කර තිබිණි.
'පසුගිය පැය කිහිපය තුළ ෆ්‍රැන්සිස් පාප් වහන්සේ වෙත ලැබුණු සෙනෙහස සහ සමීපත්වයේ පණිවිඩවලට උන්වහන්සේගේ කෘතඥතාව' යනුවෙන් නිවේදනයේ වැඩිදුරටත් දැක්විණි.
'මේ අවස්ථාවේ රෝහල්ගතව සිටින, චිත්‍ර ඇඳීමෙන් සහ සුබ පැතුම් පණිවිඩ මගින් දක්වා ඇති සෙනෙහස සහ ආදරය වෙනුවෙන් ඒ අයට, විශේෂයෙන් ස්තුති කිරීමට ශුද්ධෝත්තම පියතුමන්ට අවශ්‍ය යි; උන්වහන්සේ ඔවුන් වෙනුවෙන් යාච්ඤා කරන අතර උන්වහන්සේ වෙනුවෙන් යාච්ඤා කරන ලෙස ද ඉල්ලා සිටියා.'
පසුගිය සතියේ රෝහල්ගත කිරීමට පෙර, පාප් වහන්සේ දින කිහිපයක් බ්‍රොන්කයිටිස් රෝග ලක්ෂණවලින් පෙළුණු අතර, උත්සවවලදී සූදානම් කළ දේශන කියවීමේ වගකීම නිලධාරීන්ට පවරා තිබේ.
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
වතිකානයේ ප්‍රකාශක මැටියෝ බෲනි ද සඳුදා වාර්තාකරුවන්ට පැවසුවේ, පාප් වහන්සේ ප්‍රීතිමත් මනෝභාවයකින් පසුවන බව ය.
ශූද්ධෝත්තම පියතුමන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ කෙටි නිවේදනයක මෙසේ සඳහන් විය: "මේ දක්වා සිදු කර ඇති සියලු ම පරීක්ෂණ මගින් රෝහල්ගත කිරීමක් අවශ්‍ය සංකීර්ණ සායනික තත්ත්වයක් පෙන්නුම් කරයි."
සාමාන්‍යයෙන් සෑම බදාදා දිනක ම පැවැත්වෙන පාප් වහන්සේගේ සතිපතා පැවැත්වෙන දේව මෙහෙය මෙම සතිය තුළ අවලංගු කර ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් විය.
සති අන්තයේ වතිකානය පැවසුවේ, පාප් වහන්සේගේ තත්ත්වය යහපත් බවත්, සුවය ලැබීමට පහසුවක් ලෙස "සම්පූර්ණ විවේකයක්" ලබා ගන්නා ලෙස උන්වහන්සේට දැනුම් දුන් බවත් ය.
සිකුරාදා සහ සෙනසුරාදා ඔහු ගේබ්‍රියෙල් රොමනෙලි පියතුමාගේ නායකත්වයෙන් ගාසාහි ශුද්ධ වූ පවුලේ දේවස්ථානයේ වීඩියෝ දේව මෙහෙයක් පැවැත්වීය.
"අපිට උන් වහන්සේගේ කටහඬ ඇහුණා. ඒක ඇත්ත, පියතුමන්ට මහන්සි වැඩි යි. උන්වහන්සේ ම කිව්වා, මම මගේ ගැන බලාගන්න ඕනේ," කියලා. නමුත් කටහඬ පැහැදිලිව ඇහෙනවා, ඔහු අපට හොඳින් ඇහුම්කන් දුන්නා, "රොමනෙලි පියතුමා වතිකාන පුවත් සේවයට පැවසීය.
රොමනෙලි පියතුමා පසුගිය ඉරිදා පැවසුවේ, පල්ලියෙන් යවන ලද සුබ පැතුම් සඳහා ස්තූති කරමින් පාප් වහන්සේගෙන් තමාට කෙටි පණිවිඩයක් පමණක් ලැබුණු බව ය.
ශාන්ත පීතර චතුරශ්‍රයේ ඉරිදා සිය නිත්‍ය සතිපතා යාඥා මෙහෙය පැවැත්වීමට හෝ කතෝලික පල්ලියේ ජුබිලි වර්ෂය නිමිත්තෙන් කලාකරුවන් වෙනුවෙන් විශේෂ දේව මෙහෙය පැවැත්වීමට පාප් වහන්සේට නොහැකි විය.
විවේකය සහ සුවය ලැබීමේ උත්සහයක් ලෙස ශුද්ධෝත්තම පියතුමන් පසුගිය සතියේ වතිකානයේ පිහිටි සිය නිවසේ රැස්වීම් ද පැවැත්වීය.
ශාන්ත පීතර බැසිලිකාව පිටතට රැස්වූ ජනතාව පාප් වහන්සේට සුබ පැතුම් එක් කළහ.
එංගලන්තයේ වෙසෙන ඔස්ට්‍රේලියානු ජාතික බර්නාඩ් තම දරුවන් සමග රෝමයට පැමිණෙමින් කියා සිටියේ "අපි පාප් වහන්සේ වෙනුවෙන් යාඥා කරනවා," යනුවෙනි.
"ඔවුන් හැමවිට ම ධූරය භාර ගන්නේ මහලු වියේදී. ඔව්, බොහෝ විට ඔවුන් එහි ප්‍රතිඵලයක් ලෙස වෛද්‍ය ගැටලුවලට ගොදුරු වෙනවා," ඔහු BBC වෙත පැවසීය.

රෝමයේ පදිංචි ආමන්ඩෝ විසින් පාප් වහන්සේ හඳුන්වනු ලැබුවේ, "ශ්‍රේෂ්ඨ ආත්මයක්" සහ "සැමට ආදර්ශවත් චරිතයක්" ලෙසිනි.
"සියලු සුබ පැතුම්, ශුද්ධෝත්තම පියතුමනි, අපි ඔබ ආපසු එන තුරු බලා සිටිනවා," ඔහු පැවසීය.
රෝමානු කතෝලික පල්ලියේ නායකයා ලෙස කටයුතු කරන වසර 12 තුළ පාප් වහන්සේ කිහිප වරක් ම රෝහල්ගත කෙරුණු අතර අතර වයස අවුරුදු 21දී පෙනහලුවලින් කොටසක් ඉවත් කිරීම ඇතුළුව උන්වහන්සේගේ ජීවිත කාලය පුරා ම සෞඛ්‍ය ගැටලු රැසකට මුහුණ දී තිබේ.
2023 මාර්තු මාසයේදී උන්වහන්සේ බ්‍රොන්කයිටිස් රෝගී තත්ත්වය හේතුවෙන් රාත්‍රී තුනක් රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ අතර එම වසරේ ජූනි මාසයේදී පැය තුනක හර්නියා සැත්කමකට ද භාජනය විය.
තවත් අසනීප තත්ත්වයක් හේතුවෙන් 2023 දී උන්වහන්සේට COP28 දේශගුණික සමුළුව සඳහා සහභාගි වීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත යාම අවලංගු කිරීමට සිදුවිය.
පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී ශුද්ධෝත්තම පියතුමන් ශාන්ත පීතර බැසිලිකාවේ නව කතෝලික කාදිනල්වරුන් 21 දෙනෙකු ස්නාපනය කිරීමේ උත්සවයකට නායකත්වය දුන් විට ඔහුගේ නිකටේ විශාල තැලීමක් ඇතිව පෙනී සිටි අතර එය සුළු වැටීමක ප්‍රතිඵලයක් බව වතිකානුව ප්‍රකාශ කළේ ය.
වඩාත් මෑතකදී, එනම් ජනවාරි මාසයේදී පියතුමන් බිම ඇද වැටී දකුණු අත තුවාල වූ අතර පූර්වාරක්ෂක පියවරක් ලෙස උන්වහන්සේ අත් ආධාරකයක් පැළඳ සිටියේ ය.














