වතිකානයේ භාණ්ඩාගාරික: ලිංගික අපචාර චෝදනා ප්‍රතික්ෂේප කරති

Australian Cardinal George Pell looks on as he makes a statement at the Holy See Press Office, Vatican city on June 29, 2017

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, කාදිනල් ජෝර්ජ් පෙල්

වතිකානයේ භාණ්ඩාගාරික කාදිනල් ජෝර්ජ් පෙල් හිමිපාණෝ තමන්ට එරෙහිව එල්ල වී ඇති ලිංගික අපචාර චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරති.

අදාළ චෝදනා අසත්‍ය බව උන්වහන්සේ පවසති.

මාධ්‍ය හමුවක් අමතමින් කාදිනල් ජෝර්ජ් පෙල් හිමිපාණන් කියා සිටියේ අදාළ චෝදනා සම්බන්ධයෙන් වසර දෙකක් පුරා පැවති පරීක්ෂණ අතරතුර සිය චරිතය ඝාතනය වූ බවය.

ඒ සම්බන්ධයෙන් උන්වහන්සේ සිය මව් රට වූ ඕස්ට්‍රේලියාවේ අධිකරණයක පෙනී සිටීමට නියමිතය.

ඒ සඳහා සේවයෙන් බැහැර යාමට ශුද්ධ වූ පාප්වහන්සේ විසින් තමන්ට අවසර ලබා දෙනු ලැබූ බවත් කාදිනල් ජෝර්ජ් පෙල් හිමිපාණෝ කියා සිටියහ.

දීර්ඝ කාලයක් පුරා කතෝලික සභාවේ පැවති ලිංගික අපචාර සම්බන්ධයෙන් උන්වහන්සේට එරෙහිව චෝදනා ගොනු කිරීමට නියමිතය.

කතෝලික හර පද්ධති

Australian Cardinal George Pell holds a candle as Pope Francis leads the Easter vigil mass in Saint Peter"s basilica at the Vatican, April 15, 2017

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, අදාළ චෝදනා අසත්‍ය බව කාදිනල් ජෝර්ජ් පෙල් පවසති

රෝමානු කතෝලික සභාවේ ධුරාවලිය අනුව තෙවෙනියා ලෙස සැළකෙන කාදිනල් ජෝර්ජ් පෙල් හිමිපාණන් 76 වෙනි වියේ පසුවන අතර උන්වහන්සේට එරෙහිව කිහිප දෙනෙකු චෝදනා එල්ල කරන බව වික්ටෝරියා ප්‍රාන්ත පොලිසිය පැවසීය.

පුජකවරුන් විසින් සිදු කරන ලද ළමා අපචාර වසන් කිරීමට කටයුතු කළ බවට පළමුව ඔහුට එරෙහිව චෝදනා එල්ල වූ අතර පසුව ඔහු විසින් ද ළමුන් අපචාරයට ලක් කරනු ලැබ ඇති බවට චෝදනා එල්ල විය.

කාදිනල් ජෝර්ජ් පෙල් එම චෝදනා ප්‍රතික්ෂේප කරති.

කොතෝලික හර පද්ධතීන් වෙනුවෙන් දැඩි ලෙස පෙනී සිටින උන්වහන්සේ බ‍්‍රහ්මචර්යාව රැකීම, සමරිසි විවාහ සහ උපත් පාලනය සම්බන්ධයෙන් ගතානුගතික ස්ථාවරයක සිට කටයුතු කරති.