වසර 25ක් බලයේ සිටින පුටින් 'රුසියාව රැකබලා ගත්තා ද?'

Boris Yeltsin sits opposite Vladimir Putin at a table, looking at each other, the day Yeltsin annouced he was stepping down as president

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, වහා ම ක්‍රියාත්මක වන පරිදි තමන් ධූරයෙන් ඉල්ලා අස්වී ජනාධිපතිවරයාගේ බලතල පුටින් වෙත පවරන බව බොරිස් යෙල්ට්සින් (වමේ) 1999 දෙසැම්බර් 31 වැනි දා නිවේදනය කළේ ය.
    • Author, ස්ටීව් රොසෙන්බර්ග් - මොස්කව්
    • Role, බීබීසී රුසියානු සංස්කාරක
  • කියවීමේ කාලය: මිනිත්තු 5

1999 වසරේ නව අවුරුදු උදාවට ආසන්න කාලය මා හට කිසි දා අමතක නොවේ.

මොස්කව්හි පිහිටි බීබීසී බියුරෝවෙහි නිෂ්පාදකවරයෙකු ලෙසින් එවකට මම සේවය කරමින් සිටියෙමි. එක්වර ම එම මොහොතෙහි ලැබුණු පුවතකින් කියැවුණේ රුසියාවේ ජනාධිපති බොරිස් යෙල්ට්සින් සිය ධූරයෙන් ඉල්ලා අස්වූ බවයි.

ඉල්ලා අස්වීමට ඔහු ගත් තීරණය මොස්කව්හි සිට ක්‍රියාත්මක වූ බ්‍රිතාන්‍ය මාධ්‍යවේදීන් ද ඇතුළුව සෑම දෙනාට ම විමතිය දනවන්නක් විය. එම මොහොතේදී කාර්යාලයෙහි කිසිදු වාර්තාකරුවෙකු නොසිටි නිසා මා හට එම පුවත ලියා මාගේ පළමු බීබීසී පුවත් වාර්තාකරණය ඉදිරිපත් කිරීමට සිදු විය.

"බොරිස් යෙල්ට්සින් සෑම විටකදී ම කියා සිටියේ ජනාධිපතිවරයා වශයෙන් තම පූර්ණ කාලසීමාව සම්පූර්ණ කරන බවයි," යනුවෙන් මම වාර්තා කළෙමි. "අද ඔහු රුසියානුවන්ට කියා සිටියේ එම තීරණය වෙනස් කළ බවයි."

වාර්තාකරුවෙකු ලෙසින් වූ මාගේ වෘත්තියෙහි ආරම්භය එය විය.

එමෙන් ම, රුසියාවේ නායකයා ලෙසට ව්ලැදිමීර් පුටින්ගේ ආරම්භය ද එම මොහොතේදී සනිටුහන් වූයේ ය.

රුසියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව, යෙල්ට්සින්ගේ ඉල්ලා අස්වීමෙන් අනතුරුව අගමැති පුටින් වැඩබලන ජනාධිපතිවරයා බවට පත් විය. මාස තුනකට පසුව පැවති ඡන්ද විමසීමෙන් ඔහු ජයග්‍රහණය කළේය.

ක්‍රෙම්ලිනය හැර යද්දී යෙල්ට්සින්ගෙන් පුටින්ට ලැබුණු උපදේශය වූයේ, "රුසියාව රැකබලා ගන්න" යන්නයි.

A younger looking Vladimir Putin stands in front of Boris Yeltsin, both in suits and laughing

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, රුසියාවේ ස්වෛරීභාවයෙහි රැකවල්කරු තමන් යැයි පවසන ජනාධිපති පුටින් (දකුණේ) තමන්ට පෙර සිටි ජනාධිපති බොරිස් යෙල්ට්සින් එය ඉටු කිරීමට අසමත් වූ බව කියා සිටී.

යෙල්ට්සින්ගේ එම උපදේශාත්මක වදන් නොයෙක් වර මා හට මෙනෙහි වන්නේ යුක්‍රේනයට එරෙහි රුසියානු යුද්ධය තෙවැනි වසරට ආසන්න වන මොහොතකදී ය.

ජනාධිපති පුටින්ගේ යුක්‍රේන ආක්‍රමණය අතිශය ප්‍රබල ප්‍රතිවිපාකයන්ට හේතුකාරක වීම ඊට හේතුවයි.

මූලික වශයෙන් ම යුක්‍රේනය එයින් අතිවිශාල හානියකට ලක්ව සිටින අතර, නගර බොහෝමයක ජනතාව අනතුරට ලක්ව සිටී. එරට භූමියෙන් සියයට 20ක පමණ කොටසක් සතුරාගේ ග්‍රහණයට ලක්ව තිබෙන අතර, වැසියන් මිලියන 10ක් දෙනා අවතැන්ව ඇත.

එමෙන් ම, රුසියාවට සිදුව ඇති හානිය ද ඉමහත් ය.

  • තම "විශේෂ යුද්ධ මෙහෙයුම" ඇරඹීමට ව්ලැදිමීර් පුටින් තීරණය කිරීමෙන් පසුව රුසියාව යුද්ධ පිටියේදී බරපතළ හානියට ලක්ව ඇත.
  • රුසියානු නගර සහ පුරවරයන් නිරතුරුව ම ඩ්‍රෝන ප්‍රහාරයන්ට ලක් වන්නේය.
  • රුසියාවේ කර්කස් ප්‍රදේශයෙහි කොටසක් යුක්‍රේන සොල්දාදුවන්ගේ ග්‍රහණයට නතුව තිබේ.
  • පනවා ඇති ජාත්‍යන්තර සම්බාධක නිසා රුසියානු ආර්ථිකයට දැඩි පීඩනයක් එල්ලව ඇත.
  • එපමණක් නොව, එරට ජන විකාසනය ද දරුණු තත්ත්වයකට ඇදවැටී තිබේ.
  • දේශීය වශයෙන් ජනතාව මැඩපැවැත්වීම් පවා ශීඝ්‍රයෙන් පැතිරගොස් ඇත.

සියවසකින් හතරෙන් එකක කාලයකට පෙර බලයට පැමිණි පුටින් පිළිබඳව මේ තාක් මම වාර්තා කරමින් සිටිමි.

දශක දෙකහමාරක කාලයකට පසුව ද රුසියාවේ නව නායකයා බලයේ සිටිනු ඇතැයි 1999 දෙසැම්බර් 31 වැනි දා කිසිවෙකු හෝ නොසිතන්නට ඇත. එමෙන් ම, රුසියාව අද දිනයේදී යුක්රේනයට එරෙහිව යුද්ධ වැද සිටිනු ඇතැයි යන්න හෝ බටහිර සමග ගැටුම් ඇතිකර ගැනීමට රුසියාව පෙළඹෙනු ඇතැයි යන්න ද කිසිවෙකු හෝ නොසිතන්නට ඇත.

Several Russian soldiers pin flags to coffins of soldiers killed in Luhansk, Russia-controlled territory, surrounded by crosses

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, 2022දී තම "විශේෂ යුද්ධ මෙහෙයුම" ඇරඹීමට ජනාධිපති ව්ලැදිමීර් පුටින් තීරණය කිරීමෙන් පසුව රුසියාව යුද්ධ පිටියේදී බරපතළ ලෙස හානියට ලක්ව ඇත
Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ඔහු වෙනුවට වෙනත් අයෙකු යෙල්ට්සින් විසින් තෝරා ගනු ලැබුවේ නම් මෙතෙක් ඉතිහාසය හාත්පසින් ම වෙනස් වන්නට තිබූ බවට වන සිතුවිල්ල නොයෙක් වර මාගේ සිතට පැමිණේ. නමුත්, එම ප්‍රශ්නය කල්පිතයක් පමණකි. නොයෙකුත් දේ සිදු නොවුණා නම් යන්න ඉතිහාසය පුරා පිරී පවතින දෙයකි.

කෙසේ වෙතත්, වසර 25කට අධික කාලයකදී මා පුටින්ගේ වේශයන් බොහොමයක් දැක ඇති බවට නිසැක වශයෙන් ම මා හට කිව හැක.

එසේ සිතන්නේ මා පමණක් නොවේ.

"මා හමු වූ පුටින් නේටෝ-රුසියානු කවුන්සිලයක් පිහිටුවා, යහපත් ආකාරයට ගනුදෙනු සිදු කළ, මේ මොහොතේ දකින්නට ලැබෙන අහංකාරෝන්මාදයෙන් පෙළෙන පුද්ගලයාට හාත්පසින් ම වෙනස් අයෙක්," යනුවෙන් හිටපු නේටෝ ප්‍රධානී රොබට්සන් සාමිවරයා 2023දී මා සමග පැවසීය.

"2002 මැයි මාසයේදී මා සමීපයෙහි සිටිමින්, යුක්‍රේනය යනු, ආරක්ෂාව පිළිබඳව තමාගේ තීරණ ගතහැකි ස්වෛරී, ස්වාධීන රාජ්‍යයක් යැයි කියූ තැනැත්තා අද පවසන්නේ, යුක්‍රේනය යනු වෙන ම රාජ්‍යයක් නොවන බවයි. "

"මා සිතන්නේ ව්ලැදිමීර් පුටින් යනු තමන්ට එරෙහි දෝෂාරෝපණ කිසිසේත් ම නොඉවසන තම රට වෙනුවෙන් දැවැන්ත අභිලාෂයකින් පෙළෙන අයෙකු බවයි. ලෝකයේ දෙවැනි සුපිරි බලවතා ලෙසින් සෝවියට් සංගමය පිළිගැනීමට ලක් වුණා. එවැනි ආකාරයේ හිමිකමක් රුසියාවට නැහැ. මා සිතන ආකාරයට එය ඔහුගේ මමත්වයට දැඩි ලෙස කාවැදුණා."

මෙය පුටින්ගේ අප දකින වෙනසට වියහැකි එක් හේතුවකි: "රුසියාව නැවත වරක් ශ්‍රේෂ්ඨත්වයට පත් කිරීම" සඳහා වන ඔහුගේ දැඩි අභිලාෂය (සහ සීතල යුද්ධයේදී මොස්කව් පාලනයට අත් වූ පරාජය පිරිමසා ගැනීම) නිසා අසල්වැසි රටවල් සහ බටහිර ලෝකය සමග නියත වශයෙන් ම සිදුව ඇති ඝට්ටනයකට රුසියාව ඇද දමා තිබේ.

නමුත්, ක්‍රෙම්ලිනයට ඒ සම්බන්ධයෙන් ඇත්තේ වෙනස් ආකාරයේ පැහැදිලි කිරීමකි.

පුටින් සිදුකළ කතා සහ ප්‍රකාශවලින් පැහැදිලි වන්නේ, වසර ගණනාවක් තිස්සේ බටහිර ලෝකය රුසියාව රවටමින්, නිගරු කරමින්, සිය ආරක්ෂාව පිළිබඳ ගැටලු නිෂ්ප්‍රභ කරමින් කටයුතු කිරීමට එරෙහිව ඔහුගේ ප්‍රබල ප්‍රතිවිරෝධය මෙසේ පෙන්නුම් කරන බවයි.

කෙසේ වෙතත්, "රුසියාව රැකබලා ගන්නැයි" යෙල්ට්සින් කළ ඉල්ලීම තමන් ඉටු කළ බවක් පුටින් සිතනවා ද?

ඊට පිළිතුර ලබා ගැනීමේ අවස්ථාව මෑතකදී මා හට උදාවිය.

වසර අවසානයේ පැවැත්වූ තම දීර්ඝ පුවත්පත් සාකච්ඡාව පැය හතරක් ඉක්මවා ගිය අවස්ථාවේදී ප්‍රශ්නයක් ඇසීමට පුටින් මා හට ආරාධනා කර සිටියේ ය.

"රුසියාව රැකබලා ගන්නැයි බොරිස් යෙල්ට්සින් ඔබෙන් ඉල්ලා සිටියා," යනුවෙන් පුටින්ගේ මතකය අවදි කරමින් මා අසා සිටියේ, "නමුත්, ඔබ කියනා "විශේෂ යුද්ධ මෙහෙයුම" නිසා සිදුව ඇති සැලකිය යුතු හානිය පිළිබඳ ඔබගේ මතය කුමක් ද?, කර්ක්ස් ප්‍රදේශය අත්පත් කරගෙන සිටින යුක්‍රේන හමුදා, සම්බාධක, ඉහළ උද්ධමනය. ඔබ සිතනවා ද රට රැකබලා ගැනීම ඔබ සිදුකළා කියලා?"

"ඔව්," ජනාධිපති පුටින් පිළිතුරු දුන්නේය. "මා එය රැකබලා ගත්තා පමණක් නොවෙයි, රට අගාධයට යාමෙන් වළක්වා ගැනීමට ද අප සමත්ව තිබෙනවා."

යෙල්ට්සින් යටතේ රුසියාව තම ස්වෛරිත්වය නැතිකර ගනිමින් සිටි බවට ගෙනහැර දැක්වූ ඔහු, යෙල්ට්සින්ගේ "පිටට අනුග්‍රහාත්මක ආකාරයෙන් තට්ටු කරමින්" බටහිර ලෝකය එහි ඕනෑ එපාකම් සඳහා තම රට භාවිත කළ බවට ද චෝදනා කර සිටියේ ය.

නමුත්, පුටින් වන තමන් "සියලු දෙය" කරන්නේ "රුසියාව යනු ස්වාධීන, ස්වෛරී රාජ්‍යයක් යැයි සහතික කරලීමට" බව ද ජනාධිපතිවරයා පිළිතුරු දෙමින් පැවසීය.

රුසියානු ස්වෛරීත්වයේ ආරක්ෂකයා තමන් යැයි ගෙනහැර දක්වන පුටින්ගේ එම ආකල්පය මගින් ඔහු උත්සහ කරන්නේ යුක්‍රේනයට එරෙහි යුද්ධය සාධාරණීකරණය කිරීමට ද? එසේ නැතිනම්, නූතන රුසියානු ඉතිහාසයේ එසේ ලියැවෙනු ඇති යැයි ඔහු නියත වශයෙන්ම සිතා සිටිනවා ද?

මා හට එය තවමත් ස්ථිර වශයෙන් කිව නොහැකියි. නමුත්, මා සිතන ආකාරයට එය ප්‍රධාන ප්‍රශ්නයකි.

යුද්ධයේ අවසානය සහ රුසියාවේ අනාගත දිශානතිය තීරණය කිරීමට ඊට ඇති පිළිතුර දැඩිව බලපානු ඇත.