ශ්‍රී ලංකා රජය අලුතින් හඳුන්වා දෙන Digital Nomad Visa යනු කුමක් ද? එය ලබා දෙන්නේ කාට ද?

මර්ගතව රැකියාවේ නිරත තරුණයෙක් සහ තරුණියක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, බීබීසී සිංහල
  • කියවීමේ කාලය: මිනිත්තු 6

ශ්‍රී ලංකාවේ සිට රටින් පිටත පිහිටි සමාගම් හෝ සේවාලාභීන් සඳහා දූරස්ථව වැඩ කිරීමට කැමැත්තක් දක්වන විදේශීය වෘත්තිකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා ඩිජිටල් නෝමෑඩ් (DNV) නමැති වීසා කාණ්ඩයක් හඳුන්වා දීමට ශ්‍රී ලංකා රජය පියවර ගෙන තිබේ.

දීර්ඝ කාලීන නවාතැන්, සංචාරක වියදම් සහ ගෝලීය දැනුම හුවමාරුව හරහා ජාතික ආර්ථිකයට දායක වෙමින්, ශ්‍රී ලංකාව දිගුකාලීන ඩිජිටල් ගමනාන්තයක් ලෙස ස්ථානගත කිරීම මෙම මුලපිරීමේ අරමුණ බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පැවසීය.

සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දක්වමින් ඇතැම් පිරිස් මෙම පියවර පිළිබඳව ප්‍රශංසා කර තිබුණු අතර ඇතැම් පාර්ශව ඉන්ටර්නෙට් වේගය වැනි ශ්‍රී ලංකාවේ ඩිජිටල් යටිතල පහසුකම්වල පවතින "අඩුපාඩු" පිළිබඳව හුවා දක්වමින් එය විවේචනය කර ඇති අයුරු නිරීක්ෂණ විය.

ඒ අනුව, බීබීසී සිංහල මේ පිළිබඳව විමසා බැලීමක් කළේ ය.

ඩිජිටල් නෝමෑඩ් වීසා (DNV) යනු කුමක් ද?

ආර්ථික සහයෝගීතාව සහ සංවර්ධනය සඳහා වූ සංවිධානයට අනුව, 1997දී ප්‍රථම වරට භාවිතයට පැමිණි ඩිජිටල් නෝමෑඩ් යන්නෙහි අර්ථය "ස්ථානයෙන් ස්වාධීන, තාක්ෂණයෙන් සක්‍රීය ජීවන රටාවක්," යන්න ය.

දූරස්ථව වැඩ කිරීමෙන් උසස් ජීවන තත්ත්වයක් ළඟා කර ගැනීමට මෙන් ම වඩාත් හිතකර බදු ක්‍රමයක් තෝරා ගැනීමට හැකි වන බව එම සංවිධානය 2022 වසරේ පළ වර්තාවක දැක්වෙයි.

ඔවුන් 'cross-border workers' ලෙස ද හඳුන්වන්නේ, එක් රටක ජීවත් වන නමුත් වෙනත් රටක පිහිටා ඇති ආයතන, සමාගම් හෝ ව්‍යාපාර සඳහා මාර්ගගතව වැඩ කරන බැවිනි.

අලෙවිකරණය, නිර්මාණකරණ, තොරතුරු තාක්ෂණ, ලිවීම, මාධ්‍ය, ඉගැන්වීම සහ උපදේශනය වැනි ක්ෂේත්‍රවල රැකියාවල නිරත වන්නන් මේ තුළ පුළුල් වශයෙන් නියෝජනය වුව ද ඉන් ඔබ්බට විහිදුණු ක්ෂේත්‍ර ද මීට ඇතුළත් විය හැක.

Freaking Nomads වෙබ් අඩවියට අනුව, ඩිජිටල් නෝමෑඩ් වීසා බලපත්‍රයක් දූරස්ථව වැඩ කිරීමට අවසර ලැබෙන වීසා බලපත්‍රයක් ලෙස ද හඳුන්වන අතර, එය පදිංචිය හෝ පුරවැසිභාවය සඳහා අයැදුම් කිරීමේ අවශ්‍යතාවකින් තොරව විදේශ රටක ජීවත් වීමට සහ වැඩ කිරීමට පුද්ගලයින්ට හැකියාව ලබා දෙන විශේෂිත බලපත්‍රයක් ලෙස ද ක්‍රියාත්මක වෙයි.

එවැනි වීසා පිරිනමන රටවල්, ආදායම් සනාථ කිරීම, සංචාරක සෞඛ්‍ය රක්ෂණය සහ රැකියාව සම්බන්ධයෙන් පිළිගත හැකි කොන්ත්‍රාතුවක් ඇතුළු විවිධ අවශ්‍යතා සපුරාලීම අපේක්ෂා කරයි.

ඩිජිටල් නෝමෑඩ් වීසා බලපත්‍රයක් ගත හැක්කේ කාට ද? සුදුසුකම් මොනවා ද?

මෙම වීසා කාණ්ඩය සඳහා අයැදුම් කළ හැක්කේ වයස අවුරුදු 18ට වැඩි විදේශීය ජාතිකයන්ට ය. ප්‍රධාන අයැදුම්කරුගේ කලත්‍රයා සහ යැපෙන්නෝ ද මේ සඳහා සුදුසුම්කම් ලබති.

ප්‍රධාන අයැදුම්කරුගේ වයස අවුරුදු 18 වැඩි විය යුතු අතර එම තැනැත්තා දූරස්ථ රැකියාවක නිරත වන්නෙකු, නිදහස් සේවකයෙකු හෝ ශ්‍රී ලංකාවෙන් පිටත සේවාලාභීන්ට සේවා සපයන ව්‍යාපාරයක (ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කර නොමැති) හිමිකරුවෙකු විය යුතු ය.

ඊට අමතරව ප්‍රධාන අයැදුම්කරුගේ අවම මාසික ආදායම ඇමෙරිකානු ඩොලර් 2,000ක් විය යුතු අතර එම තැනැත්තාගෙන් යැපෙන සංඛ්‍යාව 2කට වඩා වැඩි වන්නේ නම්, එක් එක් අයැදුම්කරු සඳහා මාසිකව අමතර ඇමෙරිකානු ඩොලර් 500ක මුදලක් ප්‍රේෂණය කළ යුතු ය.

අවශ්‍ය ලිපි ලේඛන මොනවා ද?

නිසි ලෙස පුරවන ලද වීසා අයැදුම් පත, අයැදුම්කරුගේ ඉල්ලීම් ලිපිය, විදේශ ගමන් බලපත්‍රයේ ඡායා පිටපතක් (අවම වශයෙන් මාස 6ක් සඳහා වලංගු), මෑත කාලීනව ලබා ගත් විදේශ ගමන් බලපත්‍ර ප්‍රමාණයේ ඡායාරූප දෙකක්, විවාහ සහතිකය (කලත්‍රයා සඳහා), උප්පැන්න සහතිකය (යැපෙන්නන් සඳහා), නිසි ලෙස පුරවන ලද ආරක්ෂක නිෂ්කාශන පෝරමය, වෛද්‍ය වාර්තාව මෙන් ම;

අයැදුම්කරුගේ මව් රටෙන් හෝ පදිංචි රටෙන් ලබාගත් මෑත කාලීන පොලිස් සහතිකය (මාස 3කට වඩා පැරණි නොවිය යුතු ය), ශ්‍රී ලංකාව තුළ වෛද්‍ය ප්‍රතිකාර ආවරණය කරන ජාත්‍යන්තර සෞඛ්‍ය රක්ෂණය, ඩිජිටල් ආර්ථික අමාත්‍යංශයේ නිර්දේශය, ප්‍රධාන අයැදුම්කරු සහ යැපෙන්නන් සඳහා අවම මාසික ප්‍රේෂණ මුදල පිළිබඳ සාක්ෂි සපයන ලේඛන මේ සඳහා අවශ්‍ය බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පැවසීය.

මෙම ලිපි ලේඛන යොමු කිරීමෙන් පසු අදියර තුනක් යටතේ වීසා බලපත්‍ර නිකුත් කිරීම සිදු කෙරෙනු ඇත.

වලංගු කාලය? එය දීර්ඝ කළ හැකි ද? වීසා ගාස්තු?

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළේ, වසරක කාලයක් සඳහා මෙම ඩිජිටල් නෝමෑඩ් වීසා (DNV) නිකුත් කරන බව ය.

වීසා කාලය දීර්ඝ කර ගැනීම සඳහා පළමු වරට වීසා නිකුත් කිරීමේදී ලබා දුන් ලියකියවිලි සමග, අයැදුම්කරු දේශීය ආදායම් දෙපාර්තමේන්තුව හරහා ලබා ගාත් බදු ලියාපදිංචිය පිළිබඳ සාක්ෂි සහිත ලේඛනයක් ඉදිරිපත් කළ යුතු ය.

ප්‍රධාන අයැදුම්කරුගෙන් වසරකට ඇමෙරිකානු ඩොලර් 500ක්, කලත්‍රයාගෙන් වසරකට ඇමෙරිකානු ඩොලර් 500ක් මෙන් ම එක් එක් යැපෙන්නන්ගෙන් වසරකට ඇමෙරිකානු ඩොලර් 500ක් අය කරන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පැවසීය.

වීසාලාභීන්ට ලැබෙන ප්‍රතිලාභ මොනවා ද?

වීසාලාභීන්ට ශ්‍රී ලංකාවේ මාස 12ක් දක්වා නීත්‍යනුකූලව පදිංචිව සිටීමට අවසර ලැබෙන අතර එය වාර්ෂිකව අලුත් කළ හැකි ය.

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට අනුව ඔවුන්ට ශ්‍රී ලංකාව තුළ පෞද්ගලික බැංකු ගිණුම් විවෘත කර පවත්වාගෙන යාමට අවස්ථාව ලැබෙන බව ය.

දේපළ කුලියට ලබා ගැනීමේ හෝ කල්බදු ගිවිසුම්වලට එළඹීම අවස්ථාව ද මෙම වීසා ලාභීන්ට හිමි වේ.

ඊට අමතරව තමන්ගෙන් යැපෙන දරුවන් ජාත්‍යන්තර හෝ පෞද්ගලික පාසල්වලට ඇතුළත් කිරීමට මෙන් ම මෙරට විදුලි සංදේශ, අන්තර්ජාල සහ උපයෝගිතා සේවාවන් වෙත ප්‍රවේශ වීමට ඔවුන්ට අවස්ථාව ලැබේ.

රජයේ හෝ පෞද්ගලික අංශයේ ආයතන විසින් සංවිධානය කරනු ලබන සහයෝගීව වැඩ කිරීමේ අවකාශ (co-working spaces) භාවිත කිරීම, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ වැඩසටහන් සහ සංචාරක ආශ්‍රිත උත්සවවලට සහභාගී වීමට ද මෙම වීසා ලාභීන්ට ඉඩ ලැබෙන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පැවසීය.

නියමයන් සහ කොන්දේසි මොනවා ද?

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

අයැදුම්කරු ශ්‍රී ලංකාවේ සියලු ම ආගමන නීති, බදු සහ නීතිමය බැඳීම්වලට අනුකූලව කටයුතු කළ යුතු අතර ඔවුන්ට ශ්‍රී ලංකාව තුළ දේශීය රැකියාවල නිරත වීමට අවසර නැති අතර සියලු ම ආදායම් විදේශ මූලාශ්‍රවලින් උපයා ගත යුතු ය.

එමෙන් ම අයැදුම්කරුවන් කිසිදු දේශපාලන හෝ කඩාකප්පල්කාරී ක්‍රියාවකට සම්බන්ධ නොවිය යුතු ය.

ඊට අමතරව රැකියාවේ, ආදායමේ හෝ යැපෙන්නන්ගේ සිදුවන ඕනෑ ම වෙනස්කමක් දින 30ක් ඇතුළත ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට දැනුම් දිය යුතු ය.

ඕනෑ ම ආකාරයක වීසා කොන්දේසි උල්ලංඝනය කිරීමක් වීසා බලපත්‍රය වහා අවලංගු කිරීමට හේතු විය හැකි බව ද ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පැවසීය.

වීසා බලපත්‍රය වලංගු කාලය අවසන් කිරීම ආකරන් දෙකකින් සිදුකළ හැකි බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

ඉල්ලීමක් කරමින් තම වීසා බලපත්‍රය අවලංගු කළ හැකි අතර ඒ සඳහා වීසා බලපත්‍ර ලාභියා මාස දෙකකට පෙර ලිඛිතව ඒ බව දැනුම් දිය යුතු ය. එමෙන් ම ශ්‍රී ලංකාවෙන් ස්ථිරව ම පිටව යන්නේ නම් වැඩ කරන දින 14කට පෙර ඒ බව බලධාරීන්ට දැනුම් දිය යුතු ය.

දෙවනුව, දෙපාර්තමේන්තුව මගින් වීසා බලපත්‍රය අවලංගු කළ හැකි වේ.

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පැවසුවේ, ආදායම්, නෛතික හෝ අනුකූලතා අවශ්‍යතා සපුරාලීමට අපොහොසත් වීම හේතුවෙන් දෙපාර්තමේන්තුවට විසා බලපත්‍රයේ වලංගුභාවය අවසන් කළ හැකි බව ය.

ඊට අමතරව අයැදුම්කරු නීතිමය හෝ ජාතික ආරක්ෂාවට අවදානමක් ඇති කරන බවට දෙපාර්තමේන්තුව විසින් තීරණය කරනු ලබන්නේ නම් එවැනි අවස්ථාවලදී ද දෙපාර්තමේන්තුවට විසා බලපත්‍රයේ වලංගුභාවය අවසන් කළ හැකි ය.

'සිලිකන් වැලී වගේ ගෝලීය තාක්ෂණික විශේෂඥයින් ලංකාවට එනවා'

ශ්‍රී ලංකාව ඩිජිටල් ආර්ථිකයක් කරා ගෙන යන ඉලක්කයේ සේවා අංශයේ වර්ධනය මෙමගින් අපේක්ෂා කරන බව ඩිජිටල් නෝමෑඩ් වීසා කාණ්ඩය හඳුන්වා දීම සම්බන්ධයෙන් බීබීසී සිංහල කළ විමසීමකදී කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ පැවසීය.

මෙය ඩිජිටල් කර්මාන්තය තුළ සිටින විශේෂඥයින් රට තුළට ගෙන ඒමට උපකාරී වන බවත්, එමගින් රටේ ඩිජිටල් පරිසර පද්ධතිය ශක්තිමත් වන බවත් ඔහු පෙන්වා දුන්නේ ය.

ඉන් ඔබ්බට යමින් රටේ සංචාරක කර්මාන්තයට ද මින් වාසි සැලසෙන බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

"එක පැත්තකින් ටුවරිසම් කැටගරි එකක් හැදෙනවා. ඒ කියන්නේ රස්සාව කරන ගමන් ඒ අයට ඇවිදින්න අවස්ථාවක් උදා වෙනවා මේකෙන්. අනෙක් පැත්තෙන් අපේ ඩිජිටල් ස්ටාට්-අප් ඊකෝ-සිස්ටම් එකට අර සිලිකන් වැලී වගේ ගෝලීය තාක්ෂණික විශේෂඥයින් ලංකාවට එනවා. ඒකෙන් ඒ ජාලය වර්ධනය වෙනවා. සම්බන්ධතා හැදෙනවා," ඔහු පැහැදිලි කළේ ය.

ශ්‍රී ලංකාව තුළ පවතින ඩිජිටල් යටිතල පහසුකම් ප්‍රමාණවත් ද?

සමාජ මාධ්‍ය තුළ පරිශීලකයින් ප්‍රශ්න කරන පරිදි, රට තුළ පවතින ඩිජිටල් යටිතල පහසුකම් මෙම විදේශිකයින්ට අඛණ්ඩ සේවාවක් සැපයීමට ප්‍රමාණවත් ද? යන්න පිළිබඳව ද බීබීසීය නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහගෙන් විමසීය.

"ඊයේ පෙරේදා ඩිජිටල් අමාත්‍යංශයේ පාර්ලිමේන්තු කාරක සභාව තිබුණා. ඒකෙදි ඩිජිටල් අමාත්‍යංශය පැහැදිලිව ඉදිරිපත් කළා 2029 වෙද්දී ලංකාවට සම්පූර්ණයෙන් බ්‍රෝඩ්බෑන්ඩ් කවරේජ් එක ගේන හැටි."

ඔහු පැවසුවේ එය වාර්ෂිකව 30%කින් පමණ වර්ධනය කිරීමේ සැලැස්මක් අනුව සිදුවන බව ය.

එම ක්‍රියාවලියේදී සංචාරක ප්‍රදේශ සහ පාසල් මුල් තැන ලබා දිය යුතු ස්ථාන ලෙස හඳුනාගෙන ඇති බව ද ඔහු පැවසීය.

"2029 වෙද්දී ලංකාවේ බ්‍රෝඩ්බෑන්ඩ් කවරේජ් එක 100%ක් කරන්න තමයි සැලසුම් කරන්නේ. ඊට අමතරව Starlink වගේ තාක්ෂණයක් තියෙන නිසා මේක ගැටලුවක් වෙන එකක් නැහැ," නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.