මධුෂ්ක හා අසලංකගේ විශිෂ්ට පිති හරඹයෙන් ශ්‍රී ලංකාවට ජය

ඉතිහාසයේ පළමු වතාවට විස්සයි-20 තරගාවලියකදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පරාජය කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ එක්දින තරගාවලියට සාර්ථක ආරම්භයක් ලබා ගනිමින් පළමු තරගයේදීම බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පරදා ජය ලැබීමට සමත්වූහ.

මෙම ජයත් සමග තරග තුනකින් යුත් තරගාවලිය තරග 1-0ක් ලෙස ශ්‍රී ලංකාව පෙරමුණ ගත්තේය.

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී තරගය පැවැත්වුණේ දිවා රාත්‍රී තරගයක් ලෙස ය.

කාසියේ වාසිය දිනු බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.

ඒ අනුව ඔවුන් පන්දුවාර 38යි පන්දු 3කදී කඩුලු 4ක් දැවී ලකුණු 185ක් රැස්කරගෙන සිටියදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල විය.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් අගනා ඉනිමක් ක්‍රීඩා කළ ෂෙර්ෆීන් රදර්ෆර්ඩ් නොදැවී ලකුණු 74ක් රැස් කළේය.

පැය දෙකකට වැඩි කාලයක් වර්ෂාව ඇදහැළීම හේතුවෙන් DLS ක්‍රමය අනුව තරගයේ පන්දුවාර සංඛ්‍යාව අඩුකර ශ්‍රී ලංකාවට පන්දුවට පහරදීමේ අවස්ථාව ලබා දුන්නේය.

ඒ අනුව, ශ්‍රී ලංකාවට පන්දුවාර 37කදී ලකුණු 232ක ඉලක්කයක් හිමිවූ අතර, එම ඉලක්කය කඩුලු 5ක් දැවී තිබියදී තරගයේ 32(31.5) වැනි පන්දුවාරයේදී පසුකර යාමට ශ්‍රී ලංකාව සමත් විය.

ශ්‍රී ලංකාවට ජය ගෙනා විශිෂ්ට පිතිකරණ සබඳතාව

ශ්‍රී ලංකාව වෙනුවෙනුවෙන් විශිෂ්ට පිතිහරඹයක නිරත වූ නායක චරිත් අසංලක (77) හා සිය පළමු එක්දින ජාත්‍යන්තර තරගයට ක්‍රීඩාකල නිශාන් මධුෂ්ක (69) අර්ධ ශතක රැස්කිරීමට සමත් වූහ.

ඔවුන් දෙදෙනා ලකුණු 45කට කඩුලු 3ක් බිඳවැටී තිබූ ශ්‍රී ලංකා ඉනිම ලකුණු 182ක් දක්වා සාර්ථකව ඉදිරියට රැගෙන යාමට කටයුතු කළහ.

එහිදී 5වැනි කඩුල්ල වෙනුවෙන් ඔවුන් දෙදෙනා පන්දු 109කින් ලකුණු 137ක් රැස්කිරීමට සමත් වූහ.

පළමු තරගයේදී පළමු අර්ධ ශතකය රැස් කළ මධුෂ්ක

මෙම තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ සිදුවු ප්‍රධානම වෙනස වුයේ ආරම්භ පිතිකරු පැතුම් නිස්සංක විවේක ගන්වා තිබීමය.

ඒ වෙනුවට නිශාන් මදුෂ්ක (ඔක්තෝබර් 20) එක්දින ක්‍රිකට් තරග වරම් ලබා ගත්තේය.

කුළුදුල් තරගයේදී අමතක නොවන ඉනිමක් ක්‍රීඩා කළ නිශාන් මදුෂ්ක පළමු තරගයේදීම සිය පළමු අර්ධ ශතකය වාර්තා කිරීමට සමත්විය.

ආරම්භක ප්‍රතිකරුවෙකු ලෙස අවිශ්ක ප්‍රනාන්දු සමග පිටියට පිවිසි නිශාන් මදුෂ්ක මුල් කඩුලු 3 ඉක්මනින්ම බිඳ වැටීමෙන් පසු ඇතිවු පීඩනය දරා ගනිමින් සිය ඉනිම ගොඩ නැගීමට සමත්විය.

නායක චරිත් අසලංක සමග වටිනා සබඳතාවක් ගොඩනැගූ ඔහු පන්දු 54කදී ලකුණු 69ක් රැස් කිරීමට සමත්විය.

“ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට පැමිණීම කියන්නේ වැදගත් දෙයක්. හොඳ ශ්‍රේණිගත කිරීම්වල ඉන්න නම් අපි නිතරම තරග ජයග්‍රහණය කළ යුතුයි“ යැයි තරග 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියට පෙර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා නායක චරිත් අසලංක සඳහන් කර සිටියේය.

“ඇත්තටම දඹුල්ලේ තරගාවලිය ජයග්‍රහණය කිරීම අපිට හොඳ මානසික ශක්තියක්. ජයග්‍රාහී හැඟීමක් අත්‍යවශ්‍යයි. අනෙක වඩාත් වැදගත් වන්නේ අපි විස්සයි-20 තරගාවලියේ පසුපසින් ඉඳලා ඇවිදින් තරගාවලිය ජයග්‍රහණය කිරීම“ යැයි අසලංක සඳහන් කර සිටියේය.

“අපි අපේ ශක්තියෙන් තරග දිනන්නේ කොහොමද කියලත් බලන්න වෙනවා. මොකද අපි වෙන රටවලට ගියාම එයාලා සකස් කරන තණතීරු මත ක්‍රීඩා කරන්නයි අපිට වෙන්නේ. ඒ නිසා ශ්‍රී ලංකාවේදී ක්‍රීඩා කරනකොට අපේ ශක්තිය ප්‍රයෝජනයට ගන්න එක සාමාන්‍ය දෙයක්“ යැයි ද චරිත් සඳහන් කර සිටියේය.

මේ අතර පළමු තරගය පිළිබඳව අදහස් දක්වමින් කොදෙව් නායක ෂායි හෝප් සඳහන් කර සිටියේ ශ්‍රී ලංකාවට පැමිණ තරග කිරීමේදී ඔවුන් සතු ප්‍රබලම දඟ පන්දුවේ අභියෝගයට තම කණ්ඩායමට මුහුණ දීමට සිදුවනු ඇති බවයි. “දඟ පන්දුව සුවිශේෂී භූමිකාවක් ඉටු කරනවා යන අපේක්ෂාව සාමාන්‍ය දෙයක්. සිදුවන්නට යන දේ ගැන ඕනෑවට වඩා කළින් තීරණය කරලා ඔවුන් එක්ක තරග කරන්න බෑ“ යැයි හොප් සඳහන් කර සිටියේය.

චරිත් අසලංක ලකුණු 2000 පසු කරයි

අද තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක චරිත් අසලංක එක්දින තරගවලදී ලකුණු 2000 සීමාව පසු කිරීමට සමත් විය.

ඔහු එම සමත්කම දක්වනු ලැබුවේ ඉනිම 55කදීය.

පල්ලේකැලේ ක්‍රීඩංගණයේදීම මීට පෙර ලකුණු 2000 සීමාව පසු කරනු ලැබුවේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන පැතුම් නිස්සංක ය.

අද තරගයේදී චරිත් අසලංක පන්දු 44කට මුහුණ දෙමින් සිය අර්ධ ශතකය රැසක් කර ගනු ලැබීය.

නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ චරිත් අසලංක පන්දු 71කදී ලකුණු 77ක් රැස් කිරීමට සමත් විය.

තරගයේ වීරයා ලෙස චරිත් අසංලක සම්මාන දිනාගත්තේය.