ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
දෙවසරකට පසුව කණ්ඩායමට පැමිණ ශ්‍රී ලංකා පන්දු යවන්නන් අසරණ කළ කොදෙව් පිතිකරු
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඊයේ (ඔක්:13) ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පැවති පළමු පන්දුවාර විස්සයි 20 තරගය කඩුලු 05කින් ජයග්‍රහණය කිරීමට සමත් විය.
තරග 03කින් සමන්විත විස්සයි 20 තරගාවලිය සඳහා මෙරටට පැමිණි කොදෙව් කණ්ඩායමේ පළපුරුදු ක්‍රීඩකයින් කිහිප දෙනෙක් ඊයේ තරගය සඳහා කණ්ඩායමට ඇතුළත් කර නොසිටියහ.
එසේ වුවත් ශ්‍රී ලංකා කණ්ඩායම ලබාදුන් ලකුණු 180ක ඉලක්කය හඹා යැමේදී කොදෙව් පිතිකරුවන් වනිදු හසරංග ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට එරෙහිව කිසිදු චකිතයක් නොමැතිව පන්දුවට පහර දෙන අයුරු දක්නට ලැබුණි.
කොදෙව් කණ්ඩායමට ඇතුළත් නොවන ප්‍රබලයින් කවුද ?
ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන විස්සයි 20 තරගාවලිය සඳහා සහභාගි වන කණ්ඩායමට ප්‍රබල කොදෙව් ක්‍රීඩකයින් කිහිප දෙනෙකු ඇතුළත් නොවන බව එරට ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කළේය.
නිකොලස් පූරාන් සහ ශිම්රෝන් හෙට්මයාර් මෙවර ශ්‍රී ලංකා තරගාවලියට එක් නොවුණු ප්‍රවේගකාරී කොදෙව් පිතිකරුවන් යුගලයකි.
එමෙන්ම තුන් ඉරියවු ක්‍රීඩක ඇන්ඩ්‍රේ රසල් සහ දඟ පන්දු ක්‍රීඩක අකීල් හුසේන් ද ශ්‍රී ලංකා සංචාරයට එක් නොවන අනෙක් ප්‍රබල ක්‍රීඩකයින් වෙයි.
ප්‍රබල ක්‍රීඩකයින් සිව්දෙනෙකු නොමැතිව ශ්‍රී ලංකාවට පැමිණි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයින් ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රීඩා කළ පළමු විස්සයි 20 තරගයේ ලකුණු හඹා යෑමේදී ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට එරෙහිව කිසිදු චකිතයකින් තොරව සිය පිත්ත හසුරුවන ආකාරය දක්නට ලැබුණි.
දෙවසරකට පසුව පිටියට පැමිණි ආරම්භක පිතිකරුවා
ශ්‍රී ලංකාවට එරෙහිව ඊයේ (ඔක්:13) පැවති තරගයේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ආරම්භක පිතිකරු යුගලය වූ බ්‍රැන්ඩන් කිංග් සහ එවින් ලුවිස් පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 107ක් රැස් කිරීමට සමත් වූහ.
පන්දු 28 කදී හයේ පහරවල් 04ක් සහ හතරේ පහරවල් 05ක් සමගින් ලකුණු 50ක් රැස් කළ එවින් ලුවිස් ගේ විස්සයි 20 තරගවල පිතිකරණ ප්‍රහාරාත්මක වේගය 152.72ක් වන අතර, අවසන් වරට ජාත්‍යන්තර විස්සයි 20 තරගයක් සඳහා ක්‍රීඩා කර තිබුනේ 2022 වසරේ පැවති T20 ලෝක කුසලාන තරගාවලියේදී වීම විශේෂත්වයකි.
එමෙන්ම පන්දු 33 කදී වේගවත් ලකුණු 63ක් රැස් කළ බ්‍රැන්ඩන් කිංග් පසුගිය සමයේදී ආබාධයකට ලක්වීමෙන් කණ්ඩායමෙන් ඉවත්ව සිටි ක්‍රීඩකයෙකු වන අතර ඔහුට ශ්‍රී ලංකා තරග සංචාරය සඳහා කැඳවීමක් ලැබී තිබුණේ තුන් ඉරියවු ක්‍රීඩක ඇන්ඩ්‍රේ රසල් පෞද්ගලික කරුණක් මත තරගාවලියෙන් ඉවත්වීම හේතුවෙන් ය. ඔහුගේ විස්සයි 20 තරගවල ලකුණු රැස්කිරීමේ ප්‍රහාරාත්මක වේගය 136.13ක් වේ.
එමෙන්ම කොදෙව් පිළේ මුල් පෙළ පිතිකරුවන් 06 දෙනා විස්සයි 20 තරගාවල පිතිකරණ ප්‍රහාරාත්මක වේගය 120.00 ට ඉහළින් සිටින ක්‍රීඩකයින් වීමද විශේෂත්වයකි.
ආරම්භක පිතිකරුවන් යුගලය ලබා දුන් සාර්ථක ආරම්භයෙන් අනතුරුව කොදෙව් කණ්ඩායමේ රෝස්ටන් චේස්, රෝව්මන් පවෙල්, රොමාරියෝ ෂෙපර්ඩ් ඇතුළු මුල් පෙළ පිතිකරුවන් ලකුණු 180ක ජයග්‍රාහි ඉලක්කය පන්දු ඕවර 19යි එක් පන්දුවකදී ළඟාවීමට සමත් විය.
'මේ තරගාවලිය අපේ හැකියාවන් උරගා බලන්න අවස්ථාවක්'
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරන හිටපු ක්‍රීඩක ඩැරන් සැමී ශ්‍රී ලංකා සංචාරය ආරම්භ කිරීමට පෙර පවසා සිටියේ ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන තරගාවලිය සිය ක්‍රීඩකයින්ගේ හැකියාවන් උරගා බැලීමේ අවස්ථාවක් බව .
"විශේෂයෙන් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් කිහිප දෙනෙකු විවිධ හේතූ මත විවේක ගැනීම සහ ආබාධවලට ලක්වීම නිසා ඒ අය පුනරුත්ථාපනයට ලක්වීම වෙමින් සිටිනවා."
"ශ්‍රී ලංකා සංචාරය අපගේ කණ්ඩායමේ හැකියාවන් ගැඹුරින් පරීක්ෂා කිරීමට වගේම විවිධ තත්ත්වයන් යටතේ ක්‍රීඩකයින්ගේ ක්‍රීඩා විලාසය ගැන තක්සේරු කිරීමට අවස්ථාවක් ලබා දෙනවා." ඩැරන් සැමී පැවසුවේය.
ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර දෙවන පන්දුවාර විස්සයි 20 තරගය හෙට (ඔක්:15) පැවැත්වීමට නියමිත ය.