ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ශ්‍රී ලංකාවට පැමිණ ඇති ඉන්දීය අගමැතිවරුන් සහ ඉන්දියා-ශ්‍රී ලංකා සුවිශේෂී රාජ්‍ය තාන්ත්‍රික ගිවිසුම්
- Author, බීබීසී සිංහල
ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි අප්‍රේල් 04 වන දා සිට 06 වන දා දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වෙයි. ඒ ඔහුගේ සිව් වන ශ්‍රී ලංකා සංචාරය යි.
සිය ධූර කාලය තුළ සිව්වරක් ශ්‍රී ලංකාවට පැමිණෙන පළමු ඉන්දීය අග්‍රමාත්‍යවරයා වන්නේ අගමැති මෝදි ය.
සිය තායිලන්ත සංචාරයෙන් අනතුරුව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇත.
මෙවර ඔහු මෙරට සංචාරය කරන්නේ, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආරාධනයකට අනුව ය.
මෙම සංචාරයේදී, අග්‍රාමාත්‍යවරයා ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත ය.
ජනාධිපති අනුර කුමාර දිසානායක ධූරයට පත්වීමෙන් පසු සිය පළමු රාජ්‍ය සංචාරය ලෙස ඉන්දියාවට ගිය අතර, දෙවන සංචාරය ලෙස චීනයටත් තුන් වන සංචාරය ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍යයටත් ගියේ ය.
තම ඉන්දීය සංචාරය තුළදී මෙරට සංචාරයක් සඳහා පැමිණෙන ලෙස ජනාධිපතිවරයා ඉන්දීය අග්‍රමාත්‍යවරයාට ආරාධනා කර තිබිණි.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙවර තායිලන්තයේ සහ ශ්‍රී ලංකා සංචාරයේ නිරත වන්නේ, 'පළමුව අසල්වැසියා' සහ ඉන්දු-පැසිෆික් කලාපයේ දැක්ම කෙරෙහි ඇති සිය කැපවීම නැවත තහවුරු කරන ඉන්දියාවේ 'Act East' (ඇක්ට් ඊස්ට්) සහ 'Mahasagar' (මහාසාගර්) යන ප්‍රතිපත්තිවලට අනුකූලව ය.
ඉන්දු-ලංකා සබඳතා
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇත්තේ ඓතිහාසික බැඳීමකි. ශ්‍රී ලංකාවට බුදුදහම ලැබීමටත් පෙර සිට ම ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ආගමික හා සංස්කෘතිකමය වශයෙන් සබඳතා පැවති බව ඓතිහාසික මූලාශ්‍රවල සඳහන් වෙයි.
මෑත ඉතිහාසය පිළිබඳව සලකා බැලීමේදී 1960 දශකයේ සිට ගත් කල ගත වූ වසර 65ක කාලය තුළ ඉන්දීය අග්‍රමාත්‍යවරුන් 8 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.
ඒ අනුව, 1962 වසරේදී ඉන්දියාවේ පළමු අග්‍රාමාත්‍ය ශ්‍රී ජවහර්ලාල් නේරු ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර, 1973 ඉන්දිරා ගාන්ධි ද ශ්‍රී ලංකාවේ සංචාරය කර තිබිණි.
දිවංගත හිටපු අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක සහ ඉන්දීය හිටපු අග්‍රාමාත්‍ය ඉන්දිරා ගාන්ධි අතර ඉතා යහපත් සම්බන්ධතාවක් පැවති බවට ඉතිහාසය සාක්ෂි දරයි.
කච්චතිව් දූපතේ අයිතිය සම්බන්ධයෙන් පැවති ගැටලුව නිරාකරණය වූ ආකාරය ඊට කදිම නිදසුනකි.
එවකට මෙරට අග්‍රාමාත්‍ය ලෙස කටයුතු කළ සිරිමාවෝ බණ්ඩාරනායක හා ඉන්දීය අග්‍රාමාත්‍යවරියව සිටි ඉන්දිරා ගාන්ධි අතර 1974 ජූනි 26 වන දා අත්සන් කළ ගිවිසුමක් මගින් කච්චතීව් දූපතේ අයිතිය ශ්‍රී ලංකාවට හිමි විය.
1979 වර්ෂයේදී එවකට ඉන්දීය අග්‍රාමාත්‍ය මොරාජි දේසායි ශ්‍රී ලංකාවේ සංචාරය කළ අතර 1987දී ඉන්දීය අග්‍රමාත්‍ය රජීව් ගාන්ධි ශ්‍රී ලංකාවේ සංචාරය කළේ ය.
රජීව් ගාන්ධිගේ එම සංචාරය ඉතිහාස ගත වූයේ හමුදා උත්තමාචාර පෙළපාළියක් අතරතුර රජීව් ගාන්ධිට තුවක්කු බඳකින් පහර දීමේ සිද්ධිය හේතුවෙනි.
1991 - ශ්‍රී නරසිම්හ රාඕ - එවකට ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ පාලන සමය තුළ (6 වන සාක් රාජ්‍ය නායක සමුළුවට සහභාගි වීමට) ශ්‍රී ලංකාවට පැමිණි අතර, 1998 වසරේදී ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ පාලන සමය තුළ ඉන්දීය අග්‍රාමාත්‍ය අතල් බිහාරි වජ්පායි - (10 වන සාක් රාජ්‍ය නායක සමුළුවට සහභාගි වීමට) ශ්‍රී ලංකාවට පැමිණියේ ය.
2008 වසරේදී ඉන්දීය අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිං (15 වන සාක් රාජ්‍ය නායක සමුළුවට සහභාගි වීමට) ශ්‍රී ලංකාවට පැමිණියේ ය.
අනතුරුව රාජ්‍ය සංචාරයක් සඳහා ඉන්දීය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි ශ්‍රී ලංකාවට පැමිණියේ, 2015 වසරේදී ය.
මේ අතර, ඉන්දීය අග්‍රාමාත්‍යවරුන් හතර දෙනෙකු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අමතා තිබේ.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දත්තවලට අනුව ඉන්දියාවේ පළමු අග්‍රමාත්‍ය ශ්‍රී ජවහර්ලාල් නේරු, ඉන්දිරා ගාන්ධි, මොරාජි දේසායි සහ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අමතූහ.
දෙරට අතර ගිවිසුම්
නේරු - කොතලාවල ගිවිසුම - 1954
ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 8 වන වගන්තියට අනුව, ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරම්භ වූ දිනයේ (1950 ජනවාරි 26) ඉන්දියාවෙන් පිටත පදිංචිව සිටි ඉන්දීය සම්භවයක් ඇති පුද්ගලයින්ට ඉන්දියාවේ පුරවැසිභාවය ලබා ගැනීම සඳහා එම රටේ පිහිටි ඉන්දීය තානාපති කාර්යාලයේ ලියාපදිංචි විය යුතු විය.
කොළඹ සහ මහනුවර පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලවල එම ලියාපදිංචිය සිදු කරන ලදී. නමුත් එකල ලංකාවේ විසූ ඉන්දීය සම්භවයක් ඇති මිලියනයකට අධික ජනතාවකට පහසුකම් සැලසීමට මෙම සීමිත පහසුකම ප්‍රමාණවත් නොවී ය. අයැදුම්පත් ඉදිරිපත් කිරීම සඳහා කෙටි කාල සීමාවක් හේතුවෙන්, 1949 අංක 03 පනත යටතේ අයැදුම්පත් සඳහා නියමිත කාල සීමාව සපුරාලීමට අපොහොසත් වූ ඉන්දියානු සහ පකිස්ථාන සම්භවයක් ඇති බහුතරයකට විසඳුමක් සඳහා තවදුරටත් බලාපොරොත්තුවෙන් සිටීමට සිදු විය. මෙය විශාල ප්‍රශ්නයක් විය. ඉන්දියාවේ හෝ ලංකාවේ පුරවැසිභාවය නොමැතිව සැලකිය යුතු පිරිසක් තවදුරටත් ලංකාවේ රැඳී සිටියහ.
එම ගැටලුව විසඳීමේ අරමුණින් 1954 ඔක්තෝබර් 9 සහ 10 යන දිනවල නවදිල්ලි නුවරදී සමුළුවක් පැවැත්විණි. එම පුද්ගලයන් ලංකාවේ පුරවැසියන් ලෙස පිළිගන්නා තුරු ඉන්දියාවේ පුරවැසියන් ලෙස තවදුරටත් සිටින බව ලංකා නියෝජිත පිරිසගේ අදහස විය.
ලංකාවේ පදිංචි ඉන්දීය සම්භවයක් ඇති පුද්ගලයන්ට තමන් කැමති නම් ඉන්දියානු පුරවැසියන් ලෙස ලියාපදිංචි වීමට පහසුකම් සැලසීමට ඉන්දීය නියෝජිත පිරිස එකඟ විය. ලංකා දූත පිරිස එවකට අගමැති ශ්‍රීමත් ජෝන් කොතලාවල විසින් ද ඉන්දීය දූත පිරිස ඉන්දීය අග්‍රාමාත්‍ය ජවහර්ලාල් නේරු විසින් ද මෙහෙයවනු ලැබූහ. අග්‍රාමාත්‍යවරුන් දෙදෙනා ම 1954 ඔක්තෝබර් 10 වන දින නවදිල්ලියේදී ගිවිසුමට අත්සන් තැබූහ. මෙම ගිවිසුම නේරු - කොතලාවල ගිවිසුම ලෙස හැඳින්වේ. නමුත් එමගින් ගැටලුව සම්පූර්ණයෙන් විසඳුණේ නැත.
කච්චතිව් ගිවිසුම
අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක පාලන සමය තුළ ඉන්දියාව සමග ඉතා සමීප සබඳතා පැවති බව සාක්ෂි දරයි.
මෙරට අග්‍රාමාත්‍ය ලෙස කටයුතු කළ සිරිමාවෝ බණ්ඩාරනායක හා ඉන්දීය අග්‍රාමාත්‍යවරියව සිටි ඉන්දිරා ගාන්ධි අතර 1974 ජූනි 26 වන දා අත්සන් කළ ගිවිසුමක් මගින් කච්චතීව් දූපතේ අයිතිය ශ්‍රී ලංකාවට හිමි විය.
මන්නාරම් සමුද්‍ර සන්ධිය සහ බෙංගාල බොක්ක පිළිබඳ මුහුදු සීමා ගැන ඉන්දියානු අගමැතිනි ඉන්දිරා ගාන්ධි සමග එකඟත්වයකට පැමිණීම සිරිමාවෝ බණ්ඩාරනායකගේ මූලික මැදිහත් වීම නිසා සිදු විය. එක්සත් ජාතීන්ගේ සමුද්‍රීය නීති ගැන පැවති සාකච්ඡා සන්දර්භය තුළ ඉතා වැදගත් යයි සැලකෙන මෙම එකඟත්වන් ශ්‍රී ලංකාවට තම භෞමික ජලස්කන්ධ සහ මුහුදු පත්ලෙහි ඇති සම්පත් සඳහා අයිතිවාසිකම් ඉදිරිපත් කිරීමට සහය විය.
ඒ අනුව, 1976 මාර්තු 23 වන දා මන්නාරම් සමුද්‍ර සන්ධිය සහ බෙංගාල බොක්කේ සමුද්‍ර සීමාවන් වෙන් කිරීම සිදුවිය.
1976 වසරේ ඉන්දු - ලංකා නායකයින් අත්සන් කළ තවත් ගිවිසුමක් අනුව කච්චතීව් දූපත ආශ්‍රිතව මසුන් ඇල්ලීමට ඉන්දීය ධීවරයින්ට අවසරය අහිමි කෙරිණි.
සිරිමා - ශාස්ත්‍රී ගිවිසුම
නීති විරෝධී ලෙස ලංකාවට ඇතුළු වී මෙරට ජනයා සමග සම්මිශ්‍රණය වූ අය ද ඇතුළුව බ්‍රිතාන්‍ය පාලනය යටතේ නිදහසේ ලංකාවට ඇතුළු වූ ඉන්දියානුවන්ගේ සංඛ්‍යාව ලක්ෂ ගණනක් විය. මෙම ජාතික ගැටලුව වරින් වර බලයට පත් සෑම රජයක ම කනස්සල්ලට හේතු විය. ඊට පිළියමක් සොයා ගන්නා අරමුණින් ඉන්දීය රජයත් සමග වරින් වර සාකච්ඡා පවත්වන ලදී. ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී ලාල් බහදූර් ශාස්ත්‍රී සමග ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක 1964 දී පැවැත්වූ සාකච්ඡාවක ප්‍රතිඵලයක් වශයෙන් මෙම ගැටලුවට ඓතිහාසික විසඳුමකට එළඹිය හැකි වූ බව ආගමන විගමන දෙපර්තමේන්තුව සඳහන් කළේ ය.
ඒ අනුව, 1964 ඔක්තෝබර් මස 30 වන දින ඇති කර ගත් සිරිමා - ශාස්ත්‍රී ගිවිසුම නමින් ප්‍රකට "ඉන්දු - ලංකා සම්මුතිය" අනුව 1964.10.30 දිනට ස්වාභාවික වැඩිවීම් ද සමග ශ්‍රී ලංකාවේ සිටි රටක් නැති පුද්ගලයන්ගේ සංඛ්‍යාව 975,000ක් යයි ඇස්තමේන්තු කර තිබිණි.
එයින් පුද්ගලයන් 300,000කට ශ්‍රී ලංකා පුරවැසිභාවය ද, 525,000කට ඉන්දීය පුරවැසිභාවය ද, පිරිනැමීමට ද්විපාක්ෂික එකඟතාවකට එළඹිණි.
ඉතිරි පුද්ගලයින් 150,000 රටවල් දෙක අතර බෙදා ගැනීමට එකඟ වෙමින් 1974 දී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියත් ඉන්දියානු අග්‍රාමාත්‍ය ඉන්දිරා ගාන්ධි මැතිනියත් අතර ගිවිසුමක් අත්සන් කරනු ලැබිණි. ඉන් ලංකාවට අදාළ සංඛ්‍යාව 375,000ක් වශයෙනුත් ඉන්දියාවට අදාළ සංඛ්‍යාව 600,000 වශයෙනුත් වෙනස් කරනු ලැබිණි.
1987 ඉන්දු - ලංකා ගිවිසුම
ඉන්දීය අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි 1987 ජූලි 29 වන දා ඉන්දු- ලංකා ගිවිසුමට අත්සන් තැබීය. ජේ.ආර්. ජයවර්ධන පාලන සමය තුළ ගිවිසුමට අත්සන් තැබුණේ රට තුළ පැවති විරෝධතා මධ්‍යයේ ය.
කළු ජූලිය ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයේ තීරණාත්මක කඩඉමක් වූ බව පිළිගැනෙන අතර, LTTE සංවිධානය මධ්‍යස්ථ සහ සටන්කාමී සියලු දේශපාලන පක්ෂ සහ සංවිධාන මත නිල නොවන තහංචියක් ප්‍රකාශයට පත්කරමින් ඔවුන් මත මර්දනය මුදාහරින ලද පරිසරයක් තුළ අමිර්තලිංගම්, සිවසිත්තම්පරම් සහ සම්බන්ධන් වැනි මධ්‍යස්ථ දමිළ නායකයන්ට ද ජීවිතාරක්ෂාව පතා ඉන්දියාවට සංක්‍රමණය වීමට සිදුවිය.
ඉන්දියාවේ ගත කරන ලද කාලය තුළ අමිර්තලිංගම් සහ සම්බන්ධන් වැනි නායකයන්ගේ ප්‍රයත්නය වූයේ උත්සන්න වෙමින් පැවති යුදමය වාතාවරණය නිමකොට ශ්‍රී ලංකාවේ දමිළ ජාතික ගැටලුවට ඉන්දියාවේ සහයෝගය ඇතිව සාමකාමී විසඳුමක් ලබා ගැනීමය.
මේ අතර අගමැති රජිව් ගාන්ධි සහ ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන විසින් අත්සන් කරන ලද ඉන්දු-ලංකා ගිවිසුමත් සමග ආරම්භ වූ සටන් විරාමය සහ LTTE සංවිධානය විසින් සංකේතාත්මකව ඔවුන් සතු අවිආයුධ භාරදෙනු ලැබීමත් සමග රටින් පිටව සිටි දමිළ නායකයන් ආපසු සියරටට පැමිණීම ආරම්භ විය.
ඉන්දු-ලංකා ගිවිසුම යටතේ ශ්‍රී ලංකාවට ඉන්දීය සාම සාධක හමුදා කැඳවනු ලැබීම සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය මගින් පළාත් සභා ක්‍රමය හඳුන්වා දෙනු ලැබීය.
අගමැති මෝදිගේ පාලන සමය
මෑතකාලීනව ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සබඳතා 'පළමුව අසල්වැසියා' යන ප්‍රතිපත්තියට අනුව කටයුතු කරන අග්‍රාමාත්‍ය මෝදිගේ පාලන සමය තුළ ඉහළ නැංවී තිබේ.
කොවිඩ් වසංගත සමයේදී ශ්‍රී ලංකාවට අවශ්‍ය එන්නත් පළමුව ප්‍රදානය කරමින් ඉන්දියාව එම භූමිකාව නිරූපණය කළේ ය.
අනතුරුව 2022 වසරේදී ශ්‍රී ලංකාව ඉතිහාසයේ මුහුණ දුන් පෙර නොවූ විරූ ආර්ථික අර්බුදය හමුවේ ඉන්දියාව ශ්‍රී ලංකාවට අවශ්‍ය ඉන්ධන, ඖෂධ හා ආහාර ද්‍රව්‍ය ලබා ගැනීම සඳහා ඉන්දියාව ඩොලර් බිලියන 4කට ආසන්න ආධාර මෙරටට පරිත්‍යාග කළේ ය.
ආර්ථික අර්බුදය මධ්‍යයේ, 2023 මැයි මස ශ්‍රී ලංකා සහ ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතාවලට වසර 75ක් පිරීම නිමිත්තෙන් නව දිල්ලි නුවරදී පැවතී උත්සවයකදී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් ප්‍රකාශ කර තිබුණේ, "ලේ ජලයට වඩා ඝනකමයි" යන කාරණය නිසා, දුෂ්කර කාලවලදී ශ්‍රී ලංකාව සමග සහයෝගයෙන් කටයුතු කිරීම ඉන්දියාවට ස්වාභාවික දෙයක් වන බව ය.
"ලේ වතුරට වඩා ඝනයි. මේ ඉතා දුෂ්කර අවස්ථාවේදී ඉන්දියාව ශ්‍රී ලංකාව සමග සහයෝගයෙන් කටයුතු කිරීම ස්වාභාවික යි," ජයිශංකර් එහිදී පැවසීය.
පාස්කු ප්‍රහාරයෙන් පසු පැමිණි පළමු රාජ්‍ය නායකයා
2019 අප්‍රේල් 21 වන දා පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු ශ්‍රී ලංකාවට පැමිණි පළමු රාජ්‍ය නායකයා වූයේ අගමැති මෝදි ය.
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් දිවයිනට පැමිණී අසල්වැසි රාජ්‍ය නායකයා පිළිගැනීමේ අවස්ථාවට එවකට අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු මැති ඇමතිවරුන් ගණනාවක් සහභාගි වූහ.
ඉන් අනතුරුව දැඩි ආරක්ෂක රැකවරණ මැද, කොළඹ නගරයට ළඟා වූ ඉන්දීය අගමැතිවරයා, එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පිළිගනු ලැබිණි.
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අනතුරුව බොහෝ රටවල් තම පුරවැසියන්ට ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම පිළිබඳ උපදෙස් ප්‍රකාශයට පත්කර තිබූ පසුබිමක ඉන්දීය අගමැතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරය විශේෂ වැදගත්කමක් දැරී ය.
ඉන්දීය මහ මැතිවරණයෙන් දෙවන වරටත් ලද ජයග්‍රහණයෙන් පසු අගමැති නරේන්ද්‍ර මෝදි ඉන් අනතුරුව කළ පළමු විදේශ සංචාරයේ කොටසක් ලෙස ශ්‍රී ලංකාවට පැමිණියේ ය.
2017 ජාත්‍යන්තර වෙසක් උත්සවයේ ප්‍රධාන ආරාධිතයා
ඉන්දීය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි 2017 වසරේ ශ්‍රී ලංකාවට පැමිණියේ ජාත්‍යන්තර වෙසක් දින උලෙළට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා රජය කළ ආරාධනාවකට අනුව ය.
එක්සත් ජාතීන්ගේ 14 වන ජාත්‍යන්තර වෙසක් දින සැමරුම් උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූ ඔහු එහිදී ප්‍රධාන දේශනය පැවැත්වීය.
ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පවත්නා සමීපතම සබඳතාව බුදු දහම බව මෙහිදී පැවසූ ඉන්දීය අග්‍රමාත්‍යවරයා ඉන්දීය රජයේත්, සමාජයේත් අත්‍යාවශ්‍ය ම අංගයක් බවට බුදු දහම පත්ව තිබෙන බවත්, එය සමාජ උන්නතිය සඳහා උපයෝගී වන බවත් එහිදී කියා සිටියේ ය.
ඉන්දීය අගමැතිවරයෙකු වතුකරයේ සංචාරයකට එක් වන ප්‍රථම අවස්ථාව ද මෙම සංචාරය තුළදී සනිටුහන් විය.
හැටන්, නෝර්වුඩ් ප්‍රදේශයේ සංචාරයක කළ ඉන්දීය අග්‍රමාත්‍යවරයා ඉන්දීය රජයේ ආධාර මත ඉදි කෙරුණු දික්ඔය රෝහලේ නව ගොඩනැගිලි සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට ද එක්විය.
එමෙන් ම, ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙම සංචාරයේදී මහනුවර ශ්‍රී දළදා මාලිගාව ද වැඳ පුදා ගත්තේ ය.
නරේන්ද්‍ර මෝදිගේ පළමු ශ්‍රී ලංකා සංචාරය සුවිශේෂී වන්නේ ඇයි?
ඉන්දියාවේ අගමැති පදවියට පත්වීමෙන් අනතුරුව 2015 වසරේදී ඔහු පළමු වරට ශ්‍රී ලංකාවට පැමිණියේ ය.
ඊට පෙර ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා ඉන්දීය අග්‍රමාත්‍යවරයෙකු දිවයිනට පැමිණ තිබුණේ, වසර 28කට පමණ පෙර ය.
1987 වසරේදී රජීව් ගාන්ධිට එල්ල වූ ප්‍රහාරයෙන් පසු, ඉන්දීය නායකයින්ගේ ශ්‍රී ලංකා සංචාරයන් සීමා වූ අතර, 2008 වසරේදී මන්මෝහන් සිං අග්‍රමාත්‍යවරයා දිවයිනට පැමිණියේ සාක් රාජ්‍ය නායක සමුළුවට සහභාගි වීම සඳහා පමණකි.
2015 වසරේ ශ්‍රී ලංකාවේ සංචාරය කළ ඉන්දීය අග්‍රමාත්‍යවරයා අනුරාධපුර ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ ද වැඳපුදා ගත්තේ ය.
එමෙන් ම, ඔහුගේ 2015 සංචාරය ඉතිහාසයට එක්වූයේ ඉන්දීය අග්‍රාමාත්‍යවරයෙකු යාපනයේ සංචාරය කළ පළමු අවස්ථාව ලෙසට ය.
2015 මාර්තු 14 වන දින ඔහු යාපනයේ අවතැන් වූ දෙමළ ජනතාවට ඉන්දියානු අරමුදල්වලින් ඉදිකළ නිවාස භාර දීමේ උත්සවයට සහභාගී වූයේ, උතුරු පළාතේ එවකට මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් සමගිනි.
2015 මාර්තු 14 වන දින නරේන්ද්‍ර මෝදි යාපනයට පැමිණියේ, යුද්ධයෙන් විනාශ වූ උතුරු පළාතේ හදවත බඳු යාපනය නගරයට ගිය පළමු ඉන්දීය අගමැතිවරයා බවට පත් වෙමිනි.
අගමැති මෝදිගේ මෙවර ශ්‍රී ලංකා සංචාරය
මෙවර ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආරාධනය අනුව අප්‍රේල් 04 වන දා පස්වරුවේ දිවයිනට පැමිණෙන ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පිළිගැනීමේ නිල උත්සවය අප්‍රේල් 05 වන දා කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේදී පැවැත්වෙනු ඇත.
අග්‍රාමාත්‍ය මෝදිගේ සංචාරය අතරතුරදී දෙරට අතර අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුම් ගණනාවක් ද හුවමාරු කර ගැනීමට නියමිත ය.
ඒ අනුව, ඉදිරි දිනවලදී දෙරට අතර ආරක්ෂක සහයෝගීතාව, සෞඛ්‍ය සහයෝගීතාව, ඩිජිටල්කරණ සහයෝගීතාව පිළිබඳ ගිවිසුම්වලට සහ බලශක්ති සහයෝගීතාවට අදාළ ගිවිසුම් දෙකකට අත්සන් කිරීමට නියමිත ය. එමෙන් ම, දෙරට අතර දැනටමත් අත්සන් කර ඇති ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ ගිවිසුම් ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ සංචාරය අතරතුර හුවමාරු කර ගැනීමට නියමිත ය.
ඉන්දීය රජයේ සහය ඇතිව ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘති කිහිපයක් ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා විසින් විවෘත කරනු ලබනු ඇත.
සාම්පූර්හි ඉදිකෙරෙන සූර්ය බලශක්ති ව්‍යාපෘතියේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ උත්සවයට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා කොළඹ සිට ඔන්ලයින් ඔස්සේ එක් වනු ඇත.
ශ්‍රී ලංකාවේ රැඳී සිටින කාලය තුළ, ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අනුරාධපුරයට ගොස් ශ්‍රී මහා බෝධිය වැඳ පුදා ගැනීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ ය.
ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි සමග ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා, ජාතික ආරක්ෂක උපදේශකවරයා, විදේශ කටයුතු ලේකම්වරයා සහ ඉන්දීය රජයේ තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මෙම සංචාරයට එක් වනු ඇත.