ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ශ්‍රී ලංකාවට හිමි වූ විදෙස් ප්‍රදාන: පසුගිය දශක පහ තුළ වැඩිම ප්‍රදාන ජපානයෙන් සහ එක්සත් ජාතීන්ගෙන්
තවමත් දියුණු වෙමින් පවතින තුන්වන ලෝකයේ රටක් වන ශ්‍රී ලංකාව නිදහසින් පසු මේ දක්වා ම ජාත්‍යන්තරයෙන් ලැබෙන ප්‍රදානයන් මත යැපී තිබේ.
2025 වසරේ යෝජිත අයවැය සඳහා ද රු. බිලියන 30ක් අපේක්ෂා කරයි.
USAID ආයතනයේ අරමුදල් අත්හිටුවීමත් සමග මෙම විදේශ අරමුදල් ලබා දී විවිධ අරමුණු එම ප්‍රදානයන් ලබා දුන් පාර්ශවයන් විසින් මුදුන් පමුණුවා ගැනීමට කටයුතු කළ බවට විවිධ පාර්ශවයන්ගේ අදහස් රැසක් පසුගිය කාලයේ පල විය.
නමුත් පසුගිය දශක කිහිපයක දත්ත විමසා බැලීමේදී ශ්‍රී ලංකාවේ මහා පරිමාණ ව්‍යාපෘති ගණනාවක්ම සිදුකෙරී ඇත්තේ විදේශ රටවල් හෝ විදේශ සංවිධානවල අරමුදල් මත ය.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පර්යේෂණ ආයතනයක් වන වෙරිටේ රිසර්ච් ආයතනය විසින් සිදු කළ අධ්‍යනයක දත්ත එම වෙබ් අඩවියේ පල කර තිබෙන අතර, එහි මූලාශ්‍රය වී ඇත්තේ ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍යංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුව වේ.
එම අධ්‍යනයේදී 1973 සිට 2023 දක්වා දශක පහක කාලය තුළ ශ්‍රී ලංකාවට ලැබී ඇති ප්‍රදානයන් විශ්ලේෂණය කර තිබේ.
එම දත්ත මූලාශ්‍ර උපයෝගී කරගනිමින් මෙම ලිපිය සම්පාදනය කොට තිබේ.
පසුගිය දශක පහේ ලැබුණු මුළු ප්‍රදානයන් ඇ. ඩො. බිලියන 8.9ක්
වෙරිටේ රිසර්ච් ආයතනය විසින් ප්‍රදානයන් 2,237ක් විශ්ලේෂණය කර ඇති අතර, එම ප්‍රදනයන්ගේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 8.9ක් ලෙස ගණනය කර තිබේ.
ඒ ප්‍රදානයන් ලෙස 1973-2023 කාලයේ ලැබී ඇති සමස්ත මුදලයි.
එම අගය ලෝක බැංකුවට අනුව 2023 වසරේ උද්ධමනයේ බලපෑමට අනුව වටිනාකම ගණනය කර වර්තමාන වටිනාකමට සැසඳූ විට ඇ.ඩො. මිලියන 15,612ක් එනම් ඇ.ඩො. බිලියන 15.6ක වටිනාකමට සමාන වේ.
එක් එක් දශකවලදී වැඩිම ප්‍රදානයන් ලබා දී ඇති රටවල් සහ සංවිධාන සලකා බැලූ විට මුල් කාලීනව ශ්‍රී ලංකාවට වැඩිම ප්‍රදානයන් හිමිව ඇත්තේ යුරෝපා සංගමය සහ යුරෝපානු රටවල් විසින් ය.
එක්සත් රාජධානිය මුල් අවධියේදී කැපී පෙනෙන ලෙස ශ්‍රී ලංකාවට ප්‍රදානයන් ලබා දී තිබේ.
1980 දශකයේ පමණ සිට මේ දක්වා ම ඉහළ ම පරිත්‍යාගශීලියෙකු ලෙස ජපානය අඛණ්ඩව රැඳී සිටියි.
ශ්‍රී ලංකාවට ප්‍රදානයන් ලබා දීමේ ඉහළම පරිත්‍යාගශීලියෙකු බවට චීනය පත් වන්නේ 2010 සහ 2020 දශක වලදී ය.
එම දශක දෙකක කාලයේ වැඩිම ප්‍රදානයන් ලබා දුන් රටවල් 5 අතර චීනය රැඳී සිටියි.
ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයේ උච්ඡතම කාලය වූ 2000 දශකයේ සහ 2010 පශ්චාත් යුද සමයේ වැඩි වශයෙන් ප්‍රදානයන් සිදු කර ඇත්තේ එක්සත් ජාතීන්ගේ සංවිධානය, ලෝක බැංකුව සහ ඉන්දියාව විසින් ය.
ශ්‍රී ලංකාවට මෙතෙක් ලැබී ඇති ප්‍රදානයන් අතුරින් ලැබී ඇති වටිනාකමින් වැඩි ම ප්‍රදානය ලෙස සළකන්නේ වික්ටෝරියා වේල්ල සහ විදුලි බලාගාර ව්‍යාපෘතිය (අදියර 1) වේ.
මෙයට අරමුදල් සපයා ඇත්තේ එක්සත් රාජධානිය යි.
වෙරිටේ රිසර්ච් ආයතනය විසින් උද්ධමනයට ගැලපුම් කළ අගය මත ගණනය කර ඉහළ ම වටිනාකමක් ඇති ව්‍යපෘතින් 5 නම් කර තිබේ.
1979 දී ඇමෙරිකානු ඩොලර් මිලියන 229.2ක් ලෙස ලැබුණු එම ප්‍රදානයේ වර්තමාන වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 776ක් වේ.
දෙවන වටිනාම ප්‍රදානය ඉන්දියාව විසින් 2012 වර්ෂයේ උතුරු, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වල නිවාස 49,000ක් ඉදිකිරීම වෙනුවෙන් ලබා දුන් ප්‍රදානය වන අතර, එහි වර්තමාන වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 337.6කි.
අනෙකුත් ඉහළම වටිනාකමින් යුතු ප්‍රදානයන් 3 සිදු කර ඇත්තේ ආසියානු සංවර්ධන බැංකුව සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ය.
ඒ පිළිවෙලින් ආසියානු සංවර්ධන බැංකුව අරමුදල් ලබා දුන් සුනාමියෙන් බලපෑමට ලක් වූ ප්‍රදේශ නැවත ගොඩනැගීමේ ව්‍යාපෘතිය, එක්සත් ජාතීන්ගේ සංවිධානය අරමුදල් ලබා දුන් 2005-2007 සුනාමි ප්‍රතිචාර සැලැස්ම: දරුවන් නැවත ගොඩනැගීම, දිගුකාලීන සහන සහ ප්‍රතිසාධන මෙහෙයුම (PRRO) යන ව්‍යාපෘති වේ.
එමෙන් ම ශ්‍රී ලංකාවේ ඇති වූ සිවිල් යුද්ධය හේතුවෙන් මුහුණ දුන් මානුෂිය අර්බුද, ස්වභාවික විපත්, සුනාමි ආපදාව, 2022 වසරේ ආර්ථික අර්බුදය සහ මහවැලි ව්‍යාපෘතිය වැනි විශේෂ අර්බුද සමයන්හි දී ද ශ්‍රී ලංකාවට විදේශ ප්‍රදානයන් හිමි ව තිබේ.