ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'මෝදි, ඔබේ කාරුණික වචනවලට ස්තුතියි': රාජ්‍ය නායකයින්ගේ සුබ පැතුම්වලට ජනපතිගෙන් ප්‍රතිචාර
ශ්‍රී ලංකාවේ 9 වන විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක ජනාධිපති ධූරයේ දිවුරුම් දීමෙන් පසු ජාතිය අමතමින් කියා සිටියේ, ලෝකයේ කවර ආකාරයේ බල බෙදීම් පැවතිය ද රටට වඩාත් වාසිසහගත ලෙස ඒ ඒ රාජ්‍යයන් සමග කටයුතු කිරීම සිය අපේක්ෂාව බව ය.
ජනාධිපතිවරණයේ නිල ප්‍රතිඵල නිකුත් කිරීමෙන් පසු ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමාසාරිස්වරයා සහ ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා හමුවී සිය සුබ පැතුම් එක් කළහ.
ජනාධිපතිවරණය පැවැත්වීමට පෙර ඉන්දියාව අනුර කුමාර දිසානායකට එරට සංචාරයක් සඳහා ඇරයුම් කිරීම මෙරට දේශපාලන කේෂ්ත්‍රය තුළ දැඩි කතාබහට ලක්වූ කරුණක් විය.
'අපි ලෝකයෙන් හුදෙකලා විය යුතු රාජ්‍යයක් නෙමෙයි'
ජනාධිපති ධුරයේ දිවුරුම් දීමෙන් පසුව ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතමින් සිදුකළ සිය කතාවේදී සඳහන් කළේ, ශ්‍රී ලංකාව ලෝකයෙන් හුදෙකලා විය යුතු රාජ්‍යයක් නොවී ලෝකයත් සමග සාමූහිකව ඉදිරියට යා යුතු බව ය.
"අපි ලෝකයෙන් හුදෙකලා විය යුතු රාජ්‍යයක් නෙමෙයි. ලෝකයත් එක්ක සාමූහිකව ඉදිරියට යා යුතු රාජ්‍යයක්. ඒ පිළිබඳව තීන්දු තීරණ ගන්න අපි කිසිසේත් ම පැකිළෙන්නේ නැහැ," ජනාධිපතිවරයා එහිදී පැවසීය.
"විශේෂයෙන් ම අප දන්නවා අපේ රටට ජාත්‍යන්තර සහය අවශ්‍ය යි. ඒ නිසා ලෝකයේ කවර බල බෙදීම් තිබුණත් අපට වඩාත් වාසි සහගත ලෙස ඒ ඒ රාජ්‍යයන් සමග කටයුතු කිරීමට අපේ අපේක්ෂාවක් තියෙනවා," අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ජාතිය අමතමින් වැඩිදුරටත් පැවසුවේ ය.
ඉන්දීය අගමැතිට නව ජනපතිගෙන් පිළිතුරු
නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට සුබ පැතුම් එක් කරමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි Xහි (පෙර ට්විටර්) සටහනක් තබමින් කියා සිටියේ, ඉන්දියාවේ අසල්වැසියාට පළමු ස්ථානය යන ප්‍රතිපත්තිය සහ SAGAR දැක්ම තුළ ශ්‍රී ලංකාවට විශේෂ ස්ථානයක් හිමි වන බව ය.
"ශ්‍රී ලංකා ජනාධිපතිවරණ ජයග්‍රහණය පිළිබඳ අනුර කුමාර දිසානායකට සුබ පතමි. ඉන්දියාවේ "අසල්වැසියා පළමුවෙන්" ප්‍රතිපත්තිය සහ SAGAR දැක්ම තුළ ශ්‍රී ලංකාවට විශේෂ ස්ථානයක් හිමි වේ. අපගේ ජනතාවගේ සහ සමස්ත කලාපයේ ප්‍රයෝජනය සඳහා අපගේ බහුවිධ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ඔබ සමග සමීපව කටයුතු කිරීමට මම බලාපොරොත්තු වෙමි," ඉන්දීය අගමැතිවරයා සිය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබිණි.
ඉන්දීය අගමැතිවරයාගේ X සටහනට පිළිතුරු ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක පිළිතුරු දෙමින් සඳහන් කර ඇත්තේ, දෙරටේ ජනතාවගේ සහ සමස්ත කලාපයේ ප්‍රයෝජනය සඳහා සහයෝගීතාව වැඩි දියුණු කිරීමට කටයුතු කළ හැකි බව ය.
"අගමැති මෝදි, ඔබගේ කාරුණික වචනවලට සහ සහයෝගයට ස්තූතියි. අපේ ජාතීන් අතර සබඳතා ශක්තිමත් කිරීමට ඔබේ කැපවීම මම අගයනවා. එක්ව, අපගේ ජනතාවගේ සහ සමස්ත කලාපයේ ප්‍රයෝජනය සඳහා සහයෝගීතාව වැඩි දියුණු කිරීමට අපට කටයුතු කළ හැකිය," ජනාධිපති දිසානායක සිය X සටහනේ සඳහන් කර තිබේ.
චීන ජනපතිගෙන් සුබ පැතුම්
චීන ජනාධිපති ෂී ජින් පිං විසින් නව ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන් අනුර කුමාර දිසානායක වෙත සිය ශුභාශිංසන එක් කර තිබේ.
මීට වසර 67කට පෙර චීනය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කළ දා සිට දෙරට සෑම විට ම එකිනෙකා අවබෝධ කර ගනිමින් සහයෝගය ලබා දෙමින් මිත්‍රශීලී සහජීවනය සහ අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සහයෝගීතාව සඳහා ලොකු කුඩා රටවලට ආදර්ශයක් සපයා ඇති බව ලිපියක් යොමු කරමින් චීන ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.
චීන-ශ්‍රී ලංකා සබඳතා වර්ධනයට තමන් විශාල වැදගත්කමක් ලබා දෙන බවත් සාම්ප්‍රදායික මිත්‍රත්වය පවත්වා ගැනීමට සහ දේශපාලන අන්‍යෝන්‍ය විශ්වාසය වැඩි දියුණු කිරීමට ජනපති අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සමග කටයුතු කිරීමට කැමැත්තෙන් සිටින බවත් චීන ජනාධිපතිවරයා පවසයි.
චීනය සහ ශ්‍රී ලංකාව අතර 'එක් තීරයක් එක් මාවතක්' උසස් තත්ත්වයේ ඒකාබද්ධව ගොඩනැගීම වඩාත් ඵලදායී ප්‍රතිඵල ලබා ගැනීමටත්, අවංක අන්‍යෝන්‍ය සහයෝගීතාවයෙන් සහ පාරම්පරික මිත්‍රත්වයකින් යුතු චීනය සහ ශ්‍රී ලංකාව අතර ස්ථාවර හා දිගුකාලීන උපායමාර්ගික සහයෝගීතා හවුල්කාරිත්වය ප්‍රවර්ධනය කරමින් දෙරට සඳහා වැඩි ප්‍රතිලාභ ඇති කිරීමටත් අඛණ්ඩව කටයුතු කරන බව චීන ජනාධිපතිවරයා සිය ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇත.
එක්ව වැඩ කිරීමට සූදානම්
මේ අතර, ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනිය වූ ජුලී චං නව ජනාධිපතිවරයාට ඇමෙරිකා එක්සත් ජනපදය වෙනුවෙන් සුබ පැතුම් එක් කර තිබේ. සිය X ගිණුම ඔස්සේ සටහනක් තබමින් තානාපතිවරිය සඳහන් කර ඇත්තේ, සාමකාමීව තම ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ක්‍රියාත්මක කළ ශ්‍රී ලාංකික ජනතාවට ද සුබ පතන බව ය.
"ඇමෙරිකා එක්සත් ජනපදය, ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණයෙන් තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් අපගේ ශුභාශිංසන පිරිනමන්නෙමු. එසේ ම, සාමකාමීව තම ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ක්‍රියාත්මක කළ ශ්‍රී ලාංකික ජනතාවට ද අපි සුබ පතන්නෙමු. ඇමෙරිකාව හා ශ්‍රී ලංකාව අතර ඇති ශක්තිමත් හවුල්කාරීත්වය අප අගයන අතර, අප හට පොදු ප්‍රමුඛතා සම්බන්ධයෙන් එක්ව වැඩ කිරීමට සූදානමින් පසුවන්නෙමු," ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිවරිය සිය X පණිවුඩයේ සඳහන් කර ඇත.
'ඓතිහාසික මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කිරීමට උනන්දු වනවා'
මාලදිවයිනේ ජනාධිපති මොහොමඩ් මුයිසු ද සිය X ගිණුම ඔස්සේ නව ජනාධිපතිවරයාට සුබ පැතුම් එක් කරමින් සඳහන් කර තිබුණේ, දෙරට අතර වන ඓතිහාසික මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා තමන් සූදානම් බවය.
"සමීප අසල්වැසියන් ලෙස මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර ඓතිහාසික මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ඔබ සමග එක්ව කටයුතු කිරීමට මම උනන්දු වෙමි. ඔබගේ නව කාර්ය භාරය අතිමහත් සාර්ථකත්වයට පත් වේවා යි ප්‍රාර්ථනා කරමි," මාලදිවයින් ජනාධිපතිවරයා සිය X ගිණුමේ සඳහන් කර තිබිණි.
මේ අතර, ජපානය සහ ශ්‍රී ලංකාව අතර මිත්‍රශීලී සබඳතාව තවදුරටත් වර්ධනය කිරීම සඳහා නව ජනාධිපති අනුර කුමාර දිසානායක සමඟ සමීපව කටයුතු කිරීමට ජපානය අපේක්ෂා කරන බව ලිපියක් යොමු කරමින් ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකොෂි හිදෙඅකි පවසයි.
"සිය නායකයා තෝරා පත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියට දැක්වූ ක්‍රියාකාරී සහභාගීත්වය පිළිබඳව ශ්‍රී ලංකාවේ ජනතාවට අපි සුබ පැතීමට කැමැත්තෙමු. ආර්ථික හා සමාජීය ඉලක්ක මෙන් ම, අපගේ ශක්තිමත් සබඳතාව සාක්ෂාත් කර ගැනීම සඳහා අනුර කුමාර දිසානායකගේ නායකත්වයෙන් යුත් නව පරිපාලනය සහ ශ්‍රී ලංකා වාසී ජනතාව සමග සහයෝගයෙන් කටයුතු කිරීමට ජපානය සූදානමින් සිටී," එම ලිපියේ සඳහන් වේ.