‘ඉන්දීය ව්‍යාප්තවාදය’ සහ ආණ්ඩුව : පෙර සහ දැන් ස්ථාවරයන්ගේ වෙනසක් තිබේද?

    • Author, කුමුදු ජයවර්ධන සහ ඉෂාරා ධනසේකර
    • Role, බීබීසී සිංහල

ජනාධිපති අනුර කුමාර දිසානායක නියෝජනය කරන ජාතික ජන බලවේගය ස්ථාපනය කෙරුණේ, ඔහු නායකත්වය දරන ජනතා විමුක්ති පෙරමුණ මූලික කර ගනිමිනි.

ඔහුගේ නායකත්වයෙන් යුතු ජනතා විමුක්ති පෙරමුණේ මුල් කාලයේ සිට ම පැවති ප්‍රධාන සටන් පාඨයක් වූයේ, ඉන්දීය ව්‍යාප්තිවාදය පිටුදැකීම ය.

ජනතා විමුක්ති පෙරමුණ 1960 ගණන්වල සිට ඔවුන් පැවැත්වූ ප්‍රසිද්ධ පන්ති පහෙන් එකක් ඉන්දීය ව්‍යාප්තවාදය පැහැදිලි කිරීම වෙනුවෙන් වෙන් කර තිබූ බව සැලකේ.

ඊට අමතරව, ඉන්දු - ලංකා ගිවිසුම ඇතුළු ගිවිසුම් රැසක් සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ දිගින් දිගට ම විරෝධය පළ කළේ ය.

2022 වසර වන විටත් ඉන්දියාව සමග ඇති කර ගැනීමට යෝජිතව තිබූ ගිවිසුම් කෙරෙහි අනුර කුමාර දිසානායක විවේචන එල්ල කළේ ය.

“ඉන්දියාව කියනවා චීනය එක්ක වෙළෙඳ ගිවිසුමක් ගහනවා නම් ඊට කලින් අපිත් එක්ක එට්කා ගිවිසුමක් ගහන්න කියනවා. දැනට අපේ මාර්කට් එකේ වැඩි පංගුවක් අරන් තියෙන්නෙ ඉන්දියාව. ඉන්දියාවේ එට්කා ගිවිසුමේ තියෙන්නෙ මොකක් ද? එට්කා ගිවිසුමේ තියෙන්නේ භාණ්ඩ වෙළෙඳපොළ විතරක් නෙවෙයි, සේවා වෙළෙඳපොළත් විවෘත කරන්න. ඉන්දියානු දොස්තර කෙනෙකුට ඇවිල්ලා මෙහෙ චැනල් සර්විස් එකක් දාන්න පුළුවන්. දැන් අපි බෙල්ලට ම හිර වෙලා තියෙන්නේ. ණය ගෙවන්නෙ නෑ කියල තීන්දුවක් අරන් තියෙනවා. ණයවලින් ටිකක් අපි කපා ගන්න වෙනවා. කපා ගන්න නම් ඉන්දියාවත් එක්ක මේක අත්සන් කරන්න වෙනවා.” (අනුර කුමාර දිසානායක - 2022 ඔක්: 30 ගාල්ලේදී)

ඊට අමතරව, වරාය නැගෙනහිර පර්යන්තය ඉන්දියාවේ අදානි සමාගමට ලබා දීමට එරෙහිව ද ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය දැඩි විරෝධය පළ කළේ ය.

අනුරගේ ඉන්දීය ගමන

ජනාධිපතිවරණය පැවැත්වීමට පෙර මේ වසරේ පෙබරවාරි මාසයේදී ජාතික ජන බලවේගයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ඉන්දීය රජයේ ආරාධනයකට අනුව එරට සංචාරයක ද නිරත විය.

එම සංචාරයෙන් දින කිහිපයකට පසු අනුර කුමාර දිසානායක එම සංචාරය සම්බන්ධයෙන් ජන හමුවක දී පැහැදිලි කිරීමක් කළේ ය.

“ඉන්දියාවෙන් ආරාධනා කරනකොට බලය බැලුවා නම් ජනාධිපති අපි නෙවෙයි. අගමැති අපි නෙවෙයි. කැබිනට් මණ්ඩලය අපි නෙවෙයි. පාර්ලිමේන්තුවේ ලොකු කණ්ඩායම අපි නෙවෙයි. විපක්ෂය අපි නෙවෙයි. පාර්ලිමේන්තුවේ අපි තුන යි. හැබැයි, එන්න කියනවා අපිට. ඇයි ඒ? බලය කොතන ද? බලය තියෙන්නෙ ජනාධිපති ගාව ද? බලය තියෙන්නෙ කැබිනට් මණ්ඩලයෙ ද? බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට ද? නෑ. බලය තියෙන්නෙ ජනතාව ගාව. ජනතාව වඩාත් වැඩියෙන් පොදු බැඳගෙන එන්නෙ කාට ද? අන්න එතන තමයි බලය. ඒක තමයි ඉන්දියාව මැනපු බලය.”

'අපි ඉන්දීය විරෝධී වුණේ නැහැ'

මේ අතර අනුර කුමාර දිසානායකගේ ඉන්දියානු සංචාරය අතරතුර සමාජ මාධ්‍ය තුළ එවකට හුවමාරු වූ විවේචන සහ අදහස් පිළිබඳ පක්ෂයේ මතය කුමක්දැයි පසුගිය පෙබරවාරි මාසයේදී බීබීසී සිංහල සේවය විසින් කළ විමසීමක දී එවකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වූ වත්මන් අගමැතිනිය වන ආචාර්ය හරිනි අමරසුරිය ලබා දුන්නේ මෙවන් පිළිතුරකි.

"අපි ඉන්දීය විරෝධී වුනේ නැහැ කොයි අවස්ථාවකවත්. අපේ රටට හානිදායක තීන්දු තීරණ ගත්තම අපි ඒවාට විරුද්ධ වුණා. අපි රටකට විරුද්ධ වෙන්නේ නැහැනේ. ඒක විහිළු සහගත දෙයක් නේ. කුමන සම්බන්ධතාවයක් වුණත් ඒක රටට හානිදායක දෙයක් නම් ඒකට අපි විරුද්ධ වුණා." ඇය එහිදී කියා සිටියාය.

‘ඉන්දීය ව්‍යාප්තිවාදය ගැන බයිලා ගහපු අනුර අද ඉන්දියාව ඉස්සරහ දණ ගහලා’

මේ අතර, අනුර කුමාර දිසානායකගේ ඉන්දීය සංචාරය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා 2022 වසරේ පෙබරවාරි මාසයේ පාර්ලිමේන්තුවේදී මෙලෙස අදහස් දැක්වීය.

“එදා ඉන්දියානු ව්‍යාප්තවාදය ගැන දෙවෙනි පන්තියේදි කියල දීලා ඉන්දියානු ව්‍යාප්තවාදයට විරුද්ධ වෙන්න ඕන කියපු අය, අද ඉන්දියාව ඉදිරියේ ගිහිල්ල දණ ගහනවා. ඒ අය එක්ක කනවා, බොනවා. ලොකුවට කියනවා අපට ඉන්දියාව එන්න කියල තියෙනවා කියලා. ඒක හොඳයි ගිය එක. වැරහැලි ඇඳගෙන හිටපු අය හොඳ සූට් ගහලා යනවා දකින්න අපිත් ආසයි. දැන් බලන්නකෝ ගහල යන සූට් දිහා බැලුවා ම. අපේ වරාය අදානිලා ටර්මිනල් එක දෙනකොට මොන තරම් කෑගැහිල්ලක් කළා ද? ඒ අයටත් අද ඉන්දියාවේ හොඳ කියන්න වෙලා තියෙනවා.”

‘මිනිස්සු අන්දන්න යි ඒ කතා කිව්වේ’

1999 වසරේ ජනතා විමුක්ති පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා වූ නන්දන ගුණතිලක මේ වන විට එම පක්ෂය නියෝජනය නොකරයි.

ඔහු බීබීසී සිංහල සේවයට ප්‍රකාශ කළේ, ජනතා විමුක්ති පෙරමුණේ වත්මන් නායකයින් ජනතාව රැවටීම සඳහා ඉන්දීය විරෝධී අදහස් පළ කළ බව ය.

“මිනිස්සු අන්දන්න කියපු කතා නේ ඒවා. දැන් ඒගොල්ලො ආණ්ඩුවට ආවට පස්සේ ඇත්තත් එක්ක නෙ ඉන්න වෙන්නේ. ඇත්ත එක්ක ඉන්න වුණා ම කලින් කියපුවා ඔක්කෝම දැන් වැරදිලා තියෙන්නේ.”

'අපට වඩාත් වාසි සහගත ලෙස ඒ ඒ රාජ්‍යයන් සමග කටයුතු කිරීමට අපේ අපේක්ෂාවක් තියෙනවා'

ජනාධිපති ධුරයේ දිවුරුම් දීමෙන් පසුව ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතමින් සිදුකළ සිය කතාවේදී සඳහන් කළේ, ශ්‍රී ලංකාව ලෝකයෙන් හුදෙකලා විය යුතු රාජ්‍යයක් නොවී ලෝකයත් සමග සාමූහිකව ඉදිරියට යා යුතු බව ය.

"අපි ලෝකයෙන් හුදෙකලා විය යුතු රාජ්‍යයක් නෙමෙයි. ලෝකයත් එක්ක සාමූහිකව ඉදිරියට යා යුතු රාජ්‍යයක්. ඒ පිළිබඳව තීන්දු තීරණ ගන්න අපි කිසිසේත් ම පැකිළෙන්නේ නැහැ," ජනාධිපතිවරයා එහිදී පැවසීය.

"විශේෂයෙන් ම අප දන්නවා අපේ රටට ජාත්‍යන්තර සහය අවශ්‍ය යි. ඒ නිසා ලෝකයේ කවර බල බෙදීම් තිබුණත් අපට වඩාත් වාසි සහගත ලෙස ඒ ඒ රාජ්‍යයන් සමග කටයුතු කිරීමට අපේ අපේක්ෂාවක් තියෙනවා," ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළේය.

‘ඉන්දියාව සමග ගනුදෙනු කරන්න අවශ්‍ය විශේෂඥ දැනුම ජනපතිට තිබේ දැයි පැහැදිලි නෑ’ - මහාචාර්ය සසංක පෙරේරා

ජනාධිපතිවරණයේ නිල ප්‍රතිඵල නිකුත් කිරීමෙන් පසු ජනාධිපතිවරයාගේ පළමු නිල හමුවීම සිදුවුයේ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමාසාරිස්වරයා සමඟ වන අතර මේ වන විට අනුර කුමාර දිසානායක ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු ගත වූ කාලය තුළ ඉන්දීය මහ කොමසාරිස්වරයා දෙවරක් හමු වී සාකච්ඡා පවත්වා තිබේ.

ඊට අමතරව, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් ද ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවිය.

මේ සම්බන්ධයෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ සහ දකුණු ආසියානු විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ හිටපු මහාචාර්ය සසංක පෙරේරා අප්‍රසාදය පළ කරයි.

බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ, ඉන්දියාව ඇතුළු ඇතැම් රටවල් සමග ගනුදෙනු කිරීම සම්බන්ධයෙන් විශේෂඥ දැනුමක් අවශ්‍ය වන අතර වත්මන් ජනාධිපතිවරයාට හෝ ආණ්ඩුවට එම දැනුම තිබේ ද යන්න තමන්ට පැහැදිලි නැති බව ය.

“ඉන්දියාවත් එක්ක ගනුදෙනු කරනකොට හුඟක් පරිස්සම් වෙන්න ඕන. ඒ දැනුම, ඒ විශේෂඥ දැනුම ජනාධිපතිතුමාටවත්, ආණ්ඩුවටවත් තියෙනවා ද කියන එක මට පැහැදිලි නෑ. මොක ද ඒක හැමෝට ම තියෙන එකක් නෙවෙයි. සමහර රටවල් ගැන විශේෂඥ දැනුමක් අපි හදාගන්න ඕනෙ. එහෙම හදාගෙන තමයි, ඒ රටවල් එක්ක ගනුදෙනු කරන්න වෙන්නේ. උදාහරණයක් හැටියට අපි කුඩා රටක් වුණ පළියට ලොකු රටක් වෙච්ච ඉන්දියාවත් එක්ක දෙකට තුනට නැවිලා ගනුදෙනු කරන්න අවශ්‍ය නෑ. හැබැයි ගනුදෙනු කරන්න ඕන කොහොම ද කියල අපි දැනගන්න ඕන.”

ජනාධිපතිවරයා ඉන්දීය මහ කොමසාරිස්වරයා දෙවරක් හමුවීම ගැන ද මහාචාර්ය සසංක පෙරේරා අදහස් දැක්වීය.

“දැන් ඉන්දීය මහ කොමසාරිස්ට ජනාධිපතිව හම්බ වෙන්න ඕන කියලා උන්නැහැව හම්බ වෙන්න ඕනෙ නෑ අපේ ජනාධිපතිතුමා. අපි අහන්න ඕනෙ අනික් පැත්තෙන් ප්‍රශ්නෙ ඉන්දියාවේ අගමැතිතුමා හෝ ජනාධිපතිතුමිය අපේ මහ කොමකාරිස්තුමියට ඕන ඕන වෙලාවට හම්බ වෙන්න පුළුවන් ද? මේවා මේ මහන්තත්තකමට කියන ඒවා නෙවෙයි. මේවට කියන්නේ ප්‍රෝටොකෝල් කියලා. ඒවාට යම්කිසි ක්‍රමවේදයක් තියෙනවා. රටක නායකයෙක් ගෞරවයක් ඇතිව කටයුතු කරන්න ඕන.”

‘බලයට පත්වීමට පෙර කියපු දේවල් දැන් පාරාවළල්ලක් වෙලා’ - ආචාර්ය නිලූකා ප්‍රියදර්ශනී

ශ්‍රී ලංකාවේ පිහිටීම අනුව සහ වත්මන් ගෝලීය දේශපාලන ප්‍රවණතා අනුව ශ්‍රී ලංකාවට සිය අසල්වැසියා පිටුදැකීමට හැකියාවක් නැතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දේශපාලන අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය නිලූකා ප්‍රියදර්ශනී පවසයි.

ඇය ප්‍රකාශ කළේ, විපක්ෂය නියෝජනය කරද්දී ඉක්මනින් බලයට පත්වනු ඇතැයි අපේක්ෂා නොකළ ජනතා විමුක්ති පෙරමුණ පැවති ආණ්ඩුවලට එරෙහිව විවිධ මත දැරූ බව ය.

කෙසේ වෙතත්, බලයට පැමිණි පසු ඔවුන් ඊට පෙර දැරූ ස්ථාවරයන් නිසා යම් විවේචනයන්ට මුහුණ දීමට සිදුවනු ඇතැයි ඇය පෙන්වා දුන්නේ ය.

“ඔවුන් හිතන්න නැතුව ඇති මෙතරම් ඉක්මනින් බලයට පත්වෙයි කියලා. ඒ නිසා විපක්ෂයේ ඉන්නකොට කියපු දේවල් දැන් පාරාවළල්ලක් වෙලා ඔවුන්ගෙන් ඒ ගැන ප්‍රශ්න කරනවා. එතනදි ඔවුන් කළ යුත්තේ අපි ඒවා කිව්වෙ නෑ කියන එක නෙවෙයි. මම දැක්කා කිහිප දෙනෙක් ඒවා ප්‍රතික්ෂේප කරලා තිබුණා. ඒත් ඔවුන්ට පුළුවන් ඒවා නොකිව්ව බව නොකියා ඒ ස්ථාවරයන් වෙනස් කරන්න බලපෑ හේතු මොනවා ද කියලා ජනතාවට පැහැදිලි කරන්න. එහෙම නැතුව, ඒවා නොකී බව කියන්න ගියොත් ඔවුන් ගැන තියෙන විශ්වාසය හීන වෙන්න පුළුවන්. මොක ද දැන් සමාජ මාධ්‍යවල පෙර කී කතා දැන් කියන කතා ඔක්කොම එකතු කරලා සංසරණය වෙනවා.”

'පටු විදිහේ ව්‍යාප්තවාදයක් ගැන කතා කරලා නැහැ කොහෙවත් ජාතික ජන බලවේගය ඇතුළේ'-ආචාර්ය විසාකේස චන්ද්‍රසේකරන්

මේ අතර, ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජික කොළඹ විශ්වවිද්‍යාලයේ ආචාර්ය විසාකේස චන්ද්‍රසේකරන් ප්‍රකාශ කළේ, ජනතා විමුක්ති පෙරමුණේ පැවති ස්ථාවරයන් ජාතික ජන බලවේගය තුළ සාකච්ඡා වී නොමැති බව ය.

ජාතික ජන බලවේගයේ දේශපාලන ව්‍යාපාරය වෙනස් වී ඇති බව ද ඔහු පෙන්වා දුන්නේ ය.

“දැන් ගොඩක් වෙනස් වෙලා නේ. දේශපාලන ව්‍යාපාරය වෙනස් වෙලා, ලෝකය වෙනස් වෙලා. එක දේශපාලන ව්‍යාපාරයක්වත් පටන් ගත්ත තැන නෙවෙයි නෙ අද ඉන්නේ. ඉතින් ඒ වගේ පටු විදිහේ ව්‍යාප්තවාදයක් ගැන කතා කරලා නැහැ කොහෙවත් ජාතික ජන බලවේගය ඇතුළේ. මොක ද, මේක ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු කණ්ඩායම් රැසක එකතුවක් නේ.” ඔහු කියා සිටියි.

කෙසේ වෙතත් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයක විදේශ ප්‍රතිපත්තිය පිළිබඳ නිවැරදිම තක්සේරුවක් ලබාගැනීමට නම් නොබෝ දිනකින් පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී ඔහු ඇතුළු කණ්ඩායම විසින් පාර්ලිමේන්තුවේ බලය තහවුරු කරගත යුතු අතර පාර්ලිමේන්තු බහුතරය දිනාගනිමින් නව ස්ථාවර ආණ්ඩුවක් ස්ථාපිත කිරීම අනිවාර්ය වේ.

එහිදී නව රජයේ පළමු දින 100 ඇතුළත ශ්‍රී ලංකාවේ දීර්ඝ කාලීන මිතුරකු සහ ණය හිමියකු ද වන අසල්වැසි ඉන්දියාව සමග පවත්වන රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතාව සමීපව අධ්‍යනය කිරීම අතිශය වැදගත්වනු ඇත.