ව්ලැදිමීර් පුටින් ධූරයෙන් පහ කළ රුසියාවේ ප්‍රවාහන ඇමති පැය කිහිපයකදී සියදිවි නසා ගත්තේ ඇයි?

    • Author, ස්ටීව් රොසෙන්බර්ග්
    • Role, රුසියානු සංස්කාරක
    • වාර්තාකරණය, මොස්කව් සිට

රුසියාවේ මේ අලුත් සතිය ආරම්භ වූයේ, බොහෝ දෙනෙකුගේ අවධානය හිමි වූ සිද්ධියක් සමගිනි.

සඳුදා උදෑසන ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඔහුගේ ප්‍රවාහන අමාත්‍ය රෝමන් ස්ටාරොවොයිට් එම ධූරයෙන් පහ කළේ ය.

එදින දහවල් වන විට රෝමන් ස්ටාරොවොයිට් මියගොස් සිටියේ ය; මොස්කව් නගර සීමාවේ උද්‍යානයක හිසට වෙඩි වැදී තිබූ බව කියන තුවාලයක් සහිත ඔහුගේ මළ සිරුර සොයා ගන්නා ලදී. සිරුර අසල පිස්තෝලයක් තිබූ බව ද කියනු ලැබේ.

හිටපු අමාත්‍යවරයා සියදිවි නසාගෙන ඇති බවට තමන් අනුමාන කරන බව විමර්ශකයෝ පැවසූහ.

අද උදෑසන Moskovsky Komsomolets නමැති ටැබ්ලොයිඩ් පුවත්පත, කම්පනය පිළිබඳ හැඟීමක් ඇති කළේ ය.

"ජනාධිපතිවරයාගේ නියෝගයෙන් පැය කිහිපයකට පසු රෝමන් ස්ටාරොවොයිට් සියදිවි නසා ගැනීමේ සිද්ධිය රුසියානු ඉතිහාසයේ මෙතෙක් සිදුනොවූ ආකාරයේ සිදුවීමකි," පුවත්පත ප්‍රකාශයට පත් කළේ ය.

ඒ, එරට රජයේ අමාත්‍යවරයෙකු සියදිවි නසා ගැනීම පිළිබඳ උදාහරණයක් සොයා ගැනීම සඳහා, සෝවියට් සංගමයේ කඩා වැටීමටත් පෙර, එනම් වසර තිහකට වඩා පසුපස අතීතයට යාමට ඔබට සිදුවන වන හෙයිනි.

1991 අගෝස්තු මාසයේදී, කොමියුනිස්ට් දැඩි මතධාරීන්ගේ කුමන්ත්‍රණය අසාර්ථක වීමෙන් පසු, කුමන්ත්‍රණයේ නායකයෙකු වූ සෝවියට් අභ්‍යන්තර කටයුතු අමාත්‍ය බොරිස් පූගෝ වෙඩි තබාගෙන සියදිවි නසා ගත්තේ ය.

ක්‍රෙම්ලිනය ස්ටාරොවොයිට්ගේ මරණය පිළිබඳව අදහස් පළ කර නැත.

"ජනාධිපතිවරයා සේවයෙන් පහ කර පැය කිහිපයකට පසු ෆෙඩ්රල් අමාත්‍යවරයෙකු මියගොස් සිටීම ගැන ඔබ කොතරම් කම්පනයට පත් වූවා ද?" දුරකතනය හරහා පැවති සාකච්ඡාවකදී මම ව්ලැඩිමීර් පුටින්ගේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව්ගෙන් විමසුවෙමි.

"සාමාන්‍ය මිනිස්සු මේකෙන් කම්පනයට පත් වෙන එක වළක්වන්න බැහැ," පෙස්කොව් පිළිතුරු දුන්නේ ය. "ඇත්ත වශයෙන් ම, මේ පුවත අපවත් කම්පනයට පත් කළා."

"සියලු ප්‍රශ්නවලට පිළිතුරු සැපයීම විමර්ශනයට භාර යි. එය සිදුවෙමින් පවතින අතර, කෙනෙකුට අනුමාන කළ හැක්කේ එය යි. නමුත් මාධ්‍ය සහ දේශපාලන විචාරකයින්ට ගොඩක් අනුමාන කිරීම් තියෙනවා. අපට නම් නැහැ."

රුසියානු මාධ්‍ය පවසා ඇත්තේ, ඇත්ත වශයෙන් ම සිද්ධිය සම්බන්ධයෙන් දූෂමාන ආරංචි රැසක් පවතින බව ය.

අද රුසියානු පුවත්පත් කිහිපයක් රෝමන් ස්ටාරොවොයිට්ට සිදුවූ දේ යුක්රේනයට මායිම්ව ඇති කර්ස්ක් කලාපයේ සිදුවීම් සමග සම්බන්ධ කර තිබේ. 2024 මැයි මාසයේදී ප්‍රවාහන අමාත්‍ය ධූරයට පත්වීමට පෙර, ස්ටාරොවොයිට් වසර පහකට වැඩි කාලයක් කර්ස්ක් ප්‍රාදේශීය ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කර ඇත.

ඔහුගේ නායකත්වය යටතේ - රජයේ මුදල් විශාල ප්‍රමාණයක් සමග - ආණ්ඩුකාර ස්ටාරොවොයිට් දේශසීමාව දිගේ ආරක්ෂක බළකොටු ඉදිකිරීම ආරම්භ කර තිබිණි. පසුගිය වසරේ යුක්රේන හමුදා කර්ස්ක් කලාපයේ භූමියට කඩා වැදී අල්ලා ගැනීම වැළැක්වීමට ඒවා ප්‍රමාණවත් නොවීය.

එතැන් සිට, ස්ටාරොවොයිට්ගේ අනුප්‍රාප්තික ආණ්ඩුකාර ඇලෙක්සි ස්මිර්නොව් සහ හිටපු නියෝජ්‍ය ආණ්ඩුකාර ඇලෙක්සි ඩෙඩොව් අත්අඩංගුවට ගෙන බළකොටු ඉදිකිරීම සම්බන්ධයෙන් මහා පරිමාණ වංචා චෝදනා එල්ල කර ඇත.

"මෙම නඩුවේ ප්‍රධාන විත්තිකරුවෙකු ලෙස ස්ටාරොවොයිට් බොහෝ විට පත් වන්නට ඇත," යනුවෙන් ව්‍යාපාරික දිනපතා පුවත්පතක් වන Kommersant පුවත්පතේ අද දින පිටපතෙහි දැක්විණි.

එය රුසියානු බලධාරීන් තහවුරු කර නැත.

එහෙත්, හිටපු ඇමතිවරයෙකු සියදිවි නසා ගැනීමට පෙළඹුණේ ඔහුට එරෙහිව නඩු පැවරීමට ඇති බිය නම්, වත්මන් රුසියාව සම්බන්ධයෙන් ඉන් අපට හැඟවෙන්නේ කුමක් ද?

"මෑත වසරවල රුසියාවේ සිදුවෙමින් පවතින සියලු ම ප්‍රති-ස්ටාලිනීකරණයත් සමග මෙහි වඩාත් ම නාටකාකාර කොටස නම්, ඉහළ මට්ටමේ රජයේ නිලධාරියෙකු පද්ධතියෙන් ඉවත් වීමට වෙනත් මාර්ගයක් නොමැති නිසා [සියදිවි නසා ගැනීම යි]," නිව්යෝර්ක්හි ද නිව් ස්කූල්හි ජාත්‍යන්තර කටයුතු පිළිබඳ මහාචාර්ය නීනා කෘෂ්චෙව් පවසයි.

"විමර්ශනයට ලක් වුවහොත් ඔහුට වසර දහයකට අධික සිර දඬුවම් ලැබෙනු ඇති බවටත්, ඔහුගේ පවුලට දැඩි ලෙස දුක් විඳීමට සිදුවනු ඇති බවටත් ඔහු බිය වෙන්න ඇති. ඒ නිසා, එයින් මිදීමට මාර්ගයක් නැහැ. මට වහා ම ස්ටාලින්ගේ ඇමතිවරයෙකු වූ සර්ගෝ ඕර්ඩ්ෂොනිකිඩ්සේ ගැන මතක් වුණා. එයා 1937 දී [සියදිවි නසා ගත්තේ], එයින් මිදීමට මාර්ගයක් නොමැති බව ඔහුට හැඟුණ නිසා."

රෝමන් ස්ටාරොවොයිට්ගේ මරණය මෙහි පුවත්පත්වල ප්‍රධාන පුවත් බවට පත් වන්නට ඇත. නමුත් මෙම "රුසියානු ඉතිහාසයේ පෙර නොවූ විරූ සිදුවීම" සම්බන්ධයෙන් රාජ්‍ය රූපවාහිනියේ දී ඇත්තේ, අවම ආවරණයකි.

ඇතැම්විට, එසේ කළේ, ක්‍රෙම්ලීනය මහජන මතය හැඩගැස්වීමට රූපවාහිනිය සතු බලය හඳුනාගෙන තිබීම නිසා විය හැකි ය. රුසියාවේ, රූපවාහිනිය පුවත්පත්වලට වඩා ප්‍රබල ය. එබැවින්, රූපවාහිනිය සම්බන්ධයෙන් ගත් කල, බලධාරීන් පණිවිඩ යැවීමේදී වඩාත් ප්‍රවේශම්සහගත වීමට උත්සහ කරති.

පුටින් නව වැඩබලන ප්‍රවාහන අමාත්‍යවරයෙකු වන අන්ද්‍රේ නිකිටින් පත් කිරීම පිළිබඳව සඳුදා දිනයේ Russia-1 නාලිකාවේ ප්‍රධාන සන්ධ්‍යා ප්‍රවෘත්ති ප්‍රකාශයේ මිනිත්තු හතරක වාර්තාවක් ඇතුළත් විය.

පෙර ප්‍රවාහන අමාත්‍යවරයා ධුරයෙන් පහ කළ බවක් හෝ ඔහු මියගොස් සිටියදී හමුවූ බවක් පිළිබඳ කිසිදු සඳහනක් නොවීය.

මිනිත්තු හතළිහකට පසුව, ප්‍රවෘත්ති ප්‍රකාශය අවසානයේ, ප්‍රවෘත්ති නිවේදකයා රෝමන් ස්ටාරොවොයිට්ගේ මරණය ගැන කෙටියෙන් සඳහන් කළේ ය.

ප්‍රවෘත්ති නිවේදකයා ඒ සඳහා ගත කළේ, තත්පර 18ක කාලයක් පමණි. ඉන් අදහස් වන්නේ, බොහෝ රුසියානුවන් සඳුදා සිදුවූ නාටකාකාර සිදුවීම් පිළිබඳව අවධානයක් යොමු නොකරනු ඇති බව ය.

දේශපාලන ප්‍රභූ පැලැන්තියට නම් එය වෙනස් කතාවකි. දේශපාලන ක්‍රමයේ කොටසක් වීමට උත්සහ කළ ඇමතිවරුන්, ආණ්ඩුකාරවරුන් සහ අනෙකුත් රුසියානු නිලධාරීන්ට, ස්ටාරොවොයිට්ට සිදුවූ දෙය අනතුරු ඇඟවීමක් වනු ඇත.

"පෙර මෙන් නොව, ඔබට මෙම රැකියා ලබා ගැනීමට, පොහොසත් වීමට, ප්‍රාදේශීය මට්ටමේ සිට ෆෙඩ්රල් මට්ටම දක්වා උසස්වීම් ලබා ගැනීමට හැකි වූ විට, ඔබට ජීවත් වීමට අවශ්‍ය නම් එය පැහැදිලිව ම වෘත්තීය මාර්ගයක් නොවේ," නීනා කෘෂෙවා පවසයි.

"ආරම්භයේදී ඉහළට ගමන් කිරීමේ හැකියාවක් නැතුවා පමණක් නොව, පහළට ගමන් කිරීමක් පවා මරණයෙන් අවසන් වෙනවා."

එය පද්ධතිය තුළ රෙගුලාසි සහ නියමයන් උල්ලංඝණය කිරීමෙන් සිදුවිය හැකි අනතුරු පිළිබඳ සිහිකැඳවීමකි.