රුසියානු තානාපති කියන පරිදි BRICS සාමාජිකත්වය ලබා ගැනීමට ශ්‍රී ලංකා රජයට 'උනන්දුවක් නැති' ද?

    • Author, බීබීසී සිංහල

වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක ජනාධිපති ධූරයට පත් වීමෙන් පසුව ජාත්‍යන්තර සමුළුවක් සඳහා වූ පළමු ආරාධනය රුසියානු ජනාධිපතිවරයාගෙන් ලැබුණු අතර, ඒ, 16 වන BRICS සමුළුවට සහභාගී වීම සඳහා ය.

එහෙත්, අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා එම ආරාධනාව ප්‍රතික්ෂේප කර තිබූ අතර, ජනාධිපතිවරයා එලෙස තමන් ලද ආරාධනාව ප්‍රතික්ෂේප කරනු ලැබුවේ රටේ ආරක්ෂක තත්ත්වයේ ඇති වූ ගැටලු හේතුවෙන් බව එවක කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය විජිත හේරත් ප්‍රකාශ කර තිබිණි.

"අමාත්‍යවරුන් තුන් දෙනෙක් තමයි රට පාලනය කරන්නේ. දැන් හදිස්සි ආරක්ෂක තත්ත්වයකුත් මතු වුණා. ජනාධිපතිතුමා ආරක්ෂක ඇමති. එතකොට කසාන්වලට ගිහිල්ලා හිටියා නම් ඔය ඊශ්‍රායල් අයට යම් බලපෑමක් එනවා කියලා තොරතුරු එනකොට ජනාධිපතිතුමා, ආරක්ෂක ඇමැතිවරයා රටේ නැහැ. බ්‍රික්ස් සමුළුවට සම්බන්ධ වුණේ නැත්තේ එවැනි හේතු මත."

එම ආරාධනය ලැබුණු සමයේ පසුගිය මහ මැතිවරණය ප්‍රකාශයට පත් කර තිබූ අතර ජනාධිපතිවරයා මැතිවරණය හේතුවෙන් එම සමුළුවට සහභාගී නොවූ බවට පළවූ අදහස් අමාත්‍යවරයා බැහැර කළේ ය.

"අපි ඉතා පැහැදිලිව රුසියානු ජනාධිපතිතුමාට කිව්වා අපේ විදේශ අමාත්‍යංශ ලේකම්තුමිය හරහා සහභාගී නොවෙන්න හේතුව. ඉතින් එතුමන්ලා කිව්වේ මොකක් ද අපේ රටෙත් තත්ත්වය ඔහොම වුණා නම් අපිත් එන්නේ නැහැයි කියලා," විජිත හේරත් අමාත්‍යවරයා එහිදී කියා සිටියේ ය.

BRICS සමුළුවට ජනපති සහභාගි නොවීම ගැන රුසියානු තානාපති කියන්නේ කුමක් ද?

කෙසේ වෙතත්, ශ්‍රී ලංකාව බ්‍රික්ස් සමාජිකත්වය ලබා ගැනීම පිළිබඳව නැවත කරළියට පැමිණියේ මීට දින කිහිපයකට පෙර පැවති කොළඹ පැවති උත්සවයකදී ඒ පිළිබඳව මෙරට රුසියානු තානාපතිවරයාගේ අදහස් විමසීමෙන් පසුව ය.

අනුර කුමාර ජනාධිපතිවරයා ආරධනා ලද BRICS සමුළුවට සහභාගී නොවීම සම්බන්ධව රජයේ ප්‍රතිචාරයට පරස්පර ප්‍රකාශයක් කරමින් මෙරට රුසියානු තානාපති ලෙවාන් ජගර්යාන් පවසා සිටියේ, මැතිවරණ කටයුතු හේතුවෙන් BRICS සමුළුවට සහභාගී වීමට නොහැකි බව මෙරට ජනාධිපතිවරයා දැනුම් දුන් බව ය.

"මම පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ 01 වැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවෙන්න ගියා. ඒ වෙලාවෙ මම රුසියානු ජනාධිපතිතුමාගේ ආරාධනා පත්‍රය භාර දෙනු ලැබුවා. එහි තිබුණේ රුසියාවේ පැවැත්වෙන BRICS සමුළුවට සහභාගී වීමට රුසියාවට පැමිණෙන ලෙස කළ ආරාධනය. අපි සාකච්ඡා කළේ, භාෂා පරිවර්තකයෙක් මාර්ගයෙන්. මම හිතනවා භාෂා පරිවර්තකයා නිවැරදි ලෙස ප්‍රකාශ කළ දේ සන්නිවේදනය කරන්න ඇති කියලා. ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළා මහ මැතිවරණය පැවැත්වෙන නිසා ඔහුට රුසියාවට එන්න වෙන්නේ නැහැ කියලා."

'එහෙම උනන්දුවක් තියෙනවා ද? මට නම් ඒ ගැන දැනෙන්නේ නැහැ'

BRICS සමූහයට එක්වීමට ශ්‍රී ලංකාවට උනන්දුවක් ඇතැයි පෙනෙන්නට නොමැති බව ද රුසියානු තානාපතිවරයා එහිදී සඳහන් කළේ ය.

"රටක් BRICS සමග සම්බන්ධ වෙනවා නම් ඊට අනුගමනය කළ යුතු පියවර තිබෙනවා. සාමාජිකත්වය සහ අනිකුත් පියවර සඳහා සමාජික රටවල අනුමැතිය ද අවශ්‍ය යි. රුසියාව, චීනය ශ්‍රී ලංකාවට සහයෝගය දෙනවා. නමුත් ඒක කරන්න ඉතින් ඔබගේ පැත්තෙනුත් උනන්දුවක් තියෙන්න ඕනේ. එහෙම උනන්දුවක් තියෙනවා ද? මට නම් ඒ ගැන දැනෙන්නේ නැහැ. මේ සඳහා දැන් එහි වත්මන් සභාපතිත්වය දරන බ්‍රසීලය සමග සාකච්ඡා කළ යුතු යි. එය ඔබේ රජය විසින් තීරණය කරනු ලැබිය යුතු දෙයක්."

පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ රුසියාවේ කසාන් නුවර පැවැත්වූ BRICS සමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරිය ඇතුළු පිරිසක් සහභාගි විය.

BRICS සාමාජිකත්වය ගැන රජයේ ස්ථාවරය කුමක් ද?

මෙවන් තත්ත්වයක් තුළ BRICS සමාජිකත්වය ලබා ගැනීම සම්බන්ධව ශ්‍රී ලංකා රජයේ ස්ථාවරය විදේශ කටයුතු හා විදේශ සේවා නියෝජ්‍ය අමාත්‍ය අරුණ හේමචන්ද්‍රගෙන් බීබීසි සිංහල සේවය විමසීමක් කළේ ය.

ශ්‍රී ලංකාව මේ වන විටත් BRICS සාමාජිකත්වය ඉල්ලා ඇතත් නව සාමාජිකයින් එකතු කර ගැනීම BRICS සංවිධානය තාවකාලිකව නවතා ඇති බැවින් මෙරටට එහි සමාජිකත්වය ලබා ගැනීම පමා වී ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.

"BRICS කියනකොට ප්‍රධාන ලෙස රටවල් කිහිපයක් තියෙනවා. ඊට අමතරව දෙවන වටයේ සාමාජිකත්වය ලබා ගත්ත රටවල් කිහිපයක් තියෙනවා. එයාලා පොදුවේ තමයි තීරණය කරන්නේ රටවල් බඳවා ගන්න එක සම්බන්ධව ඉතින් ඒකේ ප්‍රමාදයක් තියෙනවා. ඒක අපි මත ගත්ත තීරණයක් නෙමෙයි සහ අපිට විතරක් වෙනස් කරන්න පුළුවන් දෙයකුත් නෙමෙයි."

රුසියාව, චීනය, ඉන්දියාව සහ බ්‍රසීලය සමග මේ වන විටත් BRICS සාමාජිකත්වය ලබා ගැනීම සම්බන්ධව සාකච්ඡා පවත්වමින් සිටින බව ද අරුණ හේමචන්ද්‍ර නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය.

BRICS සමූහය යනු කුමක් ද? එය නිර්මාණය වී ඇත්තේ ඇයි?

BRICS සමූහයේ සාමාජිකත්වය ලබා ගැනීම දැනට මෙරට ක්‍රියාත්මක IMF වැඩසටහනට බාධාවක් වන්නේ දැයි බීබීසි සිංහල සේවය නියෝජ්‍ය අමාත්‍යවරයාගෙන් විමසා සිටි අතර, "නෑ නෑ එහෙම එකක් නැහැ. එහෙම කිසි ම දෙයක් නැහැ ඒක වෙන යි, මේක වෙන යි. ඒ දෙක වෙනස් තත්ත්ව දෙකක්," යනුවෙන් ඔහු ප්‍රතිචාර දැක්වීය.

2001 වසරේදී, ගෝල්ඩ්මන් සැක්ස් නමැති ආයෝජන බැංකුවේ ආර්ථික විද්‍යාඥයෙකු වන ජිම් ඕ'නීල්, බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව සහ චීනය සඳහා "Bric" යන කෙටි යෙදුම නිර්මාණය කළේ ය.

ඒවා එකල ශීඝ්‍රයෙන් වර්ධනය වන ආර්ථිකයන් තිබූ විශාල, මධ්‍යම ආදායම් ලබන රටවල් වේ. ඒවාට 2050 වන විට ලොව ප්‍රමුඛතම ආර්ථිකයන් ඇති රටවල් බවට පත් විය හැකි බවට ඔහු අනාවැකි පළ කළේ ය.

2006 වසරේදී එම රටවල් හතර බ්‍රික් (Bric) සමූහය ලෙස එක්වීමට තීරණය කළේ ය. එය බ්‍රික්ස් (Brics) කණ්ඩායම බවට පත් වූයේ, දකුණු අප්‍රිකාව 2010 වසරේදී ඊට එක්වූ පසුව ය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව වැනි ජාත්‍යන්තර මූල්‍ය ආයතන ප්‍රතිසංස්කරණය කිරීමේ ක්‍රම පිළිබඳව සොයා බැලීමටත්, නැගී එන ආර්ථිකයන් සඳහා "වඩා වැඩි හඬක් සහ නියෝජනයක්" ඇති කිරීමටත් BRICS සමූහය ගොඩනගා ඇත.

2014 වසරේදී, BRICS රටවල් අමෙරිකානු ඩොලර් බිලියන 250ක අරමුදල් ද ඇතිව නව සංවර්ධන බැංකුව (NBD) පිහිටුවන ලද්දේ, සංවර්ධන කටයුතු වෙනුවෙන් නැගී එන රටවල් සඳහා ණය පහසුකම් යටතේ මුදල් ලබා දීමට ය.

ඊජිප්තුව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය වැනි BRICS සමූහයට අයත් නොවන රටවල් ද නව සංවර්ධන බැංකුව සමග සම්බන්ධ වී තිබේ.