ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
බ්‍රික්ස් කණ්ඩායම යනු කුමක් ද? අරමුණු මොනවා ද?
බ්‍රික්ස් ජාතීන් සමූහය - ආර්ජන්ටිනාව, ඊජිප්තුව, ඉරානය, ඉතියෝපියාව, සවුදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන රටවල් හයකට - සමූහයේ නව සාමාජිකයින් වීමට ආරාධනා කරයි.
ඔවුන් බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව සමග ගෝලීය මූල්‍ය පද්ධතියේ බටහිර ආධිපත්‍යයට අභියෝග කිරීම අරමුණු කරගත් නැගී එන ජාතීන්ගේ සමාජයකට එක්වනු ඇත.
බ්‍රික්ස් සමූහය නිර්මාණය වූයේ කෙසේ ද?
2001 වසරේදී, ගෝල්ඩ්මන් සැක්ස් නමැති ආයෝජන බැංකුවේ ආර්ථික විද්‍යාඥයෙකු වන ජිම් ඕ'නීල්, බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව සහ චීනය සඳහා "Bric" යන කෙටි යෙදුම නිර්මාණය කළේ ය.
ඒවා එකල සීඝ්‍රයෙන් වර්ධනය වන ආර්ථිකයන් තිබූ විශාල, මධ්‍යම ආදායම් ලබන රටවල් වේ. ඒවාට 2050 වන විට ලොව ප්‍රමුඛතම ආර්ථිකයන් ඇති රටවල් බවට පත් විය හැකි බවට ඔහු අනාවැකි පළ කළේ ය.
2006 වසරේදී එම රටවල් හතර බ්‍රික් (Bric) සමූහය ලෙස එක්වීමට තීරණය කළේ ය. එය බ්‍රික්ස් (Brics) කණ්ඩායම බවට පත් වූයේ, දකුණු අප්‍රිකාව 2010 වසරේදී ඊට එක් වූ විට ය.
බ්‍රික්ස් සමූහය කෙතරම් වැදගත් ද?
එක්ව ගත් කළ බ්‍රික්ස් රටවල ජනගහනය බිලියන 3.24ක් වන අතර ඔවුන්ගේ ඒකාබද්ධ ජාතික ආදායම ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 26කි. එය ගෝලීය ආර්ථිකයෙන් 26% ප්‍රතිශතයකි.
කෙසේ වෙතත්, එක්සත් ජනපද බුද්ධි මණ්ඩපයක් වන අත්ලාන්තික් කවුන්සිලයට (Atlantic Council) අනුව, බ්‍රික්ස් ජාතීන්ට එක්සත් ජාතීන්ගේ ප්‍රධාන මූල්‍ය ආයතනය වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ඡන්ද අයිතියෙන් ඇත්තේ 15%ක ප්‍රතිශතයක් පමණි.
බ්‍රික්ස් සමග සම්බන්ධ වීමට අවශ්‍යතාවෙන් පසුවන රටවල් මොනවා ද?
මෑතකදී ජොහැන්නස්බර්ග් හි පැවති බ්‍රික්ස් කණ්ඩායමේ සමුළුව එහි සාමාජිකත්වය පුළුල් කිරීම පිළිබඳ ප්‍රධාන විවාදයක් බවට පත්විය.
ආර්ජන්ටිනාව, ඊජිප්තුව, ඉරානය, ඉතියෝපියාව, සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන රටවලට ඒ සඳහා ආරාධනා කරන බව දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමපෝසා ප්‍රකාශ කළේය.
තවත් බොහෝ රටවල් එහි සාමාජිකයන් වීමට කැමැත්තෙන් පසුවෙයි.
බ්‍රික්ස් සහ ආසියාවේ දකුණු අප්‍රිකානු තානාපති අනිල් සූක්ලාල් පසුගිය දා ප්‍රකාශ කළේ, රටවල් 22ක් නිල වශයෙන් කණ්ඩායමට එක්වීම සඳහා ඉල්ලුම් කර ඇති අතර එම සංඛ්‍යාව ම ඊට සම්බන්ධ වීමට කැමැත්ත පළ කර ඇති බව ය.
ඉරානය, ආර්ජන්ටිනාව, කියුබාව, කසකස්තානය, ඉතියෝපියාව, සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ වෙනිසියුලාව ඊට ඇතුළත් ය.
"බල තුලනය බටහිරින් ඈත් වෙමින් පවතින බවට මතයක් පවතිනවා වගේ ම, තව ත් සංවර්ධනය වෙමින් පවතින රටවල් බ්‍රික්ස් රටවල් වගේ නැගී එන බලවතුන් දෙස බලා ගෙන ඉන්නේ," යැයි මහාචාර්ය කාර්මෝඩි පවසයි.
"ඒත් බ්‍රික්ස් කියන්නේ ඉතා සුවිශේෂී සමූහයක්," ඔහු පවසයි. "නව සාමාජිකයින් ඇතුළත් කර ගැනීමෙන් ඊට ඇති බලපෑම් කිරීමේ හැකියාව හීන වී යාවි ද?"
"මගේ අනුමානය තමයි, රටවල් කිහිපයකට ඇතුළු වීමට ඉඩ ලැබේවි," බට්ලර් පවසයි. "නමුත් ඒවා ඉරානය වගේ සංකීර්ණ රටවල්වලට වඩා ආර්ජන්ටිනාව වගේ රටවල් වේවි."
බ්‍රික්ස් සමූහයේ අරමුණ කුමක් ද?
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව වැනි ජාත්‍යන්තර මූල්‍ය ආයතන ප්‍රතිසංස්කරණය කිරීමේ ක්‍රම පිළිබඳව සොයා බැලීමට ත්, නැගී එන ආර්ථිකයන් සඳහා "වඩා වැඩි හඬක් සහ නියෝජනයක්" ඇති කිරීමට ත් බ්‍රික්ස් සමූහය නිර්මාණය කර ඇත.
2014 වසරේදී, බ්‍රික්ස් රටවල් විසින් අමෙරිකානු ඩොලර් බිලියන 250ක අරමුදල් ද ඇතිව නව සංවර්ධන බැංකුව (NBD) පිහිටුවන ලද්දේ, සංවර්ධන කටයුතු වෙනුවෙන් නැගී එන රටවල් සඳහා ණය පහසුකම් යටතේ මුදල් ලබා දීමට ය.
ඊජිප්තුව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය වැනි බ්‍රික්ස් සමූහයට අයත් නොවන රටවල් ද නව සංවර්ධන බැංකුව සමග සම්බන්ධ වී තිබේ.
බ්‍රික්ස් රටවල් පොදු මුදල් ඒකකයක් නිර්මාණය කරයිද?
බ්‍රසීලයේ සහ රුසියාවේ ප්‍රමුඛ දේශපාලනඥයින් පිරිසක් මෑතකදී බ්‍රික්ස් රටවල් සඳහා මුදල් ඒකකයක් නිර්මාණය කිරීමට යෝජනා කර ඇත්තේ, ජාත්‍යන්තර වෙළෙඳ හා මූල්‍ය කටයුතුවලදී එක්සත් ජනපද ඩොලරය දරන ආධිපත්‍යය අභියෝගයට ලක් කිරීමට ය.
කෙසේ වෙතත්, බ්‍රික්ස් සහ ආසියාවේ දකුණු අප්‍රිකානු තානාපති අනිල් සූක්ලාල් පවසා ඇත්තේ, ජොහැන්නස්බර්ග් සමුළුවේ න්‍යාය පත්‍රයේ එවැනි කරුණක් අන්තර්ගත නොවන බව ය.
"බ්‍රික්" රටවල් පිළිබඳ අදහස මුලින් ම ඇති වූ ගෝල්ඩ්මන් සැක්ස්හි ජිම් ඕ'නීල් එක්සත් රාජධානියේ ෆයිනෑන්ෂල් ටයිම්ස් (Financial Times) පුවත්පතට පවසා ඇත්තේ, පොදු මුදල් ඒකකයක් පිළිබඳව වන අදහස "හාස්‍යජනක" බව ය.
බ්‍රික්ස් රටවල සමානකම් සහ වෙනස්කම් මොනවා ද?
බ්‍රික්ස් සමූහයේ සාමාජිකත්වය දරන සෑම රටක් ම එය අයත් කලාපයේ ප්‍රධාන පෙළේ රටක් බව ඩබ්ලින්හි පිහිටි ට්‍රිනිටි කොලීජියේ සංවර්ධන භූගෝල විද්‍යාඥ මහාචාර්ය පැඩ්රයිග් කාර්මෝඩි පවසයි.
"කොහොම උණත් චීනය බලවතා බවට පත් වෙලා තියෙන්නේ," ඔහු පවසයි. "බ්‍රිස්ක් හරහා, චීනය දැනට පවතින ජාත්‍යන්තර ක්‍රමවේදය ප්‍රතිසංස්කරණය කිරීමට නැත්නම් පෙරලා දැමීම වෙනුවෙන් ඉල්ලීම් කරන ගෝලීය දකුණේ රටවල්වල ප්‍රමුඛ හඬ ලෙස පෙනී ඉන්නවා."
කෙසේ වෙතත්, ආසියා පැසිෆික් කලාපයේ චීනයේ ප්‍රතිවාදියා වන්නේ ඉන්දියාව යි. ඉන්දියාව චීනය සමග දිගුකාලීන දේශසීමා ආරවුලක පැටලී සිටින අතර, කලාපය තුළ චීනයේ බලපෑමේ ව්‍යාප්තිය පරීක්ෂා කිරීමට එක්සත් ජනපදය සහ අනෙකුත් අය සමග කටයුතු කරමින් සිටියි.
බ්‍රික්ස් රටවල් බටහිර රටවල් සමග කටයුතු කරන ආකාරයෙන් ද වෙනස් වෙයි.
"රුසියාව බ්‍රික්ස් සමූහය දකින්නේ, බටහිරට එරෙහි සටනේ කොටසක් විධියට, යුක්රේනය ආක්‍රමණය කිරීම නිසා බටහිර රටවල් විසින් පනවන ලද සම්බාධක ජය ගන්න උදව් වන්නක් විධියට," ලන්ඩන් පදනම් කරගත් බුද්ධි මණ්ඩපයක් වන චැතම් හවුස්හි ගෝලීය ආර්ථිකය සහ මූල්‍ය වැඩසටහනේ අධ්‍යක්ෂ ක්‍රියොන් බට්ලර් පවසයි.
රුසියානු තෙල් ආනයනය සඳහා බටහිර ජාතීන් විසින් සම්බාධක පනවනු ලැබීමෙන් පසුව, එරට විශාලතම ගනුදෙනුකරුවන් බවට පත්ව ඇත්තේ, ඉන්දියාව සහ චීනය යි.
රුසියාව 2023 පෙබරවාරි මාසයේදී චීනය සහ දකුණු අප්‍රිකාව සමග ඒකාබද්ධ නාවික අභ්‍යාස ද පැවැත්වීය.
කෙසේ වෙතත්, අනෙකුත් බ්‍රික්ස් සාමාජිකයින්ට විවෘතව බටහිර විරෝධී ලෙස කටයුතු කිරීමේ අවශ්‍යතාවක් නොපවතියි.
"දකුණු අප්‍රිකාවට, බ්‍රසීලයට සහ ඉන්දියාවට බෙදුණු ලෝකයක් අවශ්‍ය නැහැ,” බට්ලර් පවසයි. "බටහිරට විරුද්ධ වීම ඔවුන්ගේ ආරක්ෂාවට සහ දියුණුවට ඒ තරම් හොඳ දෙයක් නෙවෙයි."