මෙවර නොබෙල් සාම ත්‍යාගය දිනා ගන්නේ කවුද? - නොබෙල් ඉතිහාසයේ සාම ත්‍යාග ලැබූ මතභේදාත්මක පුද්ගලයින් 6 දෙනෙක්

මෙම වසරේ නොබෙල් සාම ත්‍යාගයේ ජයග්‍රාහකයා හෙට (ඔක්තෝබර් 10) ඔස්ලෝහිදී ප්‍රකාශයට පත් කිරීමට නියමිත ය.

මෙම ත්‍යාගය හිමි කර ගැනීම ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දිගුකාලීන ඉලක්කයක් බව වාර්තා වන අතර, ඔහු මීට පෙර යුද්ධ කිහිපයක් අවසන් කළ බව ඔහු ප්‍රකාශ කර ඇත. (නමුත් මෑතකදී ඔහු සම්මානය ලබා ගැනීමට අවශ්‍ය බවට කළ යෝජනා බැහැර කළේ ය).

ට්‍රම්ප්ගේ නම නොබෙල් සාම ත්‍යාගය සඳහා යෝජනා කළ බව ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු මේ වසර මුලදී පැවසීය.

මෙම තක්සේරුව නෙතන්යාහුගේ පමණක් නොවිය හැකි ය - ජූනි මාසයේදී පකිස්ථානය නිවේදනය කළේ, ට්‍රම්ප් සාම ත්‍යාගය සඳහා නම් කිරීමට සැලසුම් කර ඇති බව ය.

ඒ, මැයි මාසයේදී ඉන්දියාව සහ පකිස්ථානය අතර සටන් විරාමයක් සඳහා සාකච්ඡා කිරීමට සහය දීමේදී ඔහු ඉටු කළ කාර්යභාරය උපුටා දක්වමිනි.

ඊළඟ දිනයේ ම එක්සත් ජනපදය අසල්වැසි ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට බෝම්බ හෙළීමෙන් පසු මෙය සමාජ මාධ්‍යවල දැඩි විවේචනයට ලක් විය.

ලොව කීර්තිමත් ම සම්මානයක් ලෙස සැලකෙන නොබෙල් සාම ත්‍යාගය, දිවංගත ස්වීඩ්න් විද්‍යාඥයෙකු, ව්‍යාපාරිකයෙකු සහ දානපතියෙකු වූ ඇල්ෆ්‍රඩ් නොබෙල් විසින් නිර්මාණය කරන ලද සම්මාන පහෙන් එකකි. (ආර්ථික විද්‍යාව සඳහා වන හය වන සම්මානය පසුව එක් කරන ලදී).

ජයග්‍රාහකයින් තෝරා ගනු ලබන්නේ, නෝර්වීජියානු පාර්ලිමේන්තුව විසින් තෝරා පත් කර ගන්නා ලද පස් දෙනෙකුගෙන් යුත් කමිටුවක් විසිනි.

සාම ත්‍යාගය හිමි වුවහොත්, බොහෝ දෙනෙකු ට්‍රම්ප් මතභේදාත්මක ත්‍යාගලාභියෙකු ලෙස සලකනු ඇත. එහෙත්, එහි දේශපාලන ස්වභාවය නිසා, සාම සම්මානය අනෙක් ක්ෂේත්‍ර 5ට වඩා බොහෝ විට මතභේදයට ලක්ව තිබේ.

මේ, වඩාත් ම මතභේදයට තුඩු දුන් ත්‍යාගලාභීන් 6 දෙනෙකු පිළිබඳ තොරතුරු ය.

බරැක් ඔබාමා

2009 වසරේදී හිටපු ඇමෙරිකානු ජනාධිපති බරැක් ඔබාමා නොබෙල් සාම ත්‍යාගය දිනා ගත් විට, සම්මාන ලාභියා ද ඇතුළුව බොහෝ දෙනෙක් ව්‍යාකූල වූහ.

ඔබාමා ඔහුගේ 2020 මතක සටහන් ග්‍රන්ථයේ පවා ලියා ඇත්තේ, ඔහු සාම ත්‍යාගය දිනූ බවට ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් ඔහුගේ පළමු ප්‍රතිචාරය වූයේ "ඒ මොනවා කළාට ද?" කියා ඇසූ බව ය.

ඔහු ජනාධිපති ධූරයට පත්ව මාස නවයක කාලයකින් සාම ත්‍යාගය සඳහා නම් කෙරුණු අතර, විචාරකයින් මෙම තීරණය අකාලයේ සිදු වූවක් ලෙස හැඳින්වූහ - සැබවින් ම, නාම යෝජනා ඉදිරිපත් කිරීමේ අවසාන දිනය ඔබාමාගේ පදවි ප්‍රාප්තියෙන් දින 12කට පසුව අවසන් වී තිබිණි.

2015 දී, නොබෙල් ආයතනයේ හිටපු අධ්‍යක්ෂ ගයර් ලුන්ඩෙස්ටාඩ්, සම්මානය පිළිබඳව තීරණය කළ කමිටුව එම තීරණය ගැන කනගාටු වන බව බීබීසීයට පැවසීය.

ජනාධිපති ඔබාමාගේ ධූර කාලයන් දෙක තුළ ඇමෙරිකානු හමුදා ඇෆ්ඝනිස්ථානයේ, ඉරාකයේ සහ සිරියාවේ සටන් වැදිණි.

යසර් අරෆත්

1990 දශකයේ ඊශ්‍රායල්-පලස්තීන ගැටුමට විසඳුමක් පිළිබඳ බලාපොරොත්තුවක් ලබා දුන් ඔස්ලෝ සාම ගිවිසුම් සම්බන්ධයෙන් කළ කටයුතු වෙනුවෙන්, අභාවප්‍රාප්ත පලස්තීන නායකයාට 1994 දී එවකට ඊශ්‍රායල් අගමැති යිට්සාක් රාබින් සහ ඊශ්‍රායල් විදේශ අමාත්‍ය ෂිමොන් පෙරෙස් විසින් ඔහුට සාම ත්‍යාගය පිරිනමන ලදී.

පැරාමිලිටරි ක්‍රියාකාරකම්වල නියැලී සිටි යසර් අරෆත්ට සාම ත්‍යාගය පිරිනැමීමට ගත් තීරණය, ඊශ්‍රායලය තුළ සහ ඉන් ඔබ්බට ද විවේචනයට ලක්විය.

ඇත්ත වශයෙන් ම, අරෆත්ගේ නාමයෝජනාව නොබෙල් කමිටුව තුළ ම කැළඹීමක් ඇති කළේ ය.

කමිටුවේ සාමාජිකයෙකු වූ නෝර්වීජියානු දේශපාලනඥයෙකු වන කෙයාර් ක්‍රිස්ටියන්සන් විරෝධතාව පළ කිරීමක් ලෙස ඉන් ඉල්ලා අස්විය.

හෙන්රි කිසිංගර්

1973 දී එවකට එක්සත් ජනපද රාජ්‍ය ලේකම් හෙන්රි කිසිංගර්ට සාම ත්‍යාගය හිමි විය.

කාම්බෝජයේ රහසිගත බෝම්බ හෙළීම් සහ දකුණු ඇමෙරිකාවේ මිනීමරු හමුදා පාලන තන්ත්‍රයන්ට සහය දීම වැනි ඇමෙරිකානු විදේශ ප්‍රතිපත්තියේ වඩාත් ම මතභේදාත්මක පියවර කිහිපයකට සම්බන්ධ වූ පුද්ගලයෙකුට මෙම සම්මානය පිරිනැමීම බොහෝ දෙනෙකු තුළ විමතියක් ජනිත කළේ ය.

වියට්නාම් යුද්ධය අතරතුර සටන් විරාමයක් සාකච්ඡා කිරීමේදී ඔවුන් දැක්වූ කාර්යභාරය වෙනුවෙන් කිසිංගර්ට උතුරු වියට්නාම නායක ලී ඩුක් තෝ සමග එක්ව සාම ත්‍යාගය පිරිනමන ලදී.

නොබෙල් ත්‍යාග කමිටු සාමාජිකයින් දෙදෙනෙකු විරෝධතාවක් ලෙස ඉල්ලා අස්වූ අතර, නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත එම සම්මානය නොබෙල් යුද ත්‍යාගය ලෙස හඳුන්වමින් එම ප්‍රවෘත්තියට ප්‍රතිචාර දැක්වීය.

ඇබී අහමඩ්

අසල්වැසි එරිත්‍රියාව සමග දීර්ඝ කාලයක් තිස්සේ පැවති දේශසීමා ගැටුමක් විසඳීමට දැරූ උත්සහය වෙනුවෙන් 2019 දී ඉතියෝපියානු අගමැතිවරයාට සාම ත්‍යාගය පිරිනමන ලදී.

නමුත් වසරකට මදක් වැඩි කාලයක් ගත වූ පසු, එය නිවැරදි තීරණයක් ද? යන්න පිළිබඳව ප්‍රශ්න කරන ලදී.

ටයිග්‍රේහි උතුරු ප්‍රදේශයට ඇබී අහමඩ් හමුදා යෙදවීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රජාව ඔහු විවේචනයට ලක්කළේ ය.

මෙය සිවිල් යුද්ධයකට තුඩු දුන් අතර එහිදී මිලියන ගණනකට ආහාර, ඖෂධ සහ අනෙකුත් මූලික සේවාවන් අහිමි වූ අතර පුද්ගලයින් ලක්ෂ ගණනක් මිය ගිය බව සැලකේ.

අවුං සාන් සූ කී

මියන්මාරයේ හමුදා පාලනයට එරෙහිව සිදු කළ අවිහිංසාවාදී අරගලය වෙනුවෙන් 1991 දී බුරුම දේශපාලනඥයෙකු වන අවුං සාන් සූ කී නොබෙල් සාම ත්‍යාගය දිනා ගැනීම ලෝකයේ අතිශයින් අවධානයට ලක්විය.

එහෙත්, වසර 20කට වැඩි කාලයකට පසු, එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් "ජන සංහාරයක්" ලෙස හඳුන්වනු ලබන තම රටේ මුස්ලිම් රොහින්ග්‍යා ජනයාගේ සමූහ ඝාතන සහ බරපතළ මානව හිමිකම් උල්ලංඝණයන්ට එරෙහිව කතා කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් අවුං සාන් සූ කී දැඩි විවේචනයට ලක් විය.

ඇයට පිරිනැමූ සම්මානය අහිමි කරන ලෙස පවා ඉල්ලීම් ඉදිරිපත් වූ නමුත් නොබෙල් ත්‍යාග නියාමනය කරන නීතිරීති එවැනි පියවරකට ඉඩ නොදේ.

වන්ගාරි මාතායි

අභාවප්‍රාප්ත කෙන්යානු ක්‍රියාකාරිනියක වන වන්ගාරි මාතායි 2004 වසරේදී නොබෙල් ත්‍යාගය දිනා ගත් පළමු අප්‍රිකානු කාන්තාව බවට පත්විය.

මිලියන ගණනක් ගස් සිටුවීමේ ගෞරවය හිමි හරිත භූමි ව්‍යාපාරය (Green Belt Movement) වෙනුවෙන් ජීව විද්‍යාඥවරියක වූ ඇය මෙම ත්‍යාගය දිනා ගත්තා ය.

නමුත් HIV සහ ඒඩ්ස් සම්බන්ධයෙන් ඇයගේ අදහස් සමාජගත වීමෙන් පසු ඇගේ සම්මානය විවේචනයට ලක් විය.

මාතායි යෝජනා කළේ, HIV වෛරසය කළු ජාතිකයන් විනාශ කිරීම සඳහා ජීව විද්‍යාත්මක අවියක් ලෙස කෘත්‍රිමව නිර්මාණය කර ඇති බවට ය.

ඇයගේ ප්‍රකාශය තහවුරු කිරීමට විද්‍යාත්මක සාක්ෂි හමුවී නොමැත.

සුවිශේෂී මගහැරීම්: සාම ත්‍යාගයක පහස නොවිඳි ගාන්ධි

නොබෙල් ත්‍යාගය සමහර අතපසුවීම් සඳහා ද ප්‍රසිද්ධ ය.

සාම ත්‍යාග කාණ්ඩයේ, ඇතැම් විට වඩාත් ම සුවිශේෂී මගහැරීම මහත්මා ගාන්ධි විය හැකි ය.

20 වන සියවසේ සාමවාදී ව්‍යාපාරවල සංකේතයක් බවට පත්ව සිටි මෙම ඉන්දීය දේශපාලනඥයාගේ නම සාම ත්‍යාගය සඳහා පස් වරක් නිර්දේශ වී ඇතත්, කිසි විටෙකත් සම්මානය නොලැබිණි.

2006 වසරේදී, සාම ත්‍යාගලාභීන් තෝරා ගන්නා කමිටුවේ එවකට සභාපතිවරයා වූ නෝර්වීජියානු ඉතිහාසඥ ගයර් ලුන්ඩෙස්ටාඩ් පැවසුවේ, සාමය වෙනුවෙන් ගාන්ධි ඉටු කළ මෙහෙය සඳහා පිළිගැනීමක් ලබා නොදීම නොබෙල් ත්‍යාග ඉතිහාසයේ සිදුවූ බරපතළ ම අතපසුවීම බව ය.