ජිමී කාටර්: ධනවත්වීම අභිලාෂය කර නොගත් සරල ජනපති

ඇමරිකාවේ හිටපු ජනාධිපති ජිමී කාටර් අභාවප්‍රාප්ත වූ බව ඔහුගේ පදනම තහවුරු කර තිබේ.

හිටපු රටකජු ගොවියෙකු වූ ඔහු, ඉතිහාසයේ අන් සියලුම ජනාධිපතිවරුන්ට වඩා වැඩි කාලයක් ජීවත් වූ අතර, පසුගිය ඔක්තෝබර් මාසයේදී ඔහුගේ 100 වන උපන්දිනය සැමරුවේ ය.

ලොව පුරා ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම සඳහා පිහිටුවා ඇති කාටර් මධ්‍යස්ථානය නිවේදනය කළේ ඔහු ජෝර්ජියාවේ ප්ලේන්ස් හි පිහිටි ඔහුගේ නිවසේදී ඉරිදා දහවල් අභාවප්‍රාප්ත වූ බවයි.

වෝටර්ගේට්වලින් පසු ඇති වූ කලබලකාරී වාතාවරණය මධ්‍යයයේ ජිමී කාටර් බලයට පත්වූයේ ඇමෙරිකානු ජනතාවට කිසි විටෙකත් බොරු නොකියන බවට පොරොන්දුවක් ලබා දෙමින් ය.

ජෝර්ජියානු රටකජු ගොවියා වියට්නාමයේ අනිවාර්ය යුද සේවයට යාම පැහැර හැරි අයට සමාව දුන් අතර, දේශගුණික විපර්යාස බැරෑරුම් ලෙස සැලකූ පළමු එක්සත් ජනපද නායකයා ද විය.

ජාත්‍යන්තර වශයෙන් ඔහු ඊජිප්තුව සහ ඊශ්‍රායලය අතර ඓතිහාසික සාම ගිවිසුමකට මැදිහත් වූ නමුත්, ඉරාන ප්‍රාණ ඇපකරුවන්ගේ අර්බුදය සහ ඇෆ්ඝනිස්ථානයේ සෝවියට් ආක්‍රමණය ඔහුට අසීරු අභියෝග විය.

1970 දශකය තුළ සබඳතා වැඩිදියුණු වීමත් සමඟ 1979 දී වොෂින්ටනය බීජිං සමඟ විධිමත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇති කර ගන්නා බව කාටර් නිවේදනය කළේ ය.

මෙනිසාම එක්සත් ජනපදයට තායිවානය සමඟ සබඳතා බිඳ දැමීමට සිදු වූ අතර එහි තායිපේ තානාපති කාර්යාලය වසා දැමීමට සිදු විය.

එක් ධුර කාලයකින් පසු, ඔහුව රොනල්ඩ් රේගන් විසින් පරාජය කරන ලද අතර,1980 දී දිනාගත්තේ ප්‍රාන්ත හයක් පමණි.

ධවල මන්දිරයෙන් ඉවත් වීමෙන් පසු කාටර් සාමය, පරිසරය සහ මානව හිමිකම් ප්‍රවර්ධනය සඳහා වෙහෙසුණු අතර ඔහුගේ උත්සාහය සඳහා නොබෙල් සාම ත්‍යාගය දිනා ගත්තේ ය.

2023 නොවැම්බර් මාසයේදී ඇය මිය යන තුරුම ඔහුගේ බිරිඳ රොසලින්ගේ සහාය වසර 77 ක් තිස්සේ ඔහුට ලැබුණි. ඇයට උපහාර වශයෙන් ඔහු පැවසුවේ "මා මෙතෙක් ඉටු කළ සෑම දෙයකටම මගේ සමාන සහකරු ඇය," බවයි.

එක්සත් ජනපද ඉතිහාසයේ වැඩිම කාලයක් ජීවත් වූ ජනාධිපතිවරයා වන ඔහු පිළිකා රෝගයට ප්‍රතිකාර ලබා ඇති අතර ජෝර්ජියාවේ ඔහුගේ නිවසේදී වෛද්‍ය රැකවරණය යටතේ ජීවත් විය.

පැසිපන්දු සහ බැප්ටිස්ට් ඇදහිල්ල

ජේම්ස් අර්ල් කාටර් ජූනියර් 1924 ඔක්තෝබර් 1 වන දින ජෝර්ජියාවේ කුඩා නගරයක් වූ ප්ලේන්ස් හි උපත ලැබූ අතර ඔහු දරුවන් සිව් දෙනෙකුගෙන් වැඩිමලා විය.

ඔහුගේ වර්ගවාදී පියා පවුලේ රටකජු ව්‍යාපාරය ආරම්භ කළ අතර ඔහුගේ මව ලිලියන් හෙදියක් විය.

උසස් පාසලේ දක්ෂ පැසිපන්දු ක්‍රීඩකයෙකු වූ කාටර්, මහා ආර්ථික අවපාතයේ ලද අත්දැකීම් සහ ඔහුගේ ශක්තිමත් බැප්ටිස්ට් ඇදහිල්ල මත ඔහුගේ දේශපාලන දර්ශනය හැඩගස්වා ගත්තේ ය.

ඔහු එක්සත් ජනපද නාවික හමුදාවේ වසර හතක් ගත කළ අතර ඒ කාලයේදී ඔහු තම සහෝදරියගේ මිතුරියක වූ රොසලින් සමඟ විවාහ වීම ද සබ්මැරීන නිලධාරියෙකු බවට පත් වීම ද සිදු විය. කෙසේ වෙතත්, 1953 දී ඔහුගේ පියාගේ මරණයෙන් පසු, ඔහු බිඳ වැටෙමින් තිබූ පවුල් ගොවිපොළ කළමනාකරණය කිරීම සඳහා නැවත පැමිණියේ ය.

පළමු වසරේ වගාව නියඟය හේතුවෙන් අසාර්ථක වූ නමුත් කාටර් තම ව්‍යාපාරය දියුණු කරගෙන ධනවත් විය.

ජෝර්ජියා සෙනෙට් සභාවට තරග කිරීමට පෙර ඔහු ප්‍රදේශය පාසල් සහ පුස්තකාල මණ්ඩල මාලාවකට තේරී පත් වෙමින් දේශපාලනයේ පළමු පියවරට පිවිසියේ ය.

සිවිල් අයිතිවාසිකම් ක්‍රියාකාරී

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පාසල්වල වාර්ගිකත්වය මත පදනම්ව කර තිබූ වෙන් කිරීම් අහෝසි කිරීමත් සමඟ ඇමෙරිකානු දේශපාලනය උණුසුම් විය.

දකුණු ප්‍රාන්තයක ගොවි පසුබිමකින් පැමිණි කාටර් ප්‍රතිසංස්කරණයට විරුද්ධ වනු ඇතැයි ඇතැමුන් අපේක්ෂා කළ නමුත් ඔහු දැරුවේ තම පියාට වඩා වෙනස් අදහසකි.

ප්‍රාන්ත සෙනෙට් සභාවේ වාර දෙකක් සේවය කරන අතරතුර, ඩිමොක්‍රටික් පක්ෂයේ බොහෝ දෙනෙක්ද ඇතුළුව මෙම වර්ගවාදී වෙන් කිරීම්වලට එරෙහි වන්නන් සමඟ ඇතිවන්නට ගිය ගැටුම් වළක්වා ගත්තේ ය.

නමුත් 1970 දී ජෝර්ජියාවේ ආණ්ඩුකාරයා බවට පත්වීමෙන් පසු සිවිල් අයිතිවාසිකම් සඳහා ඔහුගේ නැඹුරුව වඩා වැඩි විය.

"වාර්ගික වෙනස්කම් සිදු වූ කාලය අවසන් බව මම ඔබට ඉතා පැහැදිලිව කියනවා," යි ඔහුගේ සමාරම්භක කතාවේදී ඔහු විවෘතව ප්‍රකාශ කළේ ය.

කු ක්ලක්ස් ක්ලාන් පිරිස් කැපිටල් ගොඩනැගිල්ල පිටත විරෝධතාවයේ යෙදෙන අතර, ඔහු මාටින් ලූතර් කිංගේ පින්තූර කැපිටල් ගොඩනැගිල්ල තුළ එල්ලා තැබුවේ ය. එමෙන්ම අප්‍රිකානු ඇමෙරිකානුවන් රජයේ තනතුරුවලට පත් කිරීමට ද ඔහු වග බලා ගත්තේ ය.

කෙසේ වෙතත්, ගබ්සා නීතිය සම්බන්ධයෙන් ඔහුගේ ලිබරල් මත සහ ඔහුගේ ශක්තිමත් ක්‍රිස්තියානි ඇදහිල්ල සමතුලිත කිරීම ඔහුට අපහසු විය. ගැබ් ගැනීම අවසන් කිරීමට කාන්තාවන්ට ඇති අයිතියට ඔහු සහාය දැක්වුවද, ඒ සඳහා අරමුදල් වැඩි කිරීම ඔහු ප්‍රතික්ෂේප කළේ ය.

කාටර් 1974 දී සිය ජනාධිපතිවරණ මැතිවරණ ව්‍යාපාරය දියත් කරන විටත්, ඇමෙරිකාව වෝටර්ගේට් සිද්ධියෙන් පසු යථා තත්ත්වයට පත්වෙමින් සිටි අතර, සැක සහිත ආචාර ධර්ම සහිත කැපිටල් හිල් දේශපාලනඥයන් හමුවේ ඔහු සරළ රටකජු ගොවියෙකු ලෙස ඉදිරිපත් විය.

ධවල මන්දිරයේ ජීන්ස් ඇඳි ජනාධිපති

ඔහු පැමිණි කාලය ඔහුට වාසිදායක විය. ඇමෙරිකානුවන්ට පිටස්තරයෙක් අවශ්‍ය වූ අතර, කාටර් එයට ගැලපුණි.

ප්ලේබෝයි සඟරාව සමඟ සම්මුඛ සාකච්ඡාවකදී ඔහු "මගේ හදවතින් බොහෝ වාරයක් කාමය වරදවා හැසිරී ඇති," බව පිළිගත් විට බොහෝ දෙනා පුදුම වූහ. කෙසේ වෙතත් ඔහුගේ අතීතයේ නින්දාසහගත රහස් තිබුණේ නැත.

ආරම්භයේ සමීක්ෂණවලින් පෙනී ගියේ ඔහුට ඩිමොක්‍රටිකයින්ගෙන් 4% ක් පමණක් සහාය දෙන බවයි. එහෙත් ඉන් මාස නවයකට පසු, ඔහු එවකට ජනපති ජෙරල්ඩ් ෆෝඩ්ව බලයෙන් පහ කළේ ය.

සිය ධුරයේ පළමු සම්පූර්ණ දිනයේදී, විදේශගත වී සිටීමෙන් හෝ ඔවුන්ගේ දේශීය කෙටුම්පත් මණ්ඩලයේ ලියාපදිංචි වීමට අපොහොසත් වීමෙන් වියට්නාමයේ සේවය මගහැර සිටි සිය දහස් සංඛ්‍යාත මිනිසුන්ට ඔහු සමාව ප්‍රදානය කළේ ය.

රිපබ්ලිකන් විවේචකයෙකු සහ සෙනෙට් සභිකයෙකු වන බැරී ගෝල්ඩ්වෝටර් මෙම තීරණය විස්තර කළේ "ජනාධිපතිවරයෙකු මෙතෙක් කළ නින්දිතම දෙය," ලෙසටය. කාටර් පැවසුවේ එය තමා ධුරයේ ගත් දුෂ්කරම තීරණය බවයි.

ඔහු ප්‍රධාන තනතුරු සඳහා කාන්තාවන් පත් කළ අතර, පළමු කාන්තාව ලෙස ක්‍රියාකාරී කාර්යයක් ඉටු කිරීමට රොසලින්ව දිරිමත් කළේ ය. එමෙන්ම එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සමාන අයිතිවාසිකම් සංශෝධනය සඳහාද පෙනී සිටි අතර ලිංගිකත්වය මත පදනම් වූ වෙනස් කොට සැලකීමට එරෙහිව නීතිමය ආරක්ෂාව සැපයීම එහි අරමුණ විය. එහෙත් එය සාර්ථක වූයේ නැත.

දේශගුණික විපර්යාස බැරෑරුම් ලෙස සැලකූ පළමු ජාත්‍යන්තර නායකයන්ගෙන් කෙනෙකු වූ කාටර්, බලශක්ති සංරක්ෂණය කිරීම සඳහා උණුසුම් කිරීම් ප්‍රතික්ෂේප කරමින්, උණුසුම ලැබීම සඳහා ධවල මන්දිරයේ ජීන්ස් සහ කබා පැළඳ සිටියේ ය.

ඔහු වහලය මත සූර්ය පැනල සවි කළේ ය. ඒවා පසුව ජනාධිපති රොනල්ඩ් රේගන් විසින් ඉවත් කරන ලදී. එමෙන්ම ඇලස්කාවේ අක්කර මිලියන ගණනක ඉඩම් සංවර්ධනය නොකර ස්වභාවිකත්වය ආරක්ෂා කිරීම සඳහා නීති සම්මත කළේය.

විනාශකාරී ගලවා ගැනීමේ මෙහෙයුමක්

ඔහුගේ රූපවාහිනී "ෆයර්සයිඩ් චැට්" හිතාමතාම ලිහිල් කරන ලද නමුත්, ගැටළු වර්ධනය වන විට මෙම ප්‍රවේශය ඉතා අවිධිමත් විය.

ඇමෙරිකානු ආර්ථිකය අවපාතයකට අවතීර්ණ වීමත් සමඟ කාටර්ගේ ජනප්‍රියත්වය පහත වැටෙන්නට පටන් ගත්තේ ය.

පෙට්රල් සලාක ක්‍රමය ඇතුළුව බලශක්ති අර්බුදය විසඳීම සඳහා දැඩි ක්‍රියාමාර්ග අනුගමනය කරන බව රටට ඒත්තු ගැන්වීමට ඔහු උත්සාහ කළ නමුත් කොන්ග්‍රසයේ දැඩි විරෝධයට මුහුණ දීමට ඔහුට සිදු විය.

විශ්වීය සෞඛ්‍ය සේවා පද්ධතියක් සඳහා වූ සැලසුම් ද ව්‍යවස්ථාදායකය තුළ අසාර්ථක වූ අතර විරැකියාව මෙන්ම පොලී අනුපාතයද ඉහළ ගියේ ය.

ඔහුගේ මැදපෙරදිග ප්‍රතිපත්ති සාර්ථකව ආරම්භ වූ අතර, 1978 දී ඊජිප්තු ජනාධිපති සදාත් සහ ඊශ්‍රායල අගමැති බෙජින්, කෑම්ප් ඩේවිඩ් ගිවිසුම අත්සන් කළහ.

නමුත් විදේශයන්හි ලද සාර්ථකත්වයත් කෙටි කාලීන විය. ඇමෙරිකානුවන් පිරිසක් ප්‍රාණ ඇපයට ගත් ඉරාන විප්ලවය සහ සෝවියට් සංගමයේ ඇෆ්ගනිස්ථාන ආක්‍රමණය දරුණු අර්බුද බවට පත්විය.

කාටර් ටෙහෙරානය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා බිඳ දැමූ අතර ඇමෙරිකානුවන් නිදහස් කර ගැනීම සඳහා ගන්නා උත්සාහයක් ලෙස වෙළඳ සම්බාධක ක්‍රියාත්මක කළේ ය.

බලහත්කාරයෙන් ඔවුන් බේරා ගැනීමට ගත් උත්සාහය ඛේදවාචකයක් වූ අතර ඇමෙරිකානු සෙබළුන් අට දෙනෙකු එහිදී මිය ගියහ. මෙම සිදුවීම ජනපතිවරයාගේ නැවත තේරී පත්වීමේ බලාපොරොත්තුවකට හානි සිදු කළේ ය.

රේගන් විසින් පරාජය කිරීම

1980 ඩිමොක්‍රටික් ජනාධිපති අපේක්ෂකත්වය සඳහා, කාටර්, සෙනෙට් සභික එඩ්වඩ් කෙනඩිගෙන් ප්‍රබල අභියෝගයකට මුහුණ දුන් අතර ඊළඟ මැතිවරණයේදී ජනප්‍රිය ඡන්දවලින් 41% ක් ලබා ගත්තේය.

නමුත් ඔහුගේ රිපබ්ලිකන් ප්‍රතිවාදී රොනල්ඩ් රේගන් පරාජය කිරීමට එය ප්‍රමාණවත් නොවීය. හිටපු නළුවා ධවල මන්දිරයට පිවිසියේ සුවිශාල ජයග්‍රහණයක් ලබමිනි.

කාටර් සිය ජනාධිපති ධුරයේ අවසන් දිනයේදී ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සඳහා වූ සාකච්ඡා සාර්ථකව අවසන් කළ බව නිවේදනය කළේ ය. ඉරානය ජනාධිපති රේගන් දිවුරුම් දෙන තෙක්, ප්‍රාණ ඇපකරුවන් පිටත්ව යන වේලාව ප්‍රමාද කර තිබුණි.

ධුරයෙන් ඉවත් වූ පසු, කාටර්ට ලැබුණේ එක්සත් ජනපද ජනාධිපතිවරුන් අතරින් අඩුම ශ්‍රේණිගත කිරීම්වලින් එකකි. නමුත් ඊළඟ වසරවලදී, ඔහු තම කීර්තිය යථා තත්වයට පත් කර ගැනීම සඳහා වෙහෙස මහන්සි වී වැඩ කළේ ය.

එක්සත් ජනපද රජය වෙනුවෙන්, ඔහු උතුරු කොරියාවට සාම මෙහෙයුමක් මෙහෙයවූ අතර, න්‍යෂ්ටික අවි ගබඩාව බිඳ දැමීම සඳහා මූලිකවූ සාකච්ඡාවලට එය අඩිතාලම දැමීය.

කාටර්ගේ පුස්තකාලයවන ජනාධිපති මධ්‍යස්ථානය, ජාත්‍යන්තර ගැටළු සහ අර්බුද විසඳීමේ වැඩසටහන්වල බලගතු මධ්‍යස්ථානයක් බවට පත්විය.

2002 දී කාටර්, තියඩෝර් රූස්වෙල්ට් සහ වුඩ්රෝ විල්සන්ට පසුව නොබෙල් සාම ත්‍යාගය දිනාගත් තුන්වන එක්සත් ජනපද ජනාධිපතිවරයා බවට පත් වූ අතර පශ්චාත් ජනාධිපති ධුර කාලයේ කටයුතු සඳහා එය උපයා ගත් එකම තැනැත්තා බවට පත්විය.

"වඩාත්ම බරපතල හා විශ්වීය ගැටළුව, වන්නේ ලෝකයේ ධනවත්ම හා දුප්පත්ම ජනතාව අතර වර්ධනය වන පරතරයයි," යැයි ඔහු සිය නොබෙල් දේශනයේ දී පැවසුවේ ය.

නෙල්සන් මැන්ඩෙලා සමඟ ඔහු " ද එල්ඩර්ස්' නමින් මානව හිමිකම් පිළිබඳ වැඩ කිරීමට කැපවූ ගෝලීය නායකයින් එකතුවක සංවිධානයක් නිර්මාණය කළේ ය.

ධනවත් වීමට අභිලාෂයකින් තොරව

විශ්‍රාම යමෙන් පසුව කාටර් සරල ජීවන රටාවක් තෝරා ගත්තේය.

රොසලින් සහ ඔහු දෙදෙනාගේම උපන් ප්‍රදේශය වන ජෝර්ජියාවේ ප්ලේන්ස් හි සරල ජීවිතයක් ගත කිරීම සඳහා ඔහු ප්‍රසිද්ධ දේශනවලට සහභාගී වීම සහ ව්‍යාපාරික මණ්ඩලවල තනතුරු ප්‍රතික්ෂේප කළේ ය.

ඕවල් කාර්යාලයේ ගත කළ කාලයේදී මුදල් ඉපයීමට කාටර්ට අවශ්‍ය වූයේ නැත.

"මම එහි වරදක් දකෙන්නේ නැහැ. එය කිරීම ගැන මම අනෙක් පුද්ගලයින්ට දොස් කියන්නෙත් නැහැ," ඔහු වොෂින්ටන් පෝස්ට් පුවත්පතට පැවසුවේ ය. "ධනවත් වීම කිසි විටෙකත් මගේ අභිලාෂය වුණේ නැහැ."

ඔහු දේශපාලනයට පිවිසීමට පෙර ජීවත් වූ තනි මහලකින් සහ නිදන කාමර දෙකකින් යුත් නිවසට පූර්ණ කාලීනව ජීවත් වීමට ආපසු පැමිණි එකම නූතන ජනාධිපතිවරයා ය.

පෝස්ට් පුවත්පතට අනුව, කාටර්වරුන්ගේ නිවසේ වටිනාකම ඩොලර් 167,000 ක් විය. එය ඔවුන් ආරක්ෂා කිරීම සඳහා නිවසින් පිටත නවතා ඇති රහස් සේවා වාහනවල වටිනාකමට වඩා අඩු වටිනාකමකි.

2015 දී ඔහු, තමන් පිළිකාව සඳහා ප්‍රතිකාර ලබන බව නිවේදනය කළේ ය. ඔහුගේ දෙමව්පියන් සහ සහෝදරියන් තිදෙනාම මිය ගියේ ද පිළිකා රෝගයෙනි.

උකුල බිඳී යාමෙන් කළ සැත්කමකින් මාස කිහිපයකට පසු, ඔහු නැවත Habitat for Humanity සමඟ ස්වේච්ඡා නිර්මාපකයෙකු ලෙස සේවයට පැමිණියේ ය. 1984 දී මෙම පුණ්‍යායතනය සමඟ වැඩ කිරීමට පටන් ගත් හිටපු ජනාධිපතිවරයා සහ ඔහුගේ බිරිඳ, ගෙවුණු වසර ගණනාවක් පුරා නිවාස 4,000 කට වඩා අලුත්වැඩියා කිරීමට උපකාරී විය.

ඔහු ප්ලේන්ස් හි මාරනාතා බැප්ටිස්ට් පල්ලියේ ඉරිදා පාසලේ ඉගැන්වීම දිගටම කරගෙන ගිය අතර, ඇතැම් ඩිමොක්‍රටික් ජනාධිපති අපේක්ෂකයින්ව තම පන්තියට එකතු කරගත්තේ ය. ඔහුගේ දේශපාලන දර්ශනය, ගතානුගතික කුඩා නගරයේ හැදී වැඩීමත් ඔහුගේ ස්වාභාවික ලිබරල් සහජ බුද්ධියත් නිසා ඇතැම් විට එකිනෙක හා ගැටෙන මතිමතාන්තරවලින් යුතු විය.

නමුත් සැබවින්ම ඔහුගේ ජීවිත කාලය පුරාම ඔහු මහජන සේවය සිදු කිරීමට මුල් වූයේ ඔහු තුළ මුල් බැසගෙන තිබූ ආගමික විශ්වාසයන් ය.

"ඔබට ආගමික විශ්වාසය සහ මහජන සේවය එකිනෙකාගෙන් දික්කසාද කරන්න බැහැ," ඔහු පැවසුවේ ය. "දෙවියන්වහන්සේගේ කැමැත්ත සහ මගේ දේශපාලන කාර්ය අතර ගැටුමක් මට කවදාවත්ම තිබ්බේ නැහැ. ඔබ එකක් උල්ලංඝණය කළොත්, ඔබ අනෙකත් කඩ කරනවා."