ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඉරාක ආක්‍රමණයෙන් 20 වසරකට පසු: ඉරාකයේ රහස් අවි සොයා ගිය මෙහෙයුම බිඳ වැටුණු හැටි
- Author, ගෝර්ඩන් කොරේරා
- Role, ආරක්ෂක මාණ්ඩලික වාර්තාකරු, බීබීසී පුවත්
"සමූල ඝාතක අවි" (WMDs) ඇති බව පවසමින් එක්සත් රාජධානිය ඉරාක අක්‍රමණයට සම්බන්ධ වීමට සාධාරණ හේතු සැපයූ එම අවි පවතින්නේ ද යන මතභේදය ඉරාක ආක්‍රමණයෙන් වසර 20 ක් වී ඇතත්, තවමත් පවතී. ඊට ඍජුව ම සම්බන්ධ වූ පිරිසක් සමග කළ සංවාද මත පදනම්ව නිර්මාණය වුණු බීබීසී වැඩසටහන් මාලාවක් වන 'Shock and War: Iraq 20 years on' හි කොටසක් ලෙස සමූල ඝාතක අවි සොයා ගිය මෙහෙයුම පිළිබඳ නව තොරතුරු හෙළිදරව් වී තිබේ.
"ඕ හෝ." 2001 වසර අගභාගයේදී ඇමෙරිකානුවන් ඉරාකයේ යුද්ධය ගැන බැරෑරුම් ලෙස සලකන බව සගයෙකු විසින් පවසනු ලැබූ විට ජ්‍යෙෂ්ඨ MI6 නිලධාරියෙකු තනි වචනයෙන් ලබා දුන් ප්‍රතිචාරය එය යි.
CIA නිලධාරීහු බ්‍රිතාන්‍ය සගයන්ගේ කම්පනය ද සිහිපත් කරති. "මං හිතුවේ එතන මේසේ වාඩි වෙලා හිටපු අයට පපුවේ අමාරුවක් හැදේවි කියලා," CIAහි ඉරාක මෙහෙයුම් කණ්ඩායමේ ප්‍රධානී ලුවිස් රුඒඩා සිහිපත් කරයි. "ඒගොල්ලෝ මහත්වරු නොවුණ නම්, ඉන්න තැනින් නැගිටලා මට කම්මුල් පාරක් ගහනවා."
පණිවිඩය කඩිනමින් ඩව්නිං වීදියට ලැබිණි. එය රාජ්‍ය තාන්ත්‍රික කටයුත්තකට එහා ගිය ඔත්තුකරුවන්ගේ කටයුත්තක් විය.
"ඒ අය ආක්‍රමණයකට සූදානම් වන බව පේන්න තියෙන නිසා,ඔබ කැමති වුණත් අකමැති වුණත් සූදානම් වෙලා ඉන්න කියලා අගමැතිතුමාට ඉස්සෙල්ලා ම කියපු කෙනා මම වෙන්න ඇති," MI6හි එවකට ප්‍රධානියා වූ සහ වොෂින්ටනයට නිතර ආ ගිය තැනැත්තෙකු වූ ශ්‍රීමත් රිචඩ් ඩියර්ලව් දුලබ සම්මුඛ සාකච්ඡාවකදී බීබීසීයට පැවසීය.
එක්සත් රාජධානියේ විදේශ ඔත්තු සේවය වන MI6, එහි ඉතිහාසයේ වඩාත් ම මතභේදාත්මක සහ ප්‍රතිවිපාකාත්මක සිදුවීම්වලින් එකක ගැඹුරින් පැටලී යාමට ආසන්න විය.
එක්සත් ජනපදයට, සමූල ඝාතක අවි (WMDs) පිළිබඳ ප්‍රශ්නය, ඉරාක නායක සදාම් හුසේන් බලයෙන් පහ කිරීමට දරන ගැඹුරු ප්‍රයත්නයකට දෙවැනි විය. "සදාම් හුසේන්ට රබර් පටියක් සහ පේපර්ක්ලිප් එකක් තිබුණා නම් අපිට ඉරාකය ආක්‍රමණය කරන්න තිබුණා," රුඒඩා පවසයි. "එයා ඔයාගේ ඇහැ එළියට අඳිනවා කියල එහෙනම් අපි කියන්න තිබුණා."
ඉරාකය සම්බන්ධ සිය තීරණය සඳහා මහජන සහය ලබා ගැනීමට ඉරාකයේ සමූල ඝාතක අවි එනම්, රසායනික, ජීව විද්‍යාත්මක සහ න්‍යෂ්ටික අවිවලින් එල්ල වූ තර්ජනය (WMDs) එක්සත් රාජධානියට තීරණාත්මක සාධකයක් විය.
සමූල ඝාතක අවි (WMDs) පිළිබඳ ප්‍රකාශ එක්සත් රාජධානියේ රජය විසින් ගොතන ලද ඒවා බවට ඇතැම් විට චෝදනා එල්ල වී තිබේ. නමුත් ඒ කාලයේ සිටි ඇමතිවරුන් පවසන්නේ, ආයුධ තිබෙන බවට ඔවුන්ගේ ම ඔත්තුකරුවන් විසින් සහතික කරන ලද බව ය.
"මට ලැබෙන බුද්ධි තොරතුරු මත තමයි මම විශ්වාසය තැබුවේ කියන එක තේරුම් ගැනීම ඉතා වැදගත්, සහ මම හිතන්නේ ඒවා ගැන විශ්වාසයක් තියන්න මට අයිතියක් තිබුණා," හිටපු අගමැති ශ්‍රීමත් ටෝනි බ්ලෙයාර් පවසයි. ඔහු පවසන්නේ, ආක්‍රමණය සිදු වීමට පෙර දින ඒකාබද්ධ බුද්ධි කමිටුවේ සහතිකය තමන් ඉල්ලූ බව ත් එය හිමි වුණු බව ත් ය. එය වැරදි ලෙස වටහා ගැනීම සම්බන්ධයෙන් බුද්ධි අංශ විවේචනය කිරීම ඔහු ප්‍රතික්ෂේප කරයි.
අනෙක් ඇමැතිවරුන් පවසන්නේ, එම අවස්ථාවේ තමන්ට සැකයක් තිබුණු බව ය.
"මේ බුද්ධි තොරතුරු කොහෙන් ද ලැබුණේ කියලා මම අවස්ථා තුනකදී රිචඩ් ඩියර්ලව්ගෙන් ප්‍රශ්න කළා," එවකට විදේශ ලේකම් ජැක් ස්ට්‍රෝ පවසයි. "මට ඒ ගැන තිබුණේ නොසන්සුන්කාරී හැඟීමක්. ඒත් මේ බුද්ධි නිලධාරීන් විශ්වාසදායක බවට සෑම අවස්ථාවකදී ම ඩියර්ලව් මට සහතික වුණා." කෙසේ වෙතත්, ස්ට්‍රෝ පවසන්නේ, අවසන් තීරණ ගනු ලබන්නේ ඔවුන් විසින් බැවින් අවසානයේ වගකීම භාරගත යුත්තේ ද දේශපාලනඥයන් බව ය.
බුද්ධි අංශවල අසාර්ථකත්වයක් ලෙස ඉරාකය දෙස ආපසු හැරී බලන්නේ දැයි ඇසූ විට ශ්‍රීමත් රිචඩ් ලබා දුන්නේ සරල පිළිතුරකි: "නෑ." ඔහු තවමත් විශ්වාස කරන්නේ, ඉරාකය සතුව යම් ආකාරයක ආයුධ වැඩසටහනක් තිබූ බව ත්, ඒවා දේශසීමා හරහා සිරියාවට ගෙන යන්නට ඇති බවත් ය.
අනෙක් අය එකඟ නොවෙති. "ඒක විශාල අසාර්ථක වීමක් වුණා," එවකට එක්සත් රාජධානියේ ආරක්ෂක සහ බුද්ධි සම්බන්ධීකාරක ශ්‍රීමත් ඩේවිඩ් ඕමන්ඩ් පවසයි. ඔහු පවසන්නේ, සදාම් හුසේන් සතුව සමූල ඝාතක අවි (WMDs) තිබූ බවට වූ පෙර පැවති විශ්වාසට, සහය වන තොරතුරු පිළිගැනීමට රජයේ විශේෂඥයින්ට මග සෑදූ අතර ඊට පටහැනි ඕනෑ ම තොරතුරක් නොසලකා හැරි බව ය.
MI6හි සිටින ඇතැමෙකු පවසන්නේ, ඔවුන්ට ද කනස්සල්ලක් තිබුණු බව ය. "ඒ වෙලාවේ මට හිතුනා අපි කරන දේ වැරදියි කියලා," මීට පෙර කිසි දිනක අදහස් නොදැක්වූ සහ නම හෙළි නොකරන ලෙස ඉල්ලා සිටි ඉරාකයේ සේවය කළ එක් නිලධාරියෙක් පවසයි.
"ඉරාකය සමූල ඝාතක අවි වැඩසටහන් ආයෙත් පටන් ගත් බවට සහ ඒවායෙන් ආසන්න තර්ජනයක් ඇති බවට අදහස් කරන නව හෝ විශ්වසනීය බුද්ධි තොරතුරුක් හෝ තක්සේරු කිරීමක් තිබුණේ නෑ," 2002 වසරේ මුල් වකවානුව ගැන අදහස් දක්වමින් හිටපු නිලධාරියා පවසයි. "මම හිතන්නේ රජයේ දෘෂ්ටි කෝණයට අනුව එයාලට හොයා ගන්න පුළුවන් එක ම දේ ඒක... එයාලට නීත්‍යනුකූලභාවයේ පදනම පෙන්නන්න පුළුවන් එක ම දේ තමයි සමූල ඝාතක අවි (WMD)."
2002 වසරේ වසන්තයේ සමයේ තිබුණු බුද්ධි තොරතුරු අවුල් සහගත විය. ඉරාකයේ MI6හි දිගු කලක සිටි රාජකාරියේ නිරත බුද්ධි නිලධාරීන්ට සමූල ඝාතක අවි ගැන සුළු හෝ තොරතුරක් නොතිබූ අතර, විශේෂයෙන් ම සැප්තැම්බර් මාසය සඳහා තොරතුරු ගොනුවක් සැකසීමට සූදානම් වූ අවස්ථාවේදී විමර්ශනය තවත් ශක්තිමත් කිරීම සඳහා නව මූලාශ්‍රවලින් නැවුම් බුද්ධි තොරතුරු ලබා ගැනීමට දැඩි අවශ්‍යතාවක් විය.
බ්‍රිතාන්‍ය මහජනතාව ඒ සඳහා පොළඹවා ගැනීමට වඩා බුද්ධි අංශයට "වැදගත් කාර්යභාරයක් තිබුණේ නෑ" යනුවෙන් පණිවිඩයක් විකේතනය කරමින් තවත් අභ්‍යන්තර නිලධාරියෙක් [MI6හි] සිහිපත් කරයි. ප්‍රශ්න මතු කරන ලද්දේ එය වැදගත් ද යන්න සම්බන්ධයෙන් බව ත් පසුව පණිවිඩය මකා දමන ලද බව ත් ඔවුහු පවසති.
සැප්තැම්බර් 12 වන දින, ශ්‍රීමත් රිචඩ් වැදගත් නව මූලාශ්‍රයක් පිළිබඳ ප්‍රවෘත්තියක් රැගෙන ඩව්නිං වීදිය වෙත ගියේ ය. මෙම පුද්ගලයා සදාම්ගේ වැඩසටහන් නැවත ආරම්භ කරන බව පැවසූ අතර ඉක්මනින් නව තොරතුරු ලබා දෙන බවට පොරොන්දු විය. මෙම මූලාශ්‍රය සම්පූර්ණ පරීක්‍ෂාවට ලක්ව නොතිබුණ ද, ඔවුන්ගේ තොරතුරු විශේෂඥයන් සමග බෙදා නොගත්ත ද, විස්තර අගමැතිවරයාට ලබා දෙන ලදී.
තමා ඩව්නිං වීදියට ඕනෑවට වඩා සමීප වූ බවට එල්ල වන චෝදනා ශ්‍රීමත් රිචඩ් "හාස්‍යජනක" ලෙස ප්‍රතික්ෂේප කරන නමුත් විමර්ශනයේ විස්තර හෝ නිශ්චිත මූලාශ්‍ර පිළිබඳව අදහස් නොදක්වයි. නමුත් ඉදිරි මාසවලදී, මෙම නව මූලාශ්‍රය කිසි විටෙක [නව තොරතුරු] ලබා නොදුන් අතර අවසානයේ එය ගොතන ලද්දක් යැයි සලකනු ලැබූ බව අනෙකුත් බුද්ධි ආරංචි මාර්ග පවසයි. තත්ත්ව පාලනය බිඳ වැටෙමින් තිබූ බවට ඔවුහු තර්ක කරති.
ඇතැම් මූලාශ්‍ර තොරතුරු ගොතන ලද්දේ මුදල් සඳහා හෝ සදාම් බලයෙන් පහ කරනු දැකීමට අවශ්‍ය වූ නිසා විය හැකි ය. 2003 වසරේ ජනවාරි මාසයේදී ජෝර්දානයේදී මට සදාම්ගේ ඔත්තු සේවයෙන් ඉවත් වූ අයෙකු මුණ ගැසුණි. එක්සත් ජාතීන්ගේ පරීක්ෂකවරුන්ට හසු නොවන අයුරින්, ජීව විද්‍යාත්මක ආයුධ සම්බන්ධ කටයුතු සිදු කිරීම සඳහා ජංගම රසායනාගාර වැඩි දියුණු කිරීමෙහි ඔහු නිරත වූ බවට සඳහන් වේ.
එම තොරතුරු විශ්වාස නොකළ යුතු බව පවසමින් ඒවා වෙනත් බුද්ධි සේවා ආයතනයක් විසින් නිකුත් කරන ලද ප්‍රකාශයක් බවට එක්සත් ජනපද ආණ්ඩුවේ ඇතැමුන් ඒ වන විටත් සඳහන් කර තිබුණ ද ඔහුගේ ප්‍රකාශ එක්සත් ජනපද රාජ්‍ය ලේකම් කොලින් පවෙල් විසින් 2003 වසරේ පෙබරවාරි මාසයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත සිදු කරන ලද ඉදිරිපත් කිරීමට ඇතුළත් විය. එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය විශ්වාසය තැබූ "Curveball" යන සංකේත නාමයෙන් යුත් තවත් මූලාශ්‍රයක් ද විද්‍යාගාර පිළිබඳ විස්තර සකස් කරමින් සිටියේය.
වරක් සදාම් සතුව සමූල ඝාතක අවි තිබූ බව මතක තබා ගැනීම වටී. 2003 වසරේ යුද්ධයට සති කිහිපයකට පෙර, මම උතුරු ඉරාකයේ හලබ්ජා ගම්මානයට ගිය අතර, 1988 වසරේදී සදාම්ගේ හමුදාව ඔවුන් වෙත රසායනික අවි හෙළූ දිනය ගැන ප්‍රදේශවාසීන් විස්තර කරනු ඇසුවෙමි. එම ආයුධවලට සිදු වූයේ කුමක් ද යන්න පිළිබඳ සත්‍යය මතු වන්නේ යුද්ධයෙන් පසුව ය.
සදාම් 1990 ගණන්වල මුල් භාගයේදී ඔහුගේ සමූල ඝාතක අවි (WMD) වැඩසටහන විනාශ කිරීමට නියෝග කළේ, පළමු ගල්ෆ් යුද්ධයෙන් පසුව එක්සත් ජාතීන්ගේ ආයුධ පරීක්ෂකවරුන්ගෙන් පිරිසිදු සෞඛ්‍ය පනතක් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් බව ඉරාකයේ ඉහළ ම විද්‍යාඥයෙක් පසුව මට පැවසීය. පසුකාලීනව වැඩසටහන් නැවත ආරම්භ කිරීමට ඉරාක නායකයා බලාපොරොත්තු වන්නට ඇත. නමුත් ඔහු සියල්ල රහසිගතව විනාශ කර දමා තිබුණේ, ඔහු සමග යුද්ධ කළ අසල්වැසි ඉරානයට එරෙහිව ඔහුට තවමත් භාවිත කළ හැකි යමක් තිබිය හැකි බවට වන ව්‍යාජ තර්ජනය අඩවශයෙන් පවත්වා ගැනීම සඳහා ය. පසුව එක්සත් ජාතීන්ගේ පරීක්ෂකවරුන් විසින් ඉරාකයෙන් සියල්ල විනාශ කළ බවට ඔප්පු කරන්නැයි ඉල්ලන ලද විට ඔවුන්ට එය කළ නොහැකි විය.
එක් ඉරාක විද්‍යාඥයෙක් පසුව හෙළි කළේ, බටහිර බුද්ධි අංශ නොදැන සිටි බව කියන මාරාන්තික සංයෝගයක් බිමට වත් කර ඔවුන් බැහැර කළ බව ය. නමුත් ඔවුන් එසේ සිදු කර ඇත්තේ සදාම්ගේ මාලිගාවක අසල දී වන අතර, එම ක්‍රියාව තමන් සිදු කළ බවට දැන ගතහොත් ඉරාක නායකයා තමන්ව මරා දමනු ඇතැයි ඔවුන් බිය වී ඇත. මේ සියල්ලේ ප්‍රතිඵලය වූයේ ඉරාකයට තවදුරටත් ආයුධ නොමැති බව කිසි දා ඔප්පු කිරීමට නොහැකි වීම ය.
2002 වසර අවසානය වන විට, එක්සත් ජාතීන්ගේ පරීක්ෂකවරු සමූල ඝාතක අවි (WMDs) සෙවීම සඳහා නැවත ඉරාකයට පැමිණ සිටියහ. පළමු වරට බීබීසීය වෙත අදහස් දක්වමින්, එම පරීක්ෂකවරුන්ගෙන් ඇතැමෙකුට, බටහිර රටවලින් ලද බුද්ධි තොරතුරු අනුව ජංගම විද්‍යාගාර තිබිය හැකි ප්‍රදේශ දෙස සුපරික්ෂාකාරී ලෙස බැලූ අයුරු සිහිපත් කළේය . ඔවුන් සොයා ගත්තේ, මකුළු දැල්වලින් වැසී ගිය "තේජාන්විත අයිස්ක්‍රීම් ට්‍රක් රථයක්" ලෙස හඳුන්වන දෙයක් පමණි.
යුද්ධය ළඟා වන විටත්, තොරතුරු ලබා දීමට මූලාශ්‍ර අපොහොසත් වීම සහ පරීක්ෂකවරුන් අසාර්ථක වීම ගැන එකල මහ ජනතාව කිසිවක් දැන සිටියේ නැත. අභ්‍යන්තර නිලධාරියෙකු [MI6හි] එය විස්තර කරන්නේ, "සංත්‍රාසය" දනවන්නක් ලෙස ය. "මගේ අනාගතය තියෙන්නේ ඔයාගේ අතේ," 2003 වසරේ ජනවාරි මාසයේදී, සමූල ඝාතක අවි (WMDs) ඇති බවට සාක්ෂි සොයා ගැනීමට වූ පීඩනය ඉහළ යමින් තිබියදී, බ්ලෙයාර් තරමක් විහිළුසහගත ලෙස, ශ්‍රීමත් රිචඩ්ට පැවසීය.
"ඒ අවස්ථාවේ කලකිරිලා හිටියේ," ශ්‍රීමත් රිචඩ් දැන් සිහිපත් කරයි. කිසිවක් සොයා ගැනීමට අපොහොසත් වීම නිසා පරීක්ෂකවරුන් "අකාර්යක්ෂම" වී ඇති බවට ඔහු චෝදනා කළේය. එක්සත් ජාතීන්ගේ රසායනික හා ජීව විද්‍යාත්මක පරීක්‍ෂණ මෙහෙයවූ හාන්ස් බ්ලික්ස් බීබීසීයට පවසන්නේ, 2003 වසර ආරම්භය වන තුරුම අවි තිබෙන බව තමා විශ්වාස කළ නමුත් ලද තොරතුරු නිෂ්ඵල වූ පසු ඒවායේ පැවැත්ම පිළිබඳ සැක කිරීමට පටන් ගත් බව ය. ඔහුට පිළිතුරු සෙවීමට වැඩි කාලයක් අවශ්‍ය වූ නමුත් එය අසාර්ථක විය.
සාක්ෂි සොයා ගැනීමට අපොහොසත් වුවද 2003 මාර්තු මාසයේ යුද්ධය නතර කළේ නැත.
ටෝනි බ්ලෙයාර් බීබීසීයට පැවසුවේ "මිලිටරි ක්‍රියාමාර්ගයකින් වැළකී සිටීමට මම අවසන් මොහොත දක්වාම උත්සාහ කළා." ජනාධිපති ජෝර්ජ් බුෂ්, යුද්ධය ආසන්නයේ තම සගයා පාර්ලිමේන්තු ඡන්දයෙන් පරදිනු ඇතැයි බියෙන්, ඔහුට වීඩියෝ ඇමතුමක් දී, ආක්‍රමණයෙන් පසුබැසීමට සහ ඉන් අනතුරුව පමණක් සම්බන්ධ වන ලෙස අවස්ථාව ලබා දුන් නමුත්, අගමැතිවරයා එය ප්‍රතික්ෂේප කළේය.
ප්‍රතිපත්තිමය කාරණයක් ලෙස ඔහු තම තීරණය ආරක්ෂා කරනු ලැබුවේ, සදාම් හුසේන් සම්බන්ධයෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාවය අනුව මෙන්ම එක්සත් ජනපදය සමඟ එක්සත් රාජධානියේ සම්බන්ධතාවය පවත්වා ගැනීමේ අවශ්‍යතාවය ද හේතුවෙනි. "එය සම්බන්ධතාවයට සැළකිය යුතු බලපෑමක් ඇති කරනවා," ඔහු තවදුරටත් පවසයි: "මම අගමැතිව සිටියදී, ජනාධිපති ක්ලින්ටන් යටතේ හෝ ජනාධිපති බුෂ් යටතේ ඇමෙරිකානු ජනාධිපතිවරයා මුලින්ම දුරකථනය අතට ගන්නේ කාටද යන්න ගැන කිසිදු සැකයක් තිබ්බේ නැහැ. අනිවාර්යෙන්ම බ්‍රිතාන්‍ය අගමැතිට, අද අපි ඉන්නේ යුරෝපයෙන් පිට, ජෝ බයිඩෙන් මුලින්ම රිෂි සුනක්ට කෝල් එකක් ගනීද? මට විශ්වාස නැහැ."
ඉන් පසුව වුව ද සමූල ඝාතක අවි සොයා ගත්තේ නැත. "සියල්ල බිඳ වැටුණා," එක් හිටපු MI6 නිලධාරියෙකු පවසන්නේ, මූලාශ්‍ර පිළිබඳ පශ්චාත් යුද අභ්‍යන්තර සමාලෝචනයක් සිහිපත් කරමිනි. තව ද මෙය ඔත්තුකරුවන්ට සහ දේශපාලකයින්ට ගැඹුරු සහ කල් පවත්නා ප්‍රතිවිපාක ඉතිරි කරනු ඇත.