ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
යුක්රේන යුද්ධය: ලැට්වියාව බීමත් රියැදුරන්ගෙන් රාජසන්තක කෙරුණු මෝටර් රථ යුක්රේනයට යවයි
- Author, හෙන්රි ඇස්ටියර්
- Role, බීබීසී පුවත්
යුක්රේනයේ යුද ප්රයත්නයට උපකාර කිරීම සඳහා නිර්මාණයකර ඇති නව යෝජනා ක්‍රමයක් යටතේ, ලැට්වියාවේ බීමත් රියැදුරන්ගෙන් රාජසන්තක කෙරුණු මෝටර් රථ දැන් යුක්රේනයට යවනු ලැබෙයි.
එසේ අත්අඩංගුවට ගැනුණු වාහන අටක් බදාදා (මාර්තු 8) ලැට්වියාවේ රිගා අගනුවර පිහිටි අත්අඩංගුවට ගත රථවාහන නවතා තැබෙන අංගනයකින් පිටත් කෙරිණි
පසුගිය මාසයේ ලැට්වියානු පාර්ලිමේන්තුව විසින් අනුමත කෙරුණු සැලැස්ම යටතේ යුක්රේනයට යැවෙනු ඇති පළමු රථ පෙළ යි මේ.
ලැට්වියා රජය සතු මෝටර් රථයන් යුක්රේන හමුදාවට සහ රෝහල් වෙත මාරු කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු එකඟවී තිබුණහ.
රිය පැදවීම සඳහා නීත්‍යානුකූල රුධිර මධ්‍යසාර සීමාව මෙන් තෙගුණයක් වන, රුධිර මිලිලීටර 100කට මධ්‍යසාර මිලිග්‍රෑම් 1.5කට වැඩි රියදුරන්ගේ රථ රාජසන්තකකර විකුණා දැමීමට රජයට අවසර දෙන ලෙස පසුගිය වසරේ අගභාගයේ දී ලැට්වියාව සිය නීති වෙනස් කළේ ය.
ලැට්වියානු රජයේ මාධ්‍ය ආයතනය වන LSMට අනුව, යුරෝපය තුළ මත්පැන් පානයකර රිය පැදවීමේ නරකම අනුපාතයන් අතර ලැට්වියාව ද වෙයි. මෙය වසරකට සිදුවීම් 3 500ක් ලෙස ඇස්තමේන්තුගත ය.
මෙසේ නීතිය වෙනස්කර සති කිහිපයකින් රාජසන්තක කිරීම් ඉහළගිය අතර, සති කීපයක් තුළ ලැට්වියා රජයේ රථවාහන අංගනයන් පිරීයෑමට හේතුවිය.
එහි ප්‍රතිඵලයක් ලෙස, පරිත්‍යාග කරන ලද රථවාහන යුක්රේනයට යවන ලැට්වියානු පුණ්‍යායතනයක් වන 'ට්විටර් කොන්වෝයි' වෙත සතියකට කාර් දුසිම් දෙකක් ලබාදීමට බලධාරීන් පොරොන්දුවී තිබුණි.
"මිනිස්සු බීලා, මෙච්චර වාහන ගොඩක් එළවනවා කියලා කවුරුවත් හිතුවේ නැහැ," පුණ්‍යායතනයේ ආරම්භක රයිනිස් පොෂ්නැක්ස් රොයිටර් පුවත් ඒජන්සිය හා පැවසුවේ ය. "මිනිස්සු බොන වේගෙට හරියන්න ඒ වාහන විකුණන්න බැහැ. ඒ නිසා තමයි මට මේ අදහස ආවේ - ඒ වාහන යුක්රේනෙට යවන්න."
ඩෙල්ෆි නම් ලැට්වියානු වෙබ් අඩවියට අනුව පළමු කාර් රථ අටෙහි මුළු වටිනාකම යූරෝ 18 500ක් පමණ (රු. හැටතුන් ලක්ෂ පනස්දහසක් පමණ) වෙයි. එක් වාහන හිමිකරුවෙකු, අත්අඩංගුවට පත්වුණු ඔහුගේ වාහනයේ රුසියානු ධජයක් සවිකර ඇතිබව රොයිටර් වාර්තා කළේ ය.
ලැට්වියාවේ ජනගහණයෙන් කාලක් පමණ වාර්ගික රුසියානුවන් වන අතර, රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසු රුසියානු රජයේ ප්රචාරක කටයුතුවලට සහාය දෙනබවට තක්සේරු කෙරුණු වෙබ් අඩවි දුසිම් ගණනක් තහනම් කිරීමට ලැට්වියාව වේගයෙන් ක්‍රියාකළේ ය.
ව්ලැදිමීර් පුටින් යුක්රේනයේ යුද්ධය යුක්තිසහගතබව පෙන්වීම සඳහා, මේ යුද ක්‍රියාමාර්ගය රුසියානු භාෂාව කතාකරන්නන්ට රුසියානු රජයේ ආරක්ෂාව ද සහිතව ආරක්ෂාව සැපයීමක් ලෙස යළි යළිත් ප්‍රකාශකර තිබේ.