ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
අසරණ සතුන්ට පිහිටවීම විනෝදාංශය කරගත් තරුණයා
"මෙලොව සෑම ජීවියෙකුටම ජීවත් වීමට අයිතියක් තිබෙනවා," ඒ, කසුන් දිල්රංග බීබීසී සිංහල සමග සාකච්ජාවට එක්වෙමින් පැවසූ අදහස යි.
තිස් දෙහැවිරිදි හැවිරිදි කසුන් දිල්රංගගේ නම ෆේස්බුක් සහ ටික්ටොක් පරිශීලකයින් අතර ප්‍රසිද්ධ වන්නේ, ඔහු විවිධ අනතුරුවලට ලක්වන වන සතුන් හා උරගයින්ගේ දිවි බේරාගැනීම සඳහා කැපවීම හේතුවෙනි.
මතුගම ප්‍රදේශයේ උපත ලබා ඇති ඔහු මේ වන විට පිළියන්දල, පොල්ගස්ඕවිට ප්‍රදේශයේ ජීවත් වෙයි.
මෝටර් රථයකට හසුවීමෙන් බරපතල තුවාල ලද ඉබ්බෙකුගේ දෙකඩ වූ කටුවක් ප්ලාස්ටර් ඔෆ් පැරිස් යොදා ගනිමින්, ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ඔහු උත්සාහ කරන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය තුළ හුවමාරු වෙමින් තිබේ.
දැන් කොහොමද තුවාල වුනු ඉබ්බාගේ තත්ත්වය ? බීබීසී සිංහල ඔහුගෙන් විමසීමක් කරන ලදී.
" එයා ඊයේ (ජුලි මස 16) නැති වුණා. මට ඉබ්බව ලැබුනේ මීට දවස් තුනකට කලින්. නමුත් එයාගේ දෙකට මැද්දෙන් කටුව කැඩිලා තියෙන නිසා එයාව හොද කර ගන්න ලැබුනේ නැහැ.
එයාව හොද වුනත් සොභාවික පරිසරයට නිදහස් කරන්න පුළුවන් වෙවී කියලා හිතුවේ නැහැ. මම මිට කලින් ඉබ්බන්ගේ කටු හදලා තියෙනවා.
ඒ වගේම මම මිට කලින් ඉබ්බෝ 30ක් විතර හොද කරලා නිදහස් කරලා තියෙනවා." කසුන් දිල්රංග පැවසුවේ ය.
පුංචි කාලෙ ඉඳලා තියෙන 'උණක්'
සත්ත්වයින්ට පිහිටවීම සහ ඔවුන්ගේ ජීවිත බේරාගැනීම තමන් ස්වෙච්ඡාවෙන් සිදුකරනු ලබන කාර්යයක් බවත්, එය සිය විනෝදාංශය බවත් ඔහු පැවසුවේ ය.
"මම ස්වෙච්ඡාවෙන් සත්තුන්ට බෙහෙත් කරනවා. සර්පයින් එහෙම ගෙවල්වලට ආවම මිනිස්සු මරලා දානවානේ සාමාන්‍යයෙන්. මම ඒගොල්ලොන්ව බේරෙනවා. පාරේ ඉන්න තුවාලවුණු සතුන් විතරක් නෙමෙයි ඕනෑම සතෙක්ව බේර ගන්නවා. සත්තුන්ට ජීවිතය දෙන එක තමයි මගේ හොබී එක.
"මම මේක ආදායමක් ලබන්න කරන දෙයක් නෙමෙයි. අඩුම තරමින් මට යූටියුබ් චැනල් එකක්වත් නැහැ තාම. මම වෘත්තිමය වශයෙන් ඔන්ලයින් ව්‍යාපාරයක් කරනවා," ඔහු පැවසුවේ ය.
"මම ඉස්කෝලේ හත වසරේ ඉගෙනුම ලබන කාලේ ඉදලා සත්තු එක්ක හිටියා. තුවාලවුණු සත්තුන්ට ලොකුවට බෙහෙත් කරන්න පටන් අරන් දැන් අවුරුදු හයක් හතක් වගේ වෙනවා. පුංචි කාලේ ඉඳලම තිබුණ උණක් මේක.
“මිනිස්සු මරලා දාන්න යන සත්තු බේරන්න, තුවාල වෙච්ච සත්තු බේරගන්න.. මේ වගේ දේවල්වලට ඒ කාලෙදිත් පුළුවන් විදිහට බෙහෙත් කරනවා මම. හරියට දෙයක් දැන ගෙන කරන්න පටන් අරන් දැනට අවුරුදු හයක් හතක් වගෙ වෙනවා.
"මම මේ වාගේ දෙයකට පෙළඹෙන්න හේතුව වුණේ, දවසක් මම පාසැල් අවසන් වෙලා නිවසට එද්දී හොඳ දේහධාරී පුද්ගලයෙක් අඩියක්වත් දිග නැති සර්පයෙක්ට ගඩොලකින් පහර දෙනවා. ඒ සතා මැරුණා. මම එදා ඉදලා හිතා ගත්තා සත්තු මරන්න දෙන්නේ නැහැ කියලා.
"2014 වසරේ දී මට වඳුරෙක් හම්බ වුණා. මම එයාව හොඳ කළා. මම ඒක ෆේස්බුක් එකට දැම්මා. එතනින් පස්සේ ටික ටික මේක මිනිස්සු අතරට යන්න පටන් ගත්තා," ඔහු පැවසුවේ ය.
'අනෙක් කෙනාටත් හුස්ම ගන්න අයිතියක් තියෙනවා කියලා තේරුම් ගන්න'
ජීවත් වෙන සෑම සත්ත්වයෙකුටම හුස්ම ගැනීමේ අයිතිය ඇති බව තේරුම් ගෙන පරිසරයට සහ සතුන්ට හානියක් නොවන සේ කටයුතු කිරීම සියලු දෙනාගේ වගකීමක් බවද කසුන් බීබීසී සිංහල වෙත පැවසුවේ ය.
"සෑම ජීවියෙකුටම ජීවත් වෙන්න අයිතියක් තියෙනවා. මම කියන්නේ නැහැ සීයට සියක් නිර්මාංශ වෙලා ජීවත් වෙන්න කියලා. ඕනෑම මනුස්සයෙක්ට එහෙම ඉන්නත් බැහැ. එහෙම ඉන්නෙත් නෑ ගොඩක් වෙලාවට. මම කියන්නේ පුළුවන් තරම් පරිසරයට හිතකාමී වෙලා ඉන්න. සත්තුන්ට විතරක් නෙමෙයි. අපේ අය මත්පැන් පානය කරන්න ගියොත් බෝතල් කුඩු කරලා විනාශ කරනවා, නාන්න ගියත් එතැනත් එහෙමයි. අපි පුළුවන් තරම් පරිසරයට හිතකාමී විදිහට ජීවත් වෙන්නයි ඕන.
"සතෙක් දැක්කම මරන්න යන එක පොඩ්ඩක් අඩු කරලා, හැම කෙනෙක්ටම තමන්ගේ හුස්ම ගන්න අයිතිය තියෙනවා වගේම අනෙක් කෙනාටත් හුස්ම ගන්න අයිතියක් තියෙනවා කියලා තේරුම් ගත්තොත් ගොඩක් හොඳ යි. මිනිස්සු ඒක තේරුම් ගන්නේ නැති ප්‍රශ්නයක් නම් තියෙනවා. පුළුවන් තරම් ඒක සමාජගත කරන්නයි මමත් උත්සාහ ගන්නේ. ඒක සාර්ථක වෙලා තියෙනවා.
"මේ ඉබ්බා වුණත් මට ගෙනල්ලා දුන්නේ මම ඉබ්බෝ ගැන සර්ජරි කරනවා දැකපු කෙනෙක්. එහෙම ගොඩක් දුර ඉදලා සත්තු මට ගෙනල්ලා දෙනවා. මම ඒවා ළඟ තියාගන්නේ නැහැ. වනජීවී එකට භාරදෙනවා. නීතියෙන් පොඩි පොඩි අවහිරතා තියෙනවා නේ," ඔහු කියා සිටියේ ය.
ජීවිතය අනූ නවයෙන් ගැලවුණු අවස්ථා
වන සතුන් සහ උරගයින් සම්බන්ධව කටයුතු කිරීමේ දී මුහුණදීමට සිදුවූ අමතක නොවන සිදුවීම් ගැන ද ඔහු බීබීසී සිංහල සේවය වෙත පැවසීය.
"මගේ ජීවිතය වුණත් නැතිවෙන්න තිබ්බ අවස්ථාවක් තිබුණා අවිස්සාවේල්ල පැත්තේ ලිඳකට බැහැලා. ඒ, ලිඳේ ගැඹුරවත් වෙනත් කිසිම හේතුවක් නිසා නෙමෙයි. නයි දෙන්නෙක් ලිඳේ ඉන්නවා කියලා මම ලිඳට බැස්සා. මම එක නයෙක් අල්ලගෙන, අනිත් නයාව බාස්කට් එහෙකට දාගෙන ඉනිමඟකින් ලිඳේ භාගයක් දුර නගිනකොට ඇස් දෙක පුපුරන්න වගේ වේදනාවක් ආවා, ඒක ඒ තරම් සැරයි.
"මම ලිඳේ උඩටම නැග්ගට පස්සේ ඇදන් වැටුණා. හොද වෙලාවට ලිඳ පැත්තට නෙමෙයි ඉස්සරහට මම වැටුණේ.
"ඒක වෙලා තියෙන්නේ ගෙදර මිනිස්සුවත් දන්නේ නැතිව ඒ හරියේ හිටපු බීමත් මනුස්සයෙක් ලිඳ ඇතුළට භූමිතෙල් ලීටර් දෙකක් විතර දාලා සත්තු දෙන්න උඩට එයි කියලා හිතාගෙන. ලිද ඇතුලේ ගෑස් වගේ හැදෙනවානේ. තව ටිකක් වෙලා හිටියනම් මගේ ඇස් දෙක පුපුරන්න තිබ්බා.
"ඔය වගේම තව දවසක් කැලණියට කිට්ටුව පාරේ වාහනවලට අහුවෙන්න ගියපු කිඹුල් පැටියෙක් අල්ලන්න ගිහින් පොඩි ප්‍රශ්නයක් වුණා. කිඹුල් පැටියා අතේ මහපට ඇඟිල්ල අල්ලන්ම හිටියා. මොකුත් වුණේ නැහැ," ඔහු පවසයි.
"අද වෙද්දී ගොඩක් අය මට කෝල් කරලා කියනවා 'මල්ලි ගෙදරට සර්පයෙක් ආවා, මම ඌව මැරුවේ නැහැ, ඔයාව මතක් වුණා' කියලා. තවත් සමහරු කෝල් කරලා අහනවා 'මල්ලි මෙහෙම සතෙක් ඉන්නවා මොකක්ද කරන්න ඕන' කියලා.
"මම නයි පොළොංගු වුණත් විශ්වාස කරනවා. සත්තුන්ට අපෙන් හානියක් වුණොත් විතරයි උන් අපිට කරදරයක් කරන්නේ. මොකද මම නයි පොළොංගුට පවා බෙහෙත් කරනවා. මම මනුස්සයෙක්ට බෙහෙත් කළත්, කෑම වේලක් දුන්නත් ඒ මනුස්සයට ඒක මතක හිටින්නේ බොහොම ටික කාලයයි. හැබැයි උරගයින්ට මතක හිටින්නේ නැහැ. බල්ලෙක්ට පූසෙක්ට කන්න දුන්නොත් ඒ සතා අපි දකින තැන නගුට වනනවා," කසුන් දිල්රංග පැවසුවේ ය.